IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ළාබාල වයසින් මහාචාර්යවරියක් වූ වාසනා මෛත්‍රී හේරත්

සන්නිවේදන විද්‍යාව සම්බන්ධ ලංකාවේ ළාබාලතම මහාචාර්යවරිය ලෙසින් ඔබ අප කවුරුත් හඳුනාගත් ඇය නමින් මහාචාර්ය වාසනා මෛත්‍රී හේරත්ය. කාන්තාවකගේ ධෛර්ය ශක්තිය හමුවේ අභියෝග යනු වචනයක්ම පමණක් බව පසක් කරමින් තමන්ගේ ජයග්‍රාහී ගමන් මඟ එළිපෙහෙළි කරගත් ඇය මෙවර සඳැල්ලෙන් අප හා කළ කතාබහයි මේ'

  • ඔබව බොහෝදෙනෙක් හඳුනගන්නේ ශ්‍රී ලංකාවේ ළාබාලතම මහාචාර්යවරිය කියන ඉලක්කය ජය ගැනීමත් සමගයි. ඉතින් මුලින්ම ඒ ගැන කියමු,

මම මහාචාර්ය ධූරයට පත්වුණේ 2019 වර්ෂයේදී, ඉන් වසර 02කට පමණ පසුවයි මාව එලෙස ළාබාලතම මහාචාර්යවරිය ලෙසින් හඳුනාගත්තේ. ඒ ගැන මට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක් සහ සතුටක්. මොකද ඒ නිසා මට පුළුවන් වුණා ඉගෙන ගන්න බොහෝ දරුවන්ට විවිධ විදිහට උදව් කරන්න වගේම ආදර්ශයක් වෙන්න.

  • ඔබ මේ ජයග්‍රහණය ඇතුළේ කාන්තාවක් වීම යන හේතුව මත මුහුණ දුන්න අභියෝග තිබුණ ද?

කාන්තාවකට කොතනත් අභියෝග තියෙනවා. ඒක පෞද්ගලික ජීවිතේදිත් ඒ විදිහයි. වෘත්තීය ජීවිතේදිත් ඒ විදිහමයි. ඒක මොන රැකියාවේදිත් අඩු වැඩි වශයෙන් දකින්න ලැබෙනවා. මටත් මේ ආව ගමනෙදි විවිධ බාධක, අභියෝගවලට මුහුණ දෙන්න සිදුවුණා. නමුත් ඒ හැම වෙලාවකම මම හිතුවේ අභියෝග නැත්නම් දිනුමක් නැහැ කියන දේ තමයි.

  • ඔබට ජීවිතේ දිනන්න ඕන කියන බලාපොරොත්තුව ඇති වෙන්න ඔබ මුහුණ දුන් විශේෂ සිදුවීම් තියෙනවා ද?

ඉස්සර මම ඉගෙන ගන්න බැරි ළමයෙක්. පංතියෙන් කොන් වෙච්ච ළමයෙක්, ඒ නිසාම බොහෝ අවස්ථාවල ලැජ්ජාවට, අපහසුතාවට පත්වෙන්න සිදුවුණා. ඒ දේවල් නිසා මට ඒ තත්වය වෙනස් කරගන්න උවමනාවක් ඇති වුණා. ඒ වෙනුවෙන් මම ඇති කරගත්ත අධිෂ්ඨානය, කරපු කැපකිරීම් නිසාම තමයි අද මට මේ තැනට එන්න පුළුවන් වුණේ.

  • ලංකාව වගේ රටක් ඇතුළේ කාන්තාවකට තමන් කැමති ක්ෂේත්‍රයක ඉදිරියට යන්න තිබෙන නිදහස  ගැන ඔබේ අදහස මොකද්ද?

ලංකාව කියන්නේ ඕනිම කාන්තාවකට තමන්ගේ උපරිම දක්ෂතා හැකියාවන් උපරිමයකටම ගෙනියන්න පුළුවන් අවස්ථාවක් හා නිදහසක් තියෙන තැනක්. ඉතින් ඒ පිළිබඳ තමන් දැනුවත් නම්, උවමනාව තියෙනවා නම්, තමන්ට යන්න තියෙන මාර්ගයේ යන්න තියෙන නිදහස ලංකාව කියන මේ ලස්සන රටේ උපරිමයි.

  • ඔබ තරුණ තරුණියන් අතර ඉතාම ජනප්‍රිය චරිතයක් වග සමාජ මාධ්‍ය තුළින් දැකගන්න ලැබෙනවා. ඔබේ ඒ ජනප්‍රියතාවයට හේතුව ලෙස ඔබ දකින්නේ මොකද්ද?

ඉගෙන ගන්න දරුවන්ගෙ හිත් ඇතුළේ තමයි මම වැඩිපුරම ඉන්නේ, ඒකට හේතුව විදිහට මම දකින්නේ ඒ අය මගෙන් දකින ඒ අයගේ අනාගතය. ඒ දරුවන් හොයන උගත්, බුද්ධිමත්, ස්ථාවරබව සහ ඒ දරුවන් තමන්ව කවදහරි දකින්න ආස තැන මම අද ඉන්න එක. ඉතින් ඒ දරුවන් මගෙන් දකින එයාලගේ අනාගතේ හින්දම මට ඒ දරුවන් අතරේ එයාලගේ රෝල් මොඩ්ල් එකක් වෙලා ඉන්න පුළුවන් වුණා.

  • කාන්තාවක් කියන්නේ සමාජයේ විවිධ භූමිකා නිරූපණය කරන කෙනෙක්. ඒ වගකීම් නිසා කාන්තාවට තමන්වම මගහැරෙන අවස්ථා තියෙනවා නේද?

හරියට තමන්ව කළමනාකරණය කරගන්නවා නම් තමන්ට අදාළ භූමිකා මඟ හැරෙන්නෙත් නැහැ. තමන්ට තමන්ව මඟ හැරෙන්නෙත් නැහැ.

  • ඔබත් ඒවගේ සමාජ සම්බන්ධතා එක්ක ඉන්න කෙනෙක් විදිහට ඔබ, ඔබ වෙනුවෙන් කාලය වෙන් කරගන්නේ කොහොමද ?

ඕනිම කෙනෙක් තමන් වෙනුවෙන් කාලයක් වෙන්කර ගන්නම ඕනි, ඒ වගේම මමත් මම වෙනුවෙන් කාලය වෙන්කර ගන්නවා. එහෙම නැති වුනොත් තමන්ට තමන්ව මඟ හැරෙනවා. ඉතින් ඒ සම්බන්ධතා නිවැරදිව තේරුම් අරගෙන තමන්ගේ සමාජ ජීවිතය ගත කරන්න උත්සහ කරන්න ඕන. ඉතින් මම මගේ ආශාවන්, රුචිකත්වයන් මඟහැර ගන්නේ නැහැ. මොකද මම ජීවිතය විඳින්න කැමති කෙනෙක්. ඇත්තටම අපිට තියෙන්නේ සීමිත කාලයයි. ඒ කාලය ඇතුළේ අපේ දේවල්වලටත් තැනක් වෙලාවක් වෙන්කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් කියන දේ තමයි මගේ හැගීම.

  • කාන්තාව ලතාවක් නැත්තම් වැලක් කියන කතාව හරි ප්‍රසිද්ධයි. ඔබ හිතන විදිහට ඇත්තටම කාන්තාවට ඒ විදිහේ ආධාරකයක් අත්‍යවශ්‍ය ද?

කාන්තාවකට ඇස සමීපයේ ඉන්න අයගේ සහයෝගය අවශ්‍යයි. එතකොට තමයි එයාට ලතාවකට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නෙ. එහෙම නැති වුණොත් එයාට එයාගේ කාලය වෙන් කරන්න වෙන්නේ තමන්ට නොලැබෙන දේවල් දැක දැක, පසුතැවෙමින්, දුක් වෙමින් විඳවන්න. ඒ නිසා මම විශ්වාස කරනවා අනිවාර් යෙන්ම කාන්තාවකට අනිත් අයගේ සහයෝගය අවශ්‍යයි කියලා.

  • දැන් සමාජයේ ඉන්න තරුණ ගැහැණු ළමයි නිදහස කියන දේ අගය කරන පිරිසක්. නමුත් ඒ නිදහස ඇතුළේ ඇත්තටම ඇය සුරක්ෂිත ද?

අසීමිත නිදහස තුළ සුරක්ෂිතවන ආකාරය වර්තමාන කාන්තාව දැනගත යුතුමයි. එය ඇයගේ අනිවාර්ය දැනුමක් විය යුතුයි. දැනුම අවබෝධය අඩු වැඩි වශයෙන් තියෙන කාන්තාවන්ට ඒ ඒ ආකාරයෙන් ආරක්ෂිත බව හෝ අනාරක්ෂිත බව පවතිනවා.

  • ගෝලීයකරණය නිසා ළමයි බටහිර  රටවල දේවල් අනුකරණය කරනවා. ඒ අතර විලාසිතා ප්‍රධාන කොටසක්. ඔබත් ලස්සනට විලාසිතා කරන කෙනෙක්. ඔබ ඔබේ විලාසිතා තෝරා ගන්නේ කොහොමද?

මම හිතන විදිහට විලාසිතා කියන්නේ කාන්තාවකට අත්‍යවශ්‍ය දෙයක්. මමත් පෞද්ගලිකව විලාසිතාවන්ට හරිම කැමතියි. ඒ වගේම මම අනිත් අයගේ විලාසිතාවන් විවේචනය කරන කෙනෙකුත් නෙවෙයි. මොකද අපි විවිධාකාරයි. මම කැමති විලාසිතාවට තවත් අයෙකු අකමැති වන්නට පුළුවන් ඒ වගේම මට ගැළපෙන විලාසිතාව තවත් අයෙකුට නොගැළපෙන්නත් පුළුවන්. ඒ නිසා විලාසිතාවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට තෝරා ගැනීම කැමැත්ත අනුව සිදුවිය යුතු දෙයක්. මගේ විලාසිතා ගැන කතා කරනවා නම් මට කැමති සහ ගැළපෙන විලාසිතා පිළිබඳව උපදෙස් ලබාගෙන ඒ තැන්වලට උචිත විදිහට මගේ විලාසිතාවන් මම තෝරගන්නවා. ඒ සඳහා විලාසිතා පිළිබඳ මනා දැනුමකින් යුතු කිහිපදෙනෙක් මට සේවාව සපයනවා.

  • අධ්‍යාපනය ඇතුළේ දැන් කාන්තාවෝ ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඒ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට ඔබ ඒ දේ දකින්නේ කොහොමද?

කාන්තාවකට නොසැලී ඉදිරියට යන්න වගේම සීමාවකින් තොරව දිනන්න පුළුවන් ක්ෂේත්‍රයක් තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. ඒ නිසා දැනුම අධ්‍යාපනය කියන්නෙම කාන්තාවකට ශක්තියක්. දැන් බොහෝ දෙනා මේ අධ්‍යාපනයේ වටිනාකම දන්නවා. ඒ නිසාම බොහෝ කාන්තාවන් වේගයෙන් තමන්ව ඉස්සරහට අරගෙන එනවා. ඒ ගැන සතුටුයි.

  • ඔබ වගේ වෙන්න හිතන් ඉන්න තවත් තරුණියෝ බොහෝ දෙනෙක් ඇති. ඒ අයට තමාගේ ජයග්‍රහණවලට යන ගමන වෙනුවෙන් දෙන්න තියෙන උපදෙස් මොනවා ද? 

ඇත්තටම මගේ වටේ ඉන්න ඉගෙන ගන්න දරුවන්ට මට කියන්න තියෙන්නේ මම වගේ වෙන්න කියලා නෙමෙයි. මම මේ ඉන්න තැනටත් වඩා ඉහළට යන්න කියලා. ඒ සඳහා අවශ්‍ය කරන සියලුම දේ අපේ දරුවන්ට තියෙනවා. ඉතින් ඒ අවස්ථාවන් හඳුනාගෙන කාලය නාස්ති නොකර තමන්ව ඉහළට අරගෙන යන්න.


 දුලක්ෂි ලියනගේ


 



අදහස් (0)

ළාබාල වයසින් මහාචාර්යවරියක් වූ වාසනා මෛත්‍රී හේරත්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31322 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13534 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site