IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


ශ්‍රී සිද්ධා සමගින් උදාරි රිදී තිරයට

Photos - Mahesh Arjuna


2009 වර්ෂයේ  නිර්මාණය වූ උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය  කළ  "පායා එන්න හිරුසේ" සිනමා පටය හරහා ශ්‍රී ලාංකීය  සිනමාවට පෑයු වර්ණවත් තාරකාවිය උදාරි වර්ණකුලසූරිය - ඇය වර්තමාන සිංහල සිනමාවේ ආකර්ෂණීයම රංගන ශිල්පිනියක්. ඇයටම අනන්‍යය වූ රංගන කුසලතාවයෙන්  වර්ණවත් වූ සිනමා නිර්මාණ සහ ටෙලි නිර්මාණ හරහා ප්‍රේක්ෂකාගාරයට සමීප වූ ඇය ජනප්‍රිය කිරුළ පස් වතාවක්  හිස මත දරා, දෙවතාවක් හොඳම නිළිය සම්මානයටද හිමිකම් කීය.  පසුගිය කාල සීමාව තුළ සිනමා නිර්මාණ රැසකින්ම දැකගන්නට ලැබුණ ඇය- මේ දිනවල රියල් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ගේ අධ්‍යක්ෂණයෙන් රිදීතිරයට  එන "ශ්‍රී සිද්ධා"  ඇය රංගනයෙන් දායක වන අලුත්ම සිනමා සිත්තමයි.

  • උදාරි ලංකාවට එන්නේ ශ්‍රී සිද්ධා චිත්‍රපටය වෙනුවෙන්මද?

තාත්තා දැන් ලංකාවේ නිසා - මම නිතරම ලංකාවට එනවා තාත්තා බලන්න . මගේ පවුලේ අය ඉන්නේ සීසීකඩනේ. අයියා ඕස්ට්‍රේලියාවේ, අම්මා ඇමෙරිකාවේ , මම  සිංගප්පූරුවේ. ඔය ටිකේ තමයි මගේ සංචාරය. තාත්තායි අම්මායි දෙන්නාම ඇමෙරිකාවේ හිටියේ. තාත්තා දැන් ටිකක් අසනීප තත්ත්වයේ ඉන්නේ. ඒ නිසා එයා දැන් කැමති ලංකාවේ ජීවත් වෙන්න.

චිත්‍රපටය වෙනුවෙන්ම කියලා ආවේ නැහැ. තාත්තා බලන්න තමයි ලංකාවට ආවේ. ඒ අතරතුර චිත්‍රපටයත් තිරගතවීම සිදුවුණූ  නිසා ඒ අවස්ථාවට ඉන්න ලැබීම ලොකු සතුටක්.

  • ශ්‍රී සිද්ධා සිනමාපටයෙන්ම කතාව පටන් ගමුකෝ., කොහොම ද  මේ අවස්ථාව ඔබට ලැබෙන්නේ?

ශ්‍රී සිද්ධා රූපගත කිරිම් කරලා අවුරුදු 5 ක් විතර වෙනවා. කොරෝනා සහ රටේ අරගල තත්ත්වයන් එක්ක චිත්‍රපටය තිරගත කිරීමට විවිධ බාධා එල්ල වුණා. මම හිතනවා හොඳම කාලයක තමයි කියලා ශ්‍රී සිද්ධා රිදී තිරයට එන්නේ.

මෙහි මගේ චරිතය වෙන්නේ සුමනා කියන චරිතය. ඇය ගමේ ජීවත් වන සාමාන්‍ය කාන්තාවක්. රජතුමා පෙම්බඳිනවා මේ තරුණියට.  සුමනා කියන්නේ රජතුමාගේ පෙම්වතිය. ඇය දැනන් ඉන්නවා මේ ආදරය ඇයට හිමි වන ආදරයක් නෙවේ කියලා. ආදරය, විරහව, හාස්‍යය,  ත්‍රාසය,.. මේ හැම දේම මේ නිර්මාණයේ අන්තර්ගත වෙලා තියෙනවා. පොලොන්නරුව යුගයේ දී  මෙරට එක්සේසත් කළ පළමුවන විජයබාහු රජතුමාගේ ජීවිත කතාව වටා ගෙතුණු සත්‍ය සිදුවීම් මාලාවක් තමයි චිත්‍රපටයට නගලා තියෙන්නෙ. පනාකඩුව තඹ සන්නසේ ඓතිහාසික කතාව  සත්‍ය කතාවක් කියලා මම දැනගෙන හිටියේ නැහැ. තිර පිටපත අතට ලැබෙනකම්. එහි කොටස්කරුවකු වෙන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි.

  • ඉදිරි නිර්මාණත් ඉතිහාස කතා රුල්ලේ නිර්මාණම ද?

ඉතිහාස කතාවලින් ’දේවි කුසුමාසන’ චිත්‍රපටය එන්න තියෙනවා. ඊට අමතරව ජැක්සන් ඇන්තනී මහත්මාගේ සම්බුලා කියන ඉංග්‍රීසි චිත්‍රපටයත්, ’දේවි සම්බුලා’ කියන සිංහල චිත්‍රපටයත් ඉදිරියට එන්න තියෙනවා. හැමෝම ආසාවෙන් බලා ඉන්න ’එකගෙයි සොකරි’ චිත්‍රපටයත් ලබන වසරේ මුල තිරගත වේවි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා. එන්න තියෙන නිර්මාණ අතරින් හතරෙන් තුනක්ම ඉතිහාස කතා තමයි.

ඉතිහාස කතාවලින් එළියට ගිහින් කරපු නිර්මාණ කිහිපයකුත් පහුගිය කාලේ  තිරගත වුණා. ඒ අතර ’මිදුණු විශ්වය’ මට ලැබුණ සුවිශේෂී නිර්මාණයක්.

  • මේ අවුරුද්දට භාරගත්ත අලුත් කලා වැඩ නැද්ද?

මේ අවුරුද්දට නම්  භාරගත්ත වැඩ නෑ. ලබන අවුරුද්දට නම් ප්ලෑන් කරගෙන යන චිත්‍රපටි කිහිපයක්ම තියෙනවා.

  • ඒ කියන්නේ වැඩිපුරම ඉල්ලුම  තියෙන්නේ චිත්‍රපටි  වලින් ද?

ඇත්තටම මට චිත්‍රපටවලට වැඩියෙන් ආරධනා ලැබෙනවා. ටෙලි නාට්‍යවලටත් කතා කරනවා. නමුත් මම මෙගා ටෙලි නාට්‍යවලට දායක වෙන්න කැමති නැහැ. මොකද මට දීර්ඝ කාලීනව ලංකාවේ රැඳෙන්න අමාරු නිසා. ෂුටිං ඉවර කරපු ටෙලි නාට්‍යයක් තියෙනවා. ’සිටුවර පුවත’ කියලා. ඒ ඇරෙන්න අලුත් ටෙලි නාට්‍ය නම් කාලෙකින් කරලා නැහැ.

  • ටෙලි නාට්‍යවලින් ජනප්‍රිය වුණ උදාරි- පසුකාලීනව ටෙලි නාට්‍යවලට අඩු දායකත්වයක් දෙන්නේ ඇයි?  


ටෙලි නාට්‍ය නොකරම හිටියේ නෑ. දීර්ඝ ටෙලි නාට්‍ය  එක්ක නම් මම  සම්බන්ධ වුණේ නැහැ. හේතුව ඒවා භාර අරන් මට විටෙන් විට විදේශගත වෙන්න වුනාම, ඒ නිර්මාණ කරන අය අපහසුතාවට ලක්වෙනවා. මගේ දුව, සැමියා පදිංචි වෙලා ඉන්නේ සිංගප්පූරුවේ නිසා- මට නිතර නිතර විදේශ ගත වෙන්න වෙනවා. ඒ නිසා මම ටෙලි නාට්‍ය  භාරගත්තේ අඩුවෙන්. පසුගිය කාලේ නම් සිනමාවට ලොකු කාලයක් මම දුන්නා.

  • පවුලේ අය සහ  ඔබ රටවල් දෙකක නිසා  පුද්ගලික ජීවිතේ මග හැරුණු තැන් ඇති. කොහොමද ඒ අභියෝගයන්ට සැමියාගෙන් ලැබෙන සහය?.

මම පෞද්ගලික ජීවිතේ දේවල් නම් අතපසු වෙන්න ඉඩ තියන්නේ නැහැ. කොහොම හරි කාලය මැනේජ් කරගෙන වැඩ කරගන්න උත්සාහ කරනවා.මවක්, බිරිඳක් විදියට සමහර වෙලාවන්වලදී  මග හැරෙන අවස්ථාවන් ද තියෙනවා. නමුත් මග නොහැරෙන්න උත්සාහ ගන්නවා. කොරෝනා කාලේ එහෙම මම ලංකාවේ හිර වුණා. ලංකාවේ මම ගෙවපු කාලේ - සැමියා දුවට අම්මායි තාත්තායි දෙන්නාම වුණා. ඒ වගේ අවස්ථාවල  සැමියාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන්ම සැමියාගේ තේරුම් ගැනීම මට මේ ගමන එන්න විශාල ශක්තියක් වුණා කිව්වොත් හරි. දැන් දුවට අවුරුදු 12 ක් වෙනවා. දුවගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. කිසිම ජයග්‍රහණයක් කැපවීමකින් තොරව ලබාගන්න බෑ කියන එක මම මගේ ජීවිතේ අත්දැකිමෙන්ම දකිනවා.  

  • ඔබ ක්ෂේත්‍රයට එන්නෙම විවාහ වෙලා. ඒ බැඳීම කලාගමනට  කොතනකදිවත් බාධාවක් වුණේ නැද්ද?

ඒක මම බාධාවක් කියලා හිතන්නේ නැහැ. උදයකාන්ත මහත්මාගේ "පායා එන්න හිරු සේ " චිත්‍රපටයට එනකොටම මම විවාහ වෙලා. මම විවාහකයි කියන එක ප්‍රේක්ෂකයින්ට ගැටලුවක් වුණේ නැහැ. එහෙම බාධාවක් වුණා නම් අද මට මේ තරම් දුරක් එන්න බැහැ. දරැවා ලැබෙද්දිත් මම විදෙස් ගත වෙලා හිටියේ දරුවා ලැබුණාට පස්සේ වෙනදට වඩා නිර්මාණවලට ආරාධනා ලැබුණා. වසරේ ජනප්‍රියතම නිළියට හිමි සම්මානය මුලින්ම  ලැබෙද්දිත්, මම දුව ලැබෙන්න ඉන්නවා. දුව ලැබිලා මාස කිහිපයකට පස්සේ ’ආදර දෑසක්’ ටෙලිනාට්‍ය නිසා නැවතත් ජනප්‍රියතම නිළිය සම්මානය ලැබෙනවා. විවාහ වුණා කියලා මගේ ජනප්‍රියත්වය පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ.  

  • මේ වෙනකොට උදාරිගේ පදිංචිය?

අවුරුදු 16 ක් පුරාවට පදිංචිය සහ මම ජීවත් වෙන්නේ සිංගප්පුරුවේ. ලංකාවට එන්නේ තාත්තගේ වැඩ කටුයුතුවලට සහ රූපගතකිරිම් තිබුණොත් විතරයි.

  • වසර දාසයක අත්දැකීම්  එක්ක කලාව ඇතුළේ උදාරි අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?       

’බොඳමීදුම්’  ටෙලිනාට්‍යය කරන මුල් කාලේ රඟපෑ චරිතවලට වඩා අද මගේ රංගනය දකිද්දි  මම ලොකු වෙනසක් අත්දකිනවා. මම වැඩ කරපු අධ්‍යක්ෂකවරුන්ගෙනුත්, ප්‍රවීණ ශිල්පින්ගෙනුත්, මම ඉගෙන ගත්ත දේ තමයි ඉවසීම ප්‍රගුණ කිරීම. මම වැඩ කරපු හැම නිර්මාණයකින්ම කලාව පිළිබඳ ගොඩාක් දේ ඉගෙන ගත්තා. ගොඩාක් තැන්වලදි මම හරි භාග්‍යවන්තයි කියලාත් හිතනවා. මගේ මහන්සියේ  ප්‍රතිඵලත් අද අත්දකිනවා. දෙරණ මිස් ශ්‍රී ලංකා ඔස්සේ කලාවට අඩිය තියපු මම මුලින්ම කැමරාව ඉස්සරහට එන්නේ 

වෙෙළඳ දැන්වීම් සහ ගීත රූප රචනාවලින්. මාව මුලින්ම සිනමා තිරයට ගේන්නේ උදයකාන්ත මහත්මා පායා එන්න හිරුසේ චිත්‍රපටයෙන්. ඊට පස්සේ බොඳ මීදුම් ටෙලි නාට්‍යයේ  සංසලාගේ චරිතයෙන්  ප්‍රේක්ෂකයෝ  මට අසීමිතව ආදරය කරන්න පටන් ගත්තා. මාව හැමෝම අඳුරගන්නේ බොඳ මීදුම් ටෙලි නාට්‍යයේ සංසලාගේ චරිතයෙන්. මම කොච්චර චරිත කරත් අදටත් ඉහළින්ම ප්‍රේක්ෂක ආදරය ලැබෙන්නේ සංසලාගේ චරිතයට.  එතැන් පටන්  මම වැඩිපුරම ප්‍රේක්ෂකයෝ අතරට ආවේ ටෙලි නාට්‍ය වලින්. මම චරිත කොච්චර කරත් අදටත් වෙනස් චරිත ලැබෙනවනම් මම හරි කැමතියි.


 නදීශා අතුකෝරළ  


 



අදහස් (0)

ශ්‍රී සිද්ධා සමගින් උදාරි රිදී තිරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 107 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site