IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සුන්දරත්වයෙන් අධ්‍යාපනයෙන් පොහොසත් - චාමිකා කරුණාරත්න (ෂැංග්‍රිලා සන්නිවේදන හා අලෙවිකරණ අංශයේ කළමනාකාරිනී)

අන් අය කතා කිරීමට පෙර තමුන් නොබියව තමුන් වෙනුවෙන් පෙනී සිටීම වැදගත්!

තුරුණු වයසේදී කාන්තාවක ලෙස තම ජීවිතයට උපරිම වටිනාකමක් දුන් චරිතයක් ලෙස ඇය නම් කරන්න පුළුවනි. පෙනුමෙන් රංගන තාරකාවක මෙන් පෙනුණ ද ඇය රංගන ශිල්පිනියක හෝ රූ රැජිනක නම් නෙවෙයි. සුන්දරත්වයෙන් පිරි ඇය බුද්ධියෙන් ද පොහොසත් වග හැඟෙයි. චාමිකා කරුණාරත්න ඇයගේ නාමයයි. ඒ නාමය ඉදිරියේ දැනට ඇය හිමිකරගෙන ගෙන ඇති උපාධි ගණන පහකි. කාන්තා ලෝකයට පමණක් නොව සමාජයට ආලෝකයක් වූ ඇය හමුවීමට අපි කොළඹ ෂැංග්‍රිලා සුපිරි තරු හෝටලය වෙත යමු. කොළඹ ෂැංග්‍රිලා සහ හම්බන්තොට ෂැංග්‍රිලා හෝටල ද්විත්වයේ අලෙවිකරණ හා සන්නිවේදන අංශයේ කළමනාකාරිනිය වන්නේ ඇයයි. 

  • සම්පූර්ණ නම – චාමිකා කරුණාරත්න.

ගම – මීගමුව

  • ඉගෙන ගත්තේ?

ආවේ මරියා කන්‍යාරාමය මීගමුව.

  • ඉගෙනීමේ අරමුණ තිබුණේ?

ගිණුම්කරණ අංශයේ නිලධාරිනියක වීමට.

  • හේතුව?

අපේ අම්මා මූල්‍ය පාලකවරියක්. (Financial Controller) ඒ පසුබිම නිසා මම ගිණුම්කරණ අංශයේ යෙදීම ගැන ඇයට තිබුණේ කැමැත්තක්. 

  • පවුලේ තොරතුරු?

අම්මයි - තාත්තයි මල්ලියි මමයි. තාත්තා සේවය කළේ පොලිස් දෙපාර්තමේන්තුවේ. 

  • අම්මා කරන වෘත්තිය නිසාමද ඔබට මෙම අංශය ගැන උනන්දුව ඇති වුණේ?

අම්මා නිසා ගිණුම්කරණ අංශය ගැන හිත ගියත් දැන් මම නියැළෙන්නේ අලෙවිකරණ හා සන්නිවේදන අංශයේ.

  • කොළඹ සහ හම්බන්තොට ෂැංග්‍රිලා ආයතනයන්හි අලෙවිකරණ හා සන්නිවේදන කටයුතු කළමනාකරණය කිරීම ඔබගේ රාජකාරිය?

ඔව්, එම ආයතන ද්විත්වයේ අලෙවිකරණ හා සන්නිවේදන කළමනාකාරවරිය ලෙස කටයුතු කරනවා.

  • චාමිකා බොහොම සුන්දරයි? රූ රැජින තරගවලට එහෙම තරග කිරීමේ කැමැත්තක් නැද්ද?

ඒ ගැන උනන්දුවක් නැහැ. පොඩි කාලයේ ඉඳලම මගේ කැමැත්ත තිබුණේ අධ්‍යාපනයට.

  • මේ වන විට ඔබ උපාධි පහක් ලබාගෙන තිබෙනවා. තව දුරටත් ඉගෙන ගන්නවාද?

දැනටත් අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා.

  • දැනට ලබා ඇති උපාධි ගැන සඳහන් කරන්න කැමතිද?

Msc – Digital Marketing 
Chartered Institute of Marketing (UK)
SLIM – Postgraduate in Marketing
Chartered Institute of Management Accountant UK,
Certified Professional Marketer Asia Pacific

  • උපාධි පහක් තියෙන – ලස්සන චාමිකා මේ දක්වා ගෙවූ ජීවිතය ගැන හිතන්නේ කොහොමද?

සුවපහසුවට ආ ගමනක්ම නෙවෙයි. සෑම දෙයක් ලබා ගැනීම වෙනුවෙන් කැපවීමක් කරන්න සිදුවුණා. ඒ වගේම ඒ වෙනුවෙන් මහන්සි වෙන්න සිදුවුණා. හැබැයි කුඩා කාලයේ ඉඳලම මට තිබුණේ අධ්‍යාපනයෙන් කඩඉම් පසු කිරීමේ ඉලක්කයක්. ඒ එකිනෙක සපුරා ගනිද්දී, ඇතිවුණේ සතුටක්. 

  • මේ විදියට අධ්‍යාපනයෙන් ජයග්‍රහණ ලබන්න ඔබ කළ කැපවීම කැප කිරීම් මොනවාද?

ඉගෙනීම් කටයුතුවලට කාලය බෙහෙවින් වැයවෙනවා. ඒ නිසා වෙනත් දේ නොකර මුළු කාලයම අධ්‍යාපනයට යොමු කරන්න කැප වුණා. ඒ වගේම මගේ අධ්‍යාපන කටයුතුවලදී ගෙදරටම බරක් වෙන්න මට අවශ්‍ය වුණේ නැහැ. රැකියාවක් කරන අතරේ මගේම මුදල් ඒ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැය කරන්න උත්සාහ ගත්තා. දැන් ආපස්සට බලද්දී ලොකු සතුටක් තියෙන්නේ. 

  • වෘත්තීය ජීවිතය හා සාමාන්‍ය ජීවිතය වෙනුවෙන් දවස ගෙවන විදිහ ගැන සඳහන් කළොත්?

උදෑසන 5ට විතර අවදි වුණාම එදාට කළ යුතු වැඩ ගැන සැලසුම් හදා ගන්නවා. කොහොමටත් හෙට කළ යුතු වැඩ ගැන අද දවසේ සැලැස්ම හදනවා. ඊළඟ දවසේ උදේම යළි ඒ ගැන සොයා බලා ඒ දවසට අදාළව කටයුතු කරනවා. සාමාන්‍ය රාජකාරී වේලාව උදෑසන 8.30 සිට සවස 5 දක්වා වුනත් අපි නියැලී සිටින රාජකාරියේ ස්වභාවය එක්ක, නිශ්චිත පැය ගණනකට සීමා වන්නේ නැහැ. 

පැය ගණනකට සීමා නොවී දීර්ඝ පැය ගණනක් වැය කළත් සතුටින් රාජකාරියේ යෙදෙන නිසා රැකියාව ගැන හරි තෘප්තිමත්. ආසාවෙන් තමුන් කරන දේ කළොත් ඒ සතුට ලබන්න පුළුවනි. 

  • මේ විදිහට උපාධි පහක් ලබාගන්න ඔබ සතු වූ ගුණාංගය ලෙස දකින්නේ? 

පටන් ගත් ඉලක්කය අරමුණ ලෙහෙසියෙන් අත් නොහැරීම. දෙයක් පටන් ගත්තොත් එහි අවසානය දක්වා යද්දී ඒ ගැන උනන්දු නම්? ආසාවෙන් නම්? ඒ අරමුණට යන්න පුළුවනි. මම හිතන්නේ මම ඒ වගේ කෙනෙක්. 

  • දවසේ පැය කීයක් විතර නින්දක් ලබනවාද?

පැය හත අටක නින්දක් ලබනවා. ඒකට හේතුව සෞඛ්‍ය සම්පන්නකම ගැන හිතන නිසයි. නිතරම සමබර ජීවිතයක් ගත කරන්නට උත්සාහ ගන්නවා. ජීවිතයේදී රාජකාරී ජීවිතය විඳිනව වගේම පුද්ගලික ජීවිතය විඳින එක කළ යුතුය කියලයි මම හිතන්නේ. සති අන්තයේ බොහෝ වෙලාවට මම ට්‍රැවල් කරනවා. ලංකාවේ වගේම, එක-එක රටවල සංචාරයට මම හරි කැමතියි. අලුත් තැන්, අලුත් කෑම වර්ග ආස්වාදය කරන්න කැමතියි. ජීවිතයට විවිධාකාර අත්දැකීම් ලබා ගැනීමට උත්සාහ ගන්නවා. සතියේ දිනවල රාජකාරිවලින් පසුව Meditation Journal එකක වගේ යෙදෙන්න සහ ඒ මගින් එදා දවසේ සුබවාදිව ගත් දේ ගැන සසඳා බැලීමක් කරන්න මම ආසයි. 

දවසට පැයක් විතර පොතක් කියවනවා. ඉස්සර නම් කතන්දර පොත් කියෙව්වා. දැන් නම් self-Health ගැන ලියැවූ පොත් තමයි කියවන්නේ. තමුන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හොඳට හිතන කෙනෙක්. ඒ හැරුණාම පැය භාගයක්වත් ව්‍යායාම්වල යෙදෙනවා. උදෑසන අවදි වුණහම අාධ්‍යාත්මික කටයුතු වෙනුවෙන් කාලය වැය කරනවා. කතෝලික ආගමිකයෙකු ලෙස දෙවියන් වහන්සේ ඉදිරියේ යාච්ඤා කරනවා. ඒ ඔක්කෝම අතරේ ‘‘යූටියුබයේ’’ පැය භාගයක් විතර සැරිසරමින් අලුත් දේ ගැන ඉගෙන ගන්න සොයන්න බලන්නත් උනන්දුයි. 

  • චාමිකා යනු පැකේජයක් කිව්වොත් නිවැරදියි නේද?

අපි කවුරුවත් සර්ව සම්‍පූර්ණ නැහැ. ඒත් ලැබුණු ජීවිතයට උපරිම දෙයක් කරන්න උත්සාහ ගන්න කෙනෙක්. 

  • ඔබ ලස්සනයි. ඔබගේ රාජකාරියේ ස්වභාවය එක්ක විවිධ පුද්ගලයින් හමුවෙනවනේ. මේ අය එක්ක – කටයුතු කරද්දි ඕනෑවටත් වඩා ඔබ දිහා බලද්දී ඔබ කොහොමද ඒ වගේ දේ ප්‍රතික්ෂේප කරන්නේ? සමහර අය යෝජනා එහෙම කරන්නත් පුළුවනි. ඔබ ඒ සියලු දේට ප්‍රතිචාර දක්වන විදිහ?

හෝටල් සේවය කියන්නේ සත්කාර සේවාවක්නේ. ඒ ක්ෂේත්‍රයේදී අපි නිතරම ප්‍රසන්නව සිටීම වැදගත්. බොහෝ පිරිසක් නිතර හමුවන නිසා බාහිර ස්වරූපය ලස්සනට තබා ගැනීම කළ යුතුයි. එවැනි ප්‍රතිචාර අදහස් ලැබුණොත් සිනාමුසුව ඊට මුහුණ දෙනවා. හැබැයි අපට සීමාව දැන සිටීම වැදගත්. තමාගේ සීමාව කාන්තාවකට තිබිය යුතුයි. එවිට බය වෙන්න අවශ්‍ය නැහැ. කාටවත් බලහත්කාරයෙන් යමක් කරන්න බැහැනේ. එවැනි තැන්වලදී සීමා රේඛාව තැබිය යුතු තැන ගැන මට අවබෝධයක් තිබෙනවා. සෑම සෘණාත්මක සහ ධනාත්මක දේ මෙහෙයවීමේ දක්ෂතාව අපට තිබිය යුතුයි. මහජන සබඳතාව ගැන අපි පුහුණුව ලබලා ඉන්නේ. අපි අපේ රාජකාරියේ දී සේවය කරන අය අතර හෝ හෝටලයේ වෙනයම් ප්‍රශ්නයක් ආවොත් ඊට මුහුණ දෙන විදිහ සහ ඒවා විසඳන විදිහ ගැන අවබෝධය තිබිය යුතුමයි. හෝටලයේ ප්‍රශ්නයක් ගැන කතා කරන්න මාධ්‍ය කතා කරන්නේ සන්නිවේදන කළමනාකරුට. ඒ නිසා ඒවාට මුහුණ දෙන්න පිළිතුරු දෙන්න අපි පුහුණුව ලබලා ඉන්නේ. මේ දක්වා ලබා ඇති පළපුරුද්ද එක්ක ඒ අත්දැකීම් පවා වැදගත් වෙනවා. 

  • ඇහැට – කනට පෙනෙන කාන්තාවක ලෙස අයුතු යෝජනා පිරිමි පාර්ශ්වයෙන් ආවොත් ඊට කොහොම මුහුණ දිය යුතුය කියලද? අනෙකුත් කාන්තාවන්ට ඔබ දෙන උපදෙස?

හොඳ – හෝ - නරක තවත් කෙනෙකුගේ ක්‍රියා කලාපය අපට කොන්ට්‍රොල් කරන්න බැහැ. අපිට ඒවා පාලනය කරන්න පුළුවන් වෙන්නේ අපි දක්වන ප්‍රතිචාර අනුවයි. ලංකාවේ කාන්තාවන් විශේෂයෙන් දැන ගත යුතු දේ වන්නේ අන් අය තමන් ගැන කතා කිරීමට පෙර තමන් තමුන් ගැන නිර්භයව කතා කිරීමයි. තමුන්ට ආදරේ නම් නොබියව හඬ නගන්න ඕනෑ. අනවශ්‍ය විදිහට කතා කරන්න, ස්පර්ශ කරන්න උත්සාහ ගන්නවා නම්? තමුන්ට ආත්ම ශක්තිය තිබිය යුතුයි. තමුන්ව ආරක්ෂා කරගන්න සියලු දේට පෙර කාන්තාවක් තමුන්ට ආදරය කළ යුතුයි. 


සඳුන් ගමගේ


 



අදහස් (0)

සුන්දරත්වයෙන් අධ්‍යාපනයෙන් පොහොසත් - චාමිකා කරුණාරත්න (ෂැංග්‍රිලා සන්නිවේදන හා අලෙවිකරණ අංශයේ කළමනාකාරිනී)

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31143 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13281 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site