එය හරියටම ගිනි ගොඩක සිට තෙල් තාච්චියකට පැන්නාක් මෙනි. එය තවත් විදියකින් ලෙඩෙක් මැරෙනවාට වඩා ලෙඩේ සනීප කර ගැනීමට දුන් බෙහෙත මාරාන්තික වූවාක් වැනි දෙයකි. 


ඒ කොයික වුවත් මෙය සිදුවූයේ ඉරාකයේය. ඒ 1971 සහ 1972 අතර කාලයේය. මේ වෙද්දී ඉරාකය අවුරුදු දෙකකටත් වැඩි කාලයක් පැවැති දරුණු නියං කාලයක් ගෙවා දමමින් තිබිණි. දසතින්ම ආහාර අහේනියක ලකුණු මතුවී ඉරාක වැසියෝ කුණු බක්කිවලට පවා අත දමමින් කෑමට දේවල් සොයන තැනට වැටී සිටියහ. මේ වනවිට ඉරාක ජනපති අහමඩ් හසන් බා්ර්ගේ රජය ද මේ අවාසනාවන්ත තත්ත්වයෙන් මිදීමට කළ හැකි දෙයක් නැති තැනට වැටී තිබිණි. ආහාර සඳහා රජය ඉතිරි කර ගත් ධාන්‍ය සංචිත ද අඩියටම වැටී තිබිණි. මේ නිසාම ගොවීන්ගේ මීළඟ කන්නයේ වගාවට ඉතාමත් උසස් තත්ත්වයේ ධාන්‍ය බීජ ගෙනැවිත් බෙදා හැරීමට රජය තීරණය කළේ සද් භාවයෙනි. එහෙත් ගොවීන් අතට වගාවට දුන් ධන්‍යවලින් ඔවුන් කළේ වෙනත් දෙයකි. ඒ මේවායින් පාන් සකසාගෙන කෑමය. එයින් ඔවුන්ගේ කුසගින්න නිවීම කෙසේ වෙතත් සිදු වූයේ ලෝක ඉතිහාසයේ අවාසනාවන්ත ඛේදවාචකයකි. ඒ කෑම විසවීමෙන් පනස් දහසක පමණ ජනතාවක් මිය ගොස් තවත් ලක්‍ෂයක පමණ පිරිසක් සිය ජීවිත කාලය පුරාවටම දහ දුක් විඳින්නන් බවට පත් වීමයි. 
හිරු යක්‍ෂාවේශ වී ඔවුන්ගේ හිස් මුදුන්වලට උඩින් පෙනී සිටියේ දරුණු සාගතයක් ද මවමිනි. ඒ වනවිට ඉරාක රජය සතුව තිබූ ධාන්‍ය සංචිතවලින් කොටසක් සහනාධාර ලෙසින් බෙදා හැරීමට තීරණය කළේ ජනතාවට යම් තරමකට හෝ සහනයක් ලබා දීමේ අපේක්‍ෂාවෙනි. 


මේ අතර ඉරාකයේ බාත් පක්‍ෂයේ රජය තීරණය කළේ මීළඟ කන්නයේ වගාවලට වැඩි අස්වනු ලබාදෙන උසස් තත්ත්වයේ ධාන්‍ය බීජ ගෙන්වා වගා කිරීම සුබදායක බවය. ඒ පැවැති තත්ත්වයට ද පිළියමක් ලෙසිනි. අන්තිමේ දී රජය තීරණය කළේ “මෙක්සිපැක් ” නමින් හැඳින්වුණ බීජ නිෂ්පාදන මිල දී ගැනීමටය. මෙය මෙක්සිකෝවේ නිෂ්පාදන වන අතර ඒවා වැඩි දියුණු කරන ලද්දේ ඇමෙරිකානු නොබෙල් සම්මානලාභියකු වූ ආචාර්ය නෝර්මන් බෝර්ල්ග් විසිනි. “හරිත විප්ලවය” වෙනුවෙන් නවීකරණය කෙරුණ බොහෝමයක් උසස් තත්ත්වයේ බීජ වර්ග රැසක් නිර්මාණය වූයේ ද ඔහු අතිනි. 


කෙසේ වෙතත් ඉරාකය ඒ වනවිට රටේ පැවැති තත්ත්වය අනුව තිරිඟු ටොන් 73,000ක් ද බාර්ලි ටොන් 22,000ක් ද ප්‍රධාන වශයෙන් ඇණවුම් කළේ ඇමෙරිකානු සමාගමක් හරහාය. කෙසේ වෙතත් මෙම සමාගම මෙම ධාන්‍ය ලබාදීමට පෙරාතුව එක දෙයක් දැනුම් දී තිබිණි. ඒ මේවා බෙදා හැරීමට පෙරාතුව වෙනත් ශාක රෝග වැළක්වීමේ අරමුණෙන් මීතයිල්මර්කරි ඩයිසයිනයිඩි අමිඬේ නම් රසායන ද්‍රව්‍ය යොදා ඇති බවය. මෙහි වඩාත් බලපෑමක් කළ හැකි රසායනය ලෙසින් රසදිය අඩංගුව තිබිණි. 


ඇමෙරිකාව, කැනඩාව සහ බොහෝමයක් යුරෝපීය රටවල් රසදිය අඩංගු බීජ වර්ග ගෙන්වීම මේ වනවිටත් තහනම් කර තිබුණේ පස්වැනි දසකයේ දී රසදිය විසවීමේ සිද්ධීන් කීපයක්ම ස්වීඩන්, පකිස්තානය සහ ගෝතමාලාවෙන් වාර්තා වී තිබුණ නිසාය. 1956 සහ 1960 කාලයේ දී ඉරාකයෙන්ම ද මෙම රසදිය විසවීම් වාර්තා වී තිබිණි. එසේ වුවත් මේ වනවිට ඉරාකයට මෙම බීජ තොගය රටට ගෙන්වීම හැර වෙනත් විකල්පයක් නොවිණි. 


සැප්තැම්බරයේ 16 වැනිදා උදා වෙද්දී ලයිබීරියන් භාණ්ඩ නෞකාවක් වන ටේරඩ් කැරියර් බස්රා වරායට සේන්දු වූයේ තිරිඟු සහ බාර්ලි අඩංගු මලු විශාල ප්‍රමාණයක් ද සමගිනි. ඒ සෑම බෑගයකම එක්තරා ලාංඡනයක් ද වචනයක් ද විය. ඒ කුරුස ආකාරයට ඇඳුණ ඇට කටු දෙකක් සහ මිනී ඔළුවේ සලකුණත් “වස” යන වචනයත්ය. ඒ සමග ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ භාෂාවලින් මෙම ධාන්‍යය ආහාරයට නුසුදුසු බව ද සනිටුහන්ව තිබිණි. එහෙත් අවාසනාවකට මෙන් මෙම පණිවිඩය තේරුම් ගත හැකි තත්ත්වයක සිටියේ අතළොස්සක් පමණ පිරිසකි. ඒ භාෂා හුටපටය සහ නූගත්කම හේතුවෙනි. එහෙත් කාරණය තේරුම් ගත් පිරිසෙන් ද වැඩි දෙනා මෙම අවවාදය කිසිම ගණනකට ගෙන නොතිබිණි. 


ඉරාක රජය මේවා ගොවීනට බෙදා හරිමින් කීවේ මීළඟ කන්නයේ අස්වැන්න ලබා ගන්නා තුරු මෙම බීජවලට කිසිම ගෙවීමක් නොකරන ලෙසය. මෙම ධාන්‍ය බීජ අලංකාර රත් පැහැයක් ගෙන තිබුණ අතර අසරණව සිටි දුප්පත් ගොවීන් කළේ ඒවා වෙළෙඳ පොළට දමා විකිණීමයි. තවත් සමහරුන් කළේ ඒවායින් පාන් සාදාගෙන කෑමයි. මෙම ධන්‍ය තොග ගබඩාවලට ගෙන යාමත් ඒවා බෙදාහැරීමත් පැවැරුණේ ට්‍රක් රථ රියැදුරන්ටය. ඔවුන්ගෙන් සමහරුන් මේවා හොර රහසේම ගම්වැසියන්ට විකිණීමට කටයුතු කළේ ඒ වනවිට කෑමට හැකි ඕනෑම දෙයක් ගැනීමට ඔවුන් ද ලක ලෑස්ති වී සිටි නිසාය. මේ අතර තවත් තැනෙක කල්ලි ගැහුණු පිරිස් මෙම වාහනවලට පහර දී ධාන්‍ය මලු පිටින්ම කොල්ලකාගෙන ගියහ. 


ආණ්ඩුවේ ගබඩාවලින් මෙම ධාන්‍ය බෙදා හරිද්දී පවා ගොවීන්ට මේවා කෑමට කොහෙත්ම හොඳ නැති බවට හරි හමන් උපදෙස් ලබා දී නොතිබිණී. එසේම ඔවුන්ට අකුරු කියවා තේරුම් ගැනීම කෙසේ වෙතත් එහි ඇද තිබුණු මාරාන්තික බව ඇඟවෙන සලකුණ හඳුනා ගැනීමට ද නොහැකිව තිබිණි. මේ වනවිට සිදු වන්නට යන භයානක විපැත්තිය පිළිබඳව ඉරාක රජයට ඉව වැටී මේවා ආහාරයට ගැනීමෙන් සිදුවන අනතුරුදායක කම ගැන දැනුවත් කෙරෙන ලක්‍ෂ ගණනාවක් පත්‍රිකා සහ පෝස්ටර් ගුවන් මගින් ගම්මානවලට බෙදා හැරියේය. එහෙත් කුසගින්න සමග සටන් කරමින් සිටි ජනතාවට එය වැදගත් දෙයක් නොවීය. ලස්සනටත් පෙනුමටත් තිබෙන මෙම බාර්ලි සහ තිරිඟු ඇට කෑමට එපා යැයි කියන්නේ ඇයිදැයි වටහා ගැනීමට ඔවුන්ට කිසිම වුවමනාවක් නොවුණේ කුසගින්න ඒ සියල්ල අබිබවා නැගී සිටි හෙයිනි. 


අනෙක් අතට මෙම ධාන්‍ය ඇට පාරිභෝජනය නතර නොවන තැනට පත් වී තිබුණේ ඒවායින් සාදන පාන් බොහෝ රසවත්වීම හේතුවෙනි. සති කීපයක් ගෙවී යත්ම රසවත් පාන් කෑමේ ආදීනව මතු වන්නට පටන් ගත්තේය. තරුණ බාල මහලු කිසිම බේදයක් නොමැතිව මුල්ම ලක්‍ෂණය ලෙසින් වමනය යන්නට පටන් ගත්තේය. සමහරුන්ට සිහි කල්පනාව ද නැතිව ගොස් ඇති අයුරු පෙනෙන්නට විය. අඩියක් ඇවිද යාමට පවා නොහැකිව සිටි ඔවුන්ට සිරුරේ සමබරතාව පවත්වාගෙන යාමට නොහැකිව බිම ඇද වැටෙන තැනට පත්ව සිටියහ. බොහෝ දෙනාගේ මොළයටත්, ස්නායු පද්ධතියටත් ධාන්‍යවල තිබුණු රසදියවලින් බලපෑමක් එල්ලවී තිබිණි. 


එසේම මෙම ධාන්‍ය ඇසුරුම්වල මෙවැනි විසවීමක් වුවහොත් කළ යුතු දේ ද සඳහන් කර තිබිණි. ඒ අනුව කිරි හෝ බිත්තර සුදු මදය මුලින්ම වතුරට දමා දිය යුතු විය. ඉන් පසුව ලුණු මේස හැන්දක් උණු වතුර වීදුවකට දමා දිය යුතු විය. යළිත් වතාවක් වතුර දැමූ කිරි හෝ බිත්තර සුදු මදය ලබා දී වෛද්‍යවරයකු අමතන ලෙසට එහි විය. එහෙත් ඉරාක වැසියන්ගේ අවාසනාවට මෙන් මෙම උපදෙස් සියල්ල තිබුණේ ඉංග්‍රීසි බසිනි. ඔවුන්ගෙන් කිසිවකුටත් මෙය තේරුම් ගැනීමට නොහැකි විය. අනෙක මේ විපැත්තියට ගොදුරුවූවන්ගෙන් වෛද්‍යවරයකුට කතා කර තිබුණේ අතළොස්සක් දෙනා පමණි. බොහෝ දෙනා මිය ගියේ කිසිම ප්‍රතිකාරයක් නොමැතිවය. තවත් සමහරුන් රෝහල්වලට ඇතුළු කර තිබුණේ අසල්වාසීන්ය. 


බොහොමයක් රෝහල් නත්තල් සමයත් ජනවාරියත් අතර කාලයේ දී මෙම රෝගීන්ගෙන් පිරී යන්නට වූ අතර ඉරාකයේ පළාත් දහ හතරෙහිම වෛද්‍ය මධ්‍යස්ථාන සෑම එකකටම දිනකට සියයකටත් වැඩි පිරිසක් රෝගී තත්ත්වයෙන් ඇතුළු වූහ. 


රෝගී පිරිස එන්න එන්නම දරුණු ලෙස වැඩි වීමත් සමග රජය තීරණය කළේ ගබඩාවල ඇති තිරිඟු සහ බාර්ලි තොග ගොවීන්ට නිකුත් නොකිරීමටය. ඒ එක්කම මේවා මිනිස් ආහාරයට ගැනීම මෙන්ම ගවයන්ට කෑමට නොදෙන ලෙසට ද තහනම් නියෝග නිකුත් විය. ඒ සමගම මෙම නීතිය කඩ කරන්නන්ට මරණ දඬුවම ද නියම විය. 


මේ තීන්දුව දී මාසයක් පමණ ගෙවී තවත් අලුත් ප්‍රශ්නයක් කරළියට ආවේය. ඒ විස සහිත මස් වෙළෙඳපොළෙන් හමුවීමය. ඒ ගොවීන් බාර්ලි සහ තිරිඟු කෑමට දුන් ගවයන් දුර්වල වෙද්දී මසට විකිණීම හේතුවෙනි. මෙහි ප්‍රතිඵලය වූයේ මාස දෙකක් යනතුරු මස් වෙළෙදාම තහනම් කිරීම ද රජය පියවර ගැනීමයි. එහෙත් ඉන් පසු ද බොහෝ කාලයක් යනතුරු ඉරාක වැසියන් මස් කෑම අත හැර දැමුවේ බොහෝ දෙනකු විස බාර්ලි සහ තිරිඟු ආහාරයට ගැනීමේ විපාක අත් විඳ තිබූ හෙයිනි. එහෙත් එයින් ද යළිත් වතාවක් බැට කෑවේ ඉරාක වැසියන්මය. ඒ එළවළු ඇතුළු අනෙකුත් කෑම වර්ගවල මිල ගණන් නොසිතූ අයුරෙන් ඉහළ යාමෙනි. 
ඒ කොයික වුණත් බාර්ලි සහ තිරිඟුවලින් රසදිය ශරීරගතවීමෙන් 6530 දෙනකු රෝගීවී යැයි ඉරාක රජය නිල වශයෙන් නිවේදනය කළේ එයින් 459 ක් රෝහල්වල දී මියගිය බව ද සඳහන් කරමිනි. එහෙත් නිල නොවන වාර්තාවලට අනුව මෙම ගණන් මිනුම් බොහෝ සෙයින් වැඩිය. බ්‍රිතාන්‍ය සන්ඬේ ටයිම්ස් පුවත්පතේ එවකට වාර්තාකරුවකු වූ එඩ්වර්ඩ් හියුස් එවක සඳහන් කර තිබූ අන්දමට ඉරාකයේ රසදිය විෂ වීමේ සිද්ධියෙන් අඩුම තරමෙන් හයදහසක පිරිසක් මිය ගොස් ඇත. රෝගී වූ පිරිස දස දහස ද ඉක්මවයි. රෝගී වූ බොහෝ දෙනා නිවෙස්වලින් පිටතට පැමිණ ප්‍රතිකාර නොගෙන තිබූ අතර මියගිය ඇතැමුන්ගේ සිරුරු කිසිම වාර්තාවක් හෝ කිසිදු සඳහනක් හෝ නොමැතිවම වළ දමා තිබිණි. 


මෙම සිද්ධියෙන් වසර දෙකකට පසුව හියුස් යළි ඉරාකයට පැමිණි අවස්ථාවේ දී ඔහුට රටේ සෑම තැනකින්ම වාගේ දැක ගන්නට ලැබී තිබුණේ ඇතැම් තැනෙක පවුල් පිටින්ම අතුරුදන්ව සිටියේ ඔවුන්ට මාරයාගෙන් කිසිම ගැලවිල්ලක් නොලැබී තිබූ හෙයිනි. අනෙක් අතට මේ බියකරු සිද්ධිය ගැන කතා කරන්නට පවා මෙම ඛෙදවාචකයට මුහුණ පා සිටි කාටවත් හැකියාවක් නැති බව ද පෙනී ගිය බැව් හියුස් කියා සිටියේය. එක් අවස්ථාවක දී හියුස් සිය අත්දැකීම වාර්තා කර තිබුණේ මේ අයුරෙනි. 


“දවසක් මගේ කාර් එක අතුරු පාරකින් එද්දී මගේ රියැදුරා එක පාරම වාහනය නතර කරලා අමාරුවෙන් කතා කළා... එතැන පැත්තක ආබාධිත ළමයින් දහ දොළොස් දෙනෙක් පාපන්දු සෙල්ලම් කරන්නට උත්සාහ කරන්නට සිටියා. මේ අය අවුරුදු හයත් දොළහත් අතර වයසේ කට්ටියක් වගෙයි පෙනුණේ.... ඒ අයගෙන් සමහර දෙනා බොහෝම අස්වාභාවික විදියට වැනි වැනී ඉන්නවා දැක්කේ හරියට හොඳටම බීලා ඉන්න බේබද්දන් වගෙයි....ඒ අතරෙ තවත් සමහරුන් ඉඩ පාඩු තැන්වල වාඩි වෙලා හිටියේ. අ​ෙනක් අය දිහා බල බල ඔරවමින්... මේ අතරේ එක්කෙනෙක් බෝලය තල්ලු කරන්න උත්සාහ කරමින් උන්නා.... එයා බෝලයට පයින් ගහනවාත් එක්කම ඇද ගෙන වැටුණේ එයාගේ සමබරතාව තියා ගන්න බැරිකමටයි. ඒ එක්කම අත පය වලංගු නැති තව ළමයෙක් බෝලය පැත්තට දුවගෙන ආවත් එයා කෙළින්ම නතර වුණේ ළඟ තිබුණ පදුරකට විසිවෙලා වැටිලයි... පස්සෙයි අපට තේරුණේ ඒ මේ සිද්ධියෙන් අන්ධ වුණ කෙනෙක් කියලා...” 
රසදිය මුසු රසායන බීජ සංරක්‍ෂණය සඳහා අද වනවිට යොදා ගන්නා බවට සාධක නොමැතිය. එහෙත් එසේ වූ පමණින්ම ඉරාකයේ සිදු වූවාක් වැනි මානව සංහතියම වැනසී යා හැකි මෙවැනි ඛේදවාචක අනාගතයේ දී ද සිදු නොවිය හැකි යැයි ඔට්ටු තබන්නට ද නොහැකිය. 


(මාස්ට්‍රම් කපූර් විසින් සම්පාදිත WORLD FAMOUS DISASTERS කෘතියට ඇතුළත් Mass Poisoning in Iraq ලිපියේ සිංහල පරිවර්තනය)

 

 

රංජන් වික්‍රමනායක