සුමිත්ත අමරසිංහ නම් සුප්‍රකට කැමරා අධ්‍යක්‍ෂවරයා පිළිබඳව කතා කරන විට එක්වරම අපට සිහිපත් වන්නේ ‘පරසතු මල්’ ය.   


බොනී මහත්තයා වලව්වේ තරප්පු පෙළ මතට පැමිණ අවට බලද්දී ඔහුගේ යෝධ සෙවණැල්ල ද අපට දැකගත හැකි වෙයි. විචාරකයෝ ඊට බොහෝ අර්ථකථන දුන්හ. එම දර්ශනය පමණක් නොව එම දර්ශනයට අදාළ නිශ්චල ඡායාරූපයන් දුටු විට පවා අපට සුමිත්ත සිහිපත් වෙයි.   


සුමිත්තගේ කැමරාවෙන් හැඩගැන්වුණු චිත්‍රපට රාශියකි. ඒ හැම චිත්‍රපටයක්ම වාගේ සිනමාවේ මංසලකුණු සනිටුහන් කරන ලද නිර්මාණය.   


සුගතපාල සෙනරත් යාපා නමැති සම්මානනීය අධ්‍යක්‍ෂවරයා නිර්මාණය කරන ලද චිත්‍රපට ඇත්තේ කිහිපයක් නමුදු හැම චිත්‍රපටයකම කැමරා අධ්‍යක්‍ෂවරයා වූයේ සුමිත්තය.   
සුමිත්ත සිනමා රූපයක කලාත්මක බවත්, ඒ සඳහා යොදාගත යුතු තාක්‍ෂණයත් හොඳින්ම දැන සිටියේය.   
‘හන්තානේ කතාව’ ගතහොත් එහි රූප රාමු මුතු වැලක් ඇමුණුවාක් මෙනි. ‘ඉන්දුට මල් මිටික්’ ගත්ත ද එසේමය.   


​බොහෝ චිත්‍රපට නුවරඑළිය වැනි ප්‍රදේශවල රූපගත කිරීම්වලදී එහි දේශගුණික තත්ත්වය හැම විටම හරහට හිටියේය. ‘ඉන්දුට මල් මිටක්’ රූපගත කිරීමේදී මේ ප්‍රශ්නය දැඩිව බලපෑවේය.   
එළිමහන් රූගත කිරීම් සඳහා ඉර එළිය අවශ්‍ය බව අප දන්නා සාමාන්‍ය කාරණයකි. ඉර එළිය වැටුණද එය හැම විටම තිබිය යුත්තේ සමාන මට්ටමකිනි. නැතහොත් රූපගත කිරීම්වලදී ආලෝකයේ සම්බන්ධතාව තබාගත නොහැකිය.   
‘ඉන්දුට මල් මිටක්’ රූපගත කිරීමේදී සුමිත්ත යොදා ගත්තේ ඉර එළිය වළාකුළින් වැසුණු පසු රූපගත කිරීමට සූදානම් වීමටය. ඒ සඳහා ඔහු යොදා ගන්නේ රාත්‍රියට දර්ශන රූගත කිරීම් සඳහා යොදා ගන්නා දළසේයා පටය. එම නිසා කඳුකර ප්‍රදේශයේ එළිමහන් දර්ශන ඉතාමත් මනස්කාන්ත අයුරින් තිරය මත පතිත වෙයි.   
විජය ධර්මශ්‍රීගේ ‘දුහුළු මලක්’ ඇතැම් ජවනිකා ගත්ත ද එසේමය.   
හන්තානේ කතාවෙන් සිනමාවට සම්බන්ධ වූ පිරිස අතර විජය ධර්මශ්‍රීට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. හන්තානේ කතාවෙන් මතු වූ අධ්‍යක්‍ෂවරුන් අතර ආචාර්ය ධර්මසේන පතිරාජ මෙන්ම විජය ධර්ම ශ්‍රී ද කැපී පෙනුණි.   


ඒ නිසා විජය ධර්ම ශ්‍රීට චිත්‍රපට නිර්මාණයේදී සුමිත්ත නැතිවම බැරි විය.   
සුමිත්ත, නිවුණු ගතිගුණවලින් හෙබි තම කාර්යය කෙරේ අසීමිත භක්තියක් ඇති කලාකරුවෙකි. ඔහුගේ කිසිදු කලබලයක් නැත.   


කතා කරන්නේ සෙමිනි. එහෙත් එහි බරක් වෙයි. විහිළුවක් කළ ද එහි කිසියම් අරුතක් ඇත.   
විජය ධර්ම ශ්‍රීගේම ‘දඬුමොනරය’ නම් කළු සුදු චිත්‍රපටය රූගත කෙරුණේ කොස්ගම එකල තිබූ තුනී ලෑලි සංස්ථාව කිට්ටුව පිහිටි පොල් අතු සෙවිලි කළ ගෙයක් තුළය.   
රබර් වතුවලින් පිරී ගිය එම ප්‍රදේශයේ බොහෝ දෙනා එදිනෙද‌ා ජීවිතය ගැට ගසා ගත්තේ රබර් කිරි කැපීමෙනි. මාලනී ෆොන්සේකා එහි රඟපෑවේ අනුලාවතී නමැති රබර් කිරි කපන ගැහැනියකගේ චරිතයකි. ඇගේ සැමියා, ජිනපාල ලෙස ජෝ අබේවික්‍රම රඟපෑවේය. ජෝගේ නැන්දම්මා වූයේ චන්ද්‍රා කළුආරච්චිය.   
චන්ද්‍රා ජෝට වඩා වසර ගණනකින් බාල නමුදු ඇය ජෝගේ නැන්දම්මා වූවාය. චිත්‍රපටවල හැටි එහෙමය.   
සුමිත්ත අමරසිංහ දර්ශන තලයට එන්නේ හොඳින් හැඳ පැළඳගෙනය. අත් දිගට දැමූ කමිසය, සපත්තු සහ බොහෝ විටෙක හිස් වැස්මක් ද පළඳියි.   


මේ විදිහට හොඳින් හැඳ පැළඳ දර්ශන තලයට එන්නේ ​ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය.   
‘දඬුමොනරය’ රූගත කරන දිනවල කොස්ගම ප්‍රදේශයේ නිතර වැසි ඇද වැටුණේය. සුමිත්ත බොහෝ දර්ශන සඳහා විදුලි අලෝකය යොදා ගත්තේය. ඇතැම් එළිමහන් දර්ශන සඳහා විදුලි පහන් යොදා ගැනිණ.   
විදුලි පහන් රඳවනය පිටින්ම රැගෙන ගොස් ඔහු තමන්ට අවශ්‍ය තැන තබා ගනියි. එය එහෙ මෙහෙ කර එළිය ගලා යන්නේ කොතැනට දැයි විපරම් කරයි. ඒ සියල්ල සිදුවන්නේ ඉතා සෙමෙනි.   
මහගමසේකර නම් ප්‍රබුද්ධ කවියා සිය සිනමාවට අත්පොත් තබන්නේ ‘තුන්මන් හන්දිය’ චිත්‍රපටයෙනි. එය ඔහුගේ ප්‍රථම මෙන්ම අවසාන චිත්‍රපට අධ්‍යක්‍ෂණය ද විය.   
ඒ කාලය වන විට සිනමාවේ කාර්මික පැත්ත පිළිබඳව විශාල දැනුමක් ඔහුට නොතිබුණ ද නිර්මාණශීලිත්වය ඒ සියල්ලට වඩා ඉහළන් වී තිබුණේය.   
‘දඬුමොනරය’ රූගත කරද්දී ‘තුන්මන් හන්දිය’ චිත්‍රපටයට සම්බන්ධ වූ ප්‍රධාන චරිත දෙකක්ම දර්ශන තලයේ සිටියහ.   


එක් අයකු ලොකු මාමා ලෙස සාර්ථක චරිත නිර්මාණයක යෙදුණු ජෝ අබේවික්‍රමය. අනෙක් පුද්ගලයා ‘තුන්මන් හන්දිය’ කැමරා අධ්‍යක්‍ෂ සුමිත්ත අමරසිංහය.   
සේකර තම චිත්‍රපටය මෙහෙයවද්දී බොහෝ දර්ශන චිත්‍රයෙන් ඇඳ තිබූ බවට තොරතුරු ඇත. සේකර කවියකු මෙන්ම චිත්‍ර ශිල්පියකු නිසා එය මැනවින් කළ හැකි විය.   


මහා සිනමාකරු සත්‍යජිත් රායි ද රූගත කිරීමට පෙර චිත්‍රපටවල රූපරාමු චිත්‍රයට නැගුවේය.
වරක් විජය ධර්ම ශ්‍රී සුමිත්තගෙන් ඇසුවේ සේකරයන් ‘තුන්මන් හන්දිය’ නිර්මාණය කරද්දී සමීප රූප, දුර රූප ආදිය ගැන පැහැදිලි කළේ කෙසේ ද යන්නයි.   
“සුමිත්ත මහත්තයා, මට මෙතැනට ඕනෑ ලොකු රූපයක්” ආදී වශයෙන් ඔහු කාටත් තේරෙන ව්‍යවහාර බසින් අවශ්‍යතාව කී බව සුමිත්ත පැවැසීය.   


කළු සුදු යුගය නිම වී වර්ණ යුගයට අපේ සිනමාව පා තබත්ම සුමිත්ත එහි ද කැපී පෙනුණේය. ‘සූරියකාන්ත’, ‘ආරාධනා’ වැනි චිත්‍රපට ගත් විට ඒ රූප රාමුවල ආකර්ෂණීය බව නොකියාම බැරිය.   
‘ආරාධනා’ චිත්‍රපටයේ රවීන්ද්‍ර රන්දෙණියගේ හා මාලනී ෆොන්සේකාගේ එක් ගීතයක් රූගත කළේ පේරාදෙණිය මල් වත්තේය. ඒ සඳහා නිෂ්පාදක විජය රාමනායකගේ කුඩා පුතු තරංග ද සහභාගි විය. මා මේ කියන්නේ වසර 40කට පමණ පෙර සිදුවීමකි.   


ගීතය ගායනා කළේ විජය කුමාරතුංග හා දමයන්ති ජයසූරියයයි.   
සුමිත්ත පේරාදෙණිය මල් වත්තට ජෙනරේටරයක් රැගෙනවිත් විදුලිය ලබාගත්තේය. ඔහු විදුලි පහන් රැගෙන ගොස් මල් ගස් අතර සැඟවූයේය. ලා හිරු එළියත් විදුලි එළියත් මුසු කර ඔහු අපූරු රූප රාමු නිර්මාණය කළේය. එය සිදුවන්නේ ඉතා සෙමිනි. මල් පඳුරු විවිධ වර්ණයෙන් දිදුලන්නේ ඒ නිසාය.   
මේ ගීතය රූපගත කරනු දැක බලා ගන්නට එදා විජය කුමාරතුංග ද මල් වත්තට පැමිණියේය.   
සුමිත්ත, මුලින්ම කැමරාව මෙහෙය වූයේ වර්ණ චිත්‍රපටයක් වූ ‘වෙසතුරු සිරිත’ චිත්‍රපටයටය. ඒ, 1963 දී පමණය.   


සුමිත්ත සිනමාවට සම්බන්ධ වූයේ 1953 දීය. ඔහු බොම්බායේ චිත්‍රාගාරයක සේවය කරමින් කැමරා ශිල්පය හැදෑරුවේය. ඔහු එකල බොහෝ හින්දි චිත්‍රපටවලට සහාය වූවා පමණක් නොව ඒවාගේ ඇතැම් දර්ශන රූපගත කළේය. 

 
‘සල්ලි එපා’ නමින් සිංහල දෙබස් කැවූ ‘මිලප්’ චිත්‍රපටයේ ද ඔහු වැඩ කළේය. (එය සිංහල දෙබස් කැවූ මුල්ම හින්දි චිත්‍රපටය ලෙස සැලකෙයි.) ඔහු කීවේ එකල ද හින්දි චිත්‍රපටවල ආලෝකකරණය ඉතා ඉහළ බවයි. ඔහු ඊට උදාහරණ ලෙස දැක්වූයේ රාජ් කපූර්ගේ ‘අවාරා’ චිත්‍රපටයයි.   
“ඒත් එ් කාලේ දකුණු ඉන්දීය චිත්‍රපටවල ආලෝකකරණ කටයුතු කළේ මඟුල් ගෙවල්වල ෆොටෝ ගන්න විදිහටයි. රාත්‍රිය හා දවාලවත් ඔවුන්ට ආලෝකකරණයෙන් පෙන්න ගන්න බැරි වුණා. ඒ සඳහා ඔවුන් කළේ රාත්‍රී දර්ශනයක් නම් පැත්තෙන් ලන්තෑරුමක් හරි ලයිට් එකක් හරි දමා තිබීමයි. අපේ චිත්‍රපට හැදුණෙත් දකුණු ඉන්දියාවේ නිසා අලෝකකරණය තිබුණේ දුර්වල මට්ටමකයි.
ලෙස්ටර්ගෙ ‘රේඛාව’ චිත්‍රපටයේ විලී බ්ලේක්ගේ කැමරාකරණයේදී පවා මේ දුර්වලකම් පේනවා. ඒක නොපෙනුණේ රාත්‍රී දර්ශන රාත්‍රියේම කැමරාගත කළ නිසයි. ඒ නිසා එම දර්ශනවල පසුබිමේ අඳුර දැකගන්න ලැබුණා.   


අපේ චිත්‍රපට අතර ඩී.ඇම්. සුමනසේකර කැමරාව මෙහෙයවූ ‘දස්කොන්’ චිත්‍රපටයේ ආලෝකකරණය හොඳින් තිබුණා. එය හොඳම ආලෝකකරණයක් මා දුටු මුල්ම අපේ චිත්‍රපටයයි.” සුමිත්ත එදා සම්මුඛ සාකච්ඡාවකදී පැවැසුවේ එසේය.   
“‘පරසතු මල්’ චිත්‍රපටයේ බොනී මහත්තයා සුරාවෙන් මත්ව පියගැට පෙළ මතට ඇවිත් අවට බලන දර්ශනයේදී ගාමිණීට ඕනෑ කරලා තිබුණා ඔහුගේ සිතේ ඇති මානසික ස්වභාවයේ ව්‍යාකූලභාවය රූප රාමුවලින් පෙන්නන්න.”   


මේ සඳහා අාලෝකයෙන් හා කැමරා කෝණ මගින් ඉදිරිපත් කරන්න අපි අත්හදා බැලීමක් කළා. එය ඇත්තටම සාර්ථක වුණා.” සුමිත්ත එදා පැවැසීය. එහි ප්‍රතිඵලය අප අද ද කතා කරන ඒ රූප රාමුව ‘පරසතු මල්’ වලින් දැක ගැනීමට ලැබීමය.   


ඔහු දැඩි පරිශ්‍රමයකින් හා කැප කිරීමෙන් කැමරාව මෙහෙයවීමේ කටයුතුවල නිරත වුව ද චිත්‍රපට ශාලාවලදී චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේදී එහි ප්‍රතිඵලය නොලැබී යන බව වරෙක ඔහු ප්‍රකාශ කළේ කිසියම් කල කිරීමකිනි. “මහන්සි වුණාට වැඩක් නෑ. චිත්‍රපටය බලනකොට අපේ උත්සාහයේ ප්‍රතිඵල නෑ. තිරගත කිරීම් ඉතා දුර්වලයි. මම නම් කියන්නේ ප්‍රවේශපත්‍ර ගාස්තු ටිකක් වැඩි කරලා හරි කමක් නෑ හොඳ තිරගත කිරීමක් කෙරෙන්න ඕනෑ” ඔහුගේ ඒ අදහස්වලට එකල පාඨකයන්ගෙන් නම් හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ඔවුන් ලියා එවා තිබුණේ, ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩි කිරීමට විරුද්ධවය.

 


සුමිත්ත තම චිත්‍රපට සඳහා ලද සම්මාන 9ක් පමණ වන බව පැවසුවේ ඔහුගේ දියණිය ඩිලානිය. ඔහු අවසන්වරට සම්මානයක් ලැබුවේ ‘‘අහස් මාලිතා’’ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණයටය. සුමිත්ත ගේ මුල්ම මෙන්ම අවසන් චිත්‍රපටය වූයේ වර්ණ චිත්‍ර්‍රපටයකි. වෙසමිතුරු සිරිත මුල්ම චිත්‍රපටයය. අවසන් චිත්‍රපටය මාලනි ෆොන්සේකාගේ සසර වේතනාය කොළඹ ආනන්දයේ අධ්‍යාපනය  හැදෑරු සුමිත්ත 1994 දී රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරයට පත්විය. එහෙත් එය කෙටි කලකට පමණක් සීමා වූයේ හදිසියේම රෝගාතුර වීම නිසාය.  සුමිත්ත චිත්‍රපට සංස්ථාවේ කටයුතු සඳහා බෙහෙමින් ඇප කැප වූ කලාකරුවෙකි. ඔහුගේ බිරිඳ වූයේ සුමිත්‍රා මහත්මියය.   


1932 අගෝස්තු 5 වැනිදා උපන් සුමිත්ත අමරසිංහ නම් විශිෂ්ට කැමරා අධ්‍යක්‍ෂවරයා 1995 දෙසැම්බර් 31 මෙලොවින් සමුගෙන වසර ගණනාවක් ගත වුව ද ඔහුගේ දස්කම් පැරැණි සිනමාපට දකින විට අපට නිරතුරු සිහිපත් වෙයි. 

 

 

රොඩ්නි විදානපතිරණ
ඡායාරූප අනුග්‍රහය - දයාන් විතාරණ