රසවිත ගවේෂණ

ඇත්ත ගජමුතු ප්‍රමාණයෙන් කුඩායි 

 

ඇත් දළ හා ගජමුතු ජාවාරම සම්බන්ධයෙන් දුරාතීතයේ සිටම අසන්නට ලැබේ. මෑත ඉතිහාසය තුළ විශේෂයෙන්ම දශක එකහමාරක් දෙකක් වැනි කාලයක් තුළ මේ ජාවාරම ඉතාමත්ම දරුණු ලෙස ඉදිරියට ගොස් තිබේ. මේ වසර තුළදී පමණක් අවස්ථා හයකදී පමණ ගජමුතු ජාවාරමේ යෙදුන කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. එසේම කූඨ ලෙස උපක්‍රම යොදමින් අත්අඩංගුවට පත්නොවී ජාවාරම කරගෙන යන්නන් තවත් සැලකිය යුතු පිරිසක් නිදැල්ලේ සිටිනු ඇත.   


මේ වසර ආරම්භයේදීම එනම් ජනවාරි තුන්වැනිදා මාතරදී කෝටි එකහමාරකට අලෙවි කරන්නට සූදානම් වූ ගජමුතු හයක් සමග එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසිනි.   
අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධකම් ගොඩනගා ගනිමින් ලක්ෂ අටක මුදලකට ගජමුතු දෙකක් විකිණීමට ගිය පුද්ගලයෙක් මුලතිව්වලදී අත්අඩංගුවට ගනු ලැබුවේද පොලිස් විශේෂ කාර්ය බළකාය විසිනි.   


ගජමුතු හතරක් සමග සැකකරුවන් දෙදෙනෙක් අක්මීමන හියාරේහිදී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ජුනි විසිවැනිදාය. ගජමුතු තුනක් සමග සැකකරුවන් අට දෙනෙක් ගම්පොළදී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය අගෝස්තු විසිදෙවැනිදාය.   


වව්නියාවේ අවන්හලක රථගාලේදී කෝටි තුනක් වටිනා ගජමුතු හතරක් සමග සැකකරුවන් තුන් දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 08 වැනිදාය.   


මෙම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය උපාය දූතයෙකු යෙදවීය. උපාය දූතයා කෝටි අටක මුදල්ද රැගෙන ජාවාරම්කරු සමග දුරකථනයෙන් කතාකර එකඟ වූ පරිදි වව්නියාවේ පිහිටි ප්‍රසිද්ධ අවන්හලක රථගාලට පැමිණියේය. එහිදී ජාවාරම්කරු තවත් කීපදෙනෙක්ද සමග පැමිණ ගනුදෙනුව ආරම්භ කළේය. ගජමුතු සමග කෝටි තුන හුවමාරු කරනවාත් සමගම එතැනට කඩාපැන්න පොලිස් විශේෂ කාර්ය බළකාය සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත්තේය.  


මෙම සැකකරුවන් අකුරණ, මහව හා නිකවැරටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව කරන ලද විමර්ශනවලදී මේ වන විට තහවුරු වී තිබේ. ඔවුන්ගෙන් දෙදෙනෙක් අවුරුදු විසිනවය, තිහ වැනි වයස්වල පසුවූවන් වූ අතර අනෙක් සැකකරු අවුරුදු පනස්තුනක් වයසැති අයෙකි.   

 


ගජමුතු යනු මොනවාද? 

 
පශු වෛද්‍යවරුන් පවසන පරිදි ඇතෙකුගේ දළයේ මැද කේතු ආකාරය කොටසක ජෙලි වැනි ද්‍රාවනයක් පවතින අතර ඒවා ඇතා වයසට යද්දී ක්‍රමයෙන් වියළී ක්ෂීන වී යනු ලැබේ. මෙවැන්නක් සිදුවන්නේ ඇතාට අවුරුදු පනහක් පමණ වූ පසුවය.   


එසේ වියළී හිස්වූ කුහරය තුළට දළය විවිධ හැලහැප්පීම්වලට මුහුණ දීමේදී ඇතුළතින් කැඩී යන කුඩා දන්තිමය කැබලි එකතු වේ. එවා විශාල කැබලි නොවේ. ඉතාමත් කුඩා පතුරුය. එම පතුරු ඇතා දඟලනවිට, විවිධ ක්‍රියාකාරකම් කරන විට හෙළවෙන දළයේ ඔබ මොබ යනු ඇත. ඒවා එහා මෙහා යාමෙන් දළයේ ඇතුල් පැත්තේ වැදී පිරිමැදීමකට ලක්වේ. එසේ පිරිමැදෙන දන්තිමය කොටස් බත්ඇටයක්, හූණූ බිත්තරයක් වැනි ඉතා කුඩා ප්‍රමාණයේ රවුම් හැඩැති හෝ බිත්තර හැඩැතිව සකස් වේ. එසේ ඇතෙකුගේ දළයේ පතුරු ගැලවී පිරිමැදීමට ලක්ව බිත්තරයක් වැනි හැඩැති දීප්තිමත්ව ඔපවැටුණු ගජමුතු නිර්මාණය වන්නට නම් ඇතාට ඇවුරුදු හැට හැත්තෑවක්වත් විය යුතුය.   


අපේ රටේ ගජමුතු හමුවන ප්‍රමාණය අනුව සලකා බලන විට මෙතරම් ගජමුතු ලබාගත හැකි ඇතුන් වසරකට පහළොවක් විස්සක්වත් මරණයට පත්විය යුතුය. එසේම එසේ මිය යා යුත්තේ අවුරුදු හැට පැනපු ඇතුන්ය. එහෙත් අපේ රටේ එවැනි ඇතුන් ප්‍රමාණයක් දළ ලබාගැනීම හෝ ගජමුතු ලබාගැනීම වෙනුවෙන්ම ඝාතනයට ලක් වන බවට තොරතුරු වාර්තා වන්නේ නැත.   


එසේ නම් කෝටි ගණන්වලට විකිණෙන මේ ගජමුතු මොනවාද?   


 සත්ව විශේෂඥයින්, පරිසරවේදීන් පෙන්වා දෙන පරිදි ගජමුතු ජාවාරම තුළද ජාවාරමක් තිබේ. ඒ ගජමුතු යැයි පෙන්වා ව්‍යාජ ගජමුතු අලෙවි කිරීමය. මෙලෙස ව්‍යාජ ගජමුතු සකස් කරනු ලබන්නේ හරකුන්ගේ ඇට කටු හෝ කහ රෝස පැහැයට හුරු තද පාෂාණ වර්ග ඔපදැමීමෙනි. මෙලෙස අලෙවි කරනු ලබන ගජමුතු සාමාන්‍ය ගජමුතුවලට වඩා ප්‍රමාණයෙන්ද විශාලය. එහෙත් සත්වවේදීන් පෙන්වාදෙන්නේ ඇත්ත ගජමුතු ඉතාමත් කුඩා රවුම් හැඩැති ඒවා බවය.   


ගජමුතු ජාවාරමක් පවතින්නේත් ඒ වෙනුවෙන් ව්‍යාජ ගජමුතු අලෙවි කරන්නට ජාවාරම්කරුවන් පෙළඹෙන්නේත් ඇයි?   


 නක්ෂත්‍රකරුවන්, ජ්‍යෝතිෂවේදීන් සඳහන් කරන පරිදි අපේ ළඟ තබාගැනීමෙන් වාසනාව උදාකරන වස්තුන් හතරක් තිබේ. ඒ ධාතූන් වහන්සේ, රතු මැණික්, දක්ෂිණාවෘත වාලම්පුරි හා ගජමුතුය. රතු මැණික් හැරුණු කොට අනෙක් කිසිවක් ළග තබාගැනීම නීත්‍යානුකූලව ගත් කල වරදකි. ඒ නිසා මේ වස්තූන් හොර රහසේ අලෙවි කරන්නටත්, ඒවා හොර රහසේ ගෙවල්වල තැන්පත්කර තබාගැනීමටත් ධනවත්තු උත්සාහ කරති. ඒවා නිකම්ම අල්මාරියක තබානොගත යුතු අතර වාසනාව ඇතිකරන්න නම් වතාවත්කර පිරිමැද නැවත තැන්පත් කළ යුතු යැයිද මතයක් තිබේ. ඇත් දළද මෙලෙස ළඟ තබාගන්නා වස්තුවක් වන අතර එය වාසනාව උදාකරන වස්තුවකට වඩා පරම්පරාවේ තේජස, බලපුලුවන්කාරකම, ධනවත්කම පෙන්වීමට ළඟ තබාගන්නා වස්තුවකි.   


 එලෙස ගජමුතු ළඟ තබාගැනීම වාසනාව උදාකරන බවට පවතින මතය හේතුවෙන් ඒවාට ලොබ බඳින ධනවතුන් හා ව්‍යාපාරිකයන් ඉලක්ක කරගනිමින් ජාවාරම්කරුවෝ මෙලෙස ව්‍යාජ ගජමුතු නිර්මාණය කරති.   
 ඇතාගේ වලිගයේ පවතින කෙස් නැතහොත් කෙඳි භාවිතාකර සකස් කරනු ලබන මුදු භාවිතා කිරීමෙන් අපල දුරුවන බවටද ඇතැම් මතයක් පවතින අතර මීට දශක තුනකට පමණ පෙර එවැනි මුදු රටපුරා අලෙවිවන්නට පටන් ගත්තේ උණුකැවුම් මෙනි. පසුව ජාවාරම්කරුවෝ ඇත් කෙඳි වෙනුවට ප්ලාස්ටික් කෙඳි භාවිතාකර මුදුහැදීමට පවා පෙළඹුනහ. ඇතැමුන් මෙවැනි මත ප්‍රචාරය කර ඒවා තමන්ට ධනය ඉපයීමට මාර්ග බවට පත්කර ගනිති.   


ඇත්තටම ගජමුතු වටිනා දෙයක්ද? ගජමුතු වාසනාව කැන්දනවාද?   


 මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ වනජීවි සංරක්ෂණ සංසදයේ ලේකම් පරිසරවේදී නයනක රංවැල්ල මහතා   


 ගජමුතු හැදෙන්නේ ලක්ෂයක විතර එක ඇතෙකුගේ. හැම ඇතාගෙම ගජමුතු නැහැ. ඒ නිසා අපේ රටේ ගජමුතු අත්අඩංගුවට පත්වෙන විදිහට බැලුවොත් ඇතුන් දාස් ගණනක් මරන්න ඕන. අනෙක් කාරණාව තමයි ගජමුතු හෝ ඇත් දළ ළඟ තබාගත්තාම වාසනාව ඇති කරනවා කියන කතාවත් බොරුවක්. මොකද ඒවා ගන්න මිනිස්සු ඇතුන් ඝාතනය කරනවා. ඒ කියන්නේ මේවා ලේවැකි ද්‍රව්‍ය බවට පත්වෙනවා. ජීවිතය යදින සතෙක් ඝාතනය කරලා, ඒ සතාගේ දුක කඳුළ කැටි වෙලා තියෙන මේ සම්පත් ළඟ තබාගත්තාම ඒක වාසනාවක් නෙවෙයි සාපයක් බවට පත්වෙනවා.   


 සමහර රටවල් විශේෂයෙන්ම අප්‍රිකානු රටවල ඇතුන් ආරක්ෂා කිරීම සඳහා ඇත්දළ හා ගජමුතු වැනි දේවල්වලට වටිනාකමක් ලබානොදෙන්න තීරණය කර තිබෙනවා. ඔවුන් ඒවා අත්අඩංගුවට ගත්විට ප්‍රසිද්ධියේ පුළුස්සා දමනවා. අපේ රටේත් ඇතෙක් ස්වභාවිකව මිය ගිය අවස්ථාවකදී ඒ සතාගේ දළ දෙක වනජීවි දෙපාර්තමේන්තුව භාරයට පත්කිරීම හෝ කිසියම් පූජනීය ස්ථානයකට පරිත්‍යාග කිරීම තුළින් නැවත වටිනාකමක් ලබාදෙන නිසා එය නවත්වා ඇතා සමගම දළ යුගලත් පුච්චා දැමීමට කටයුතු කිරීමෙන් මේ සමාජයේ පවතින අනවශ්‍ය වටිනාකම නැතිකරන්න පුලුවන්. ඇත්තටම එහෙම අමුතු දෙයක් මේ දළවල හෝ ගජමුතුවල නැහැ.   


 ඇත්තටම ගජමුතු කියන්නේ නම් තනිකරම බොරුවක්. ඒවා අද හදන්නේ සත්ව ඇටකටු හෝ විවිධ ගල්වලින්. ඒවා ළඟ තියා ගත්තාම වාසනාව උදා වෙනවා නම් ගලක් පොලිෂ් කරලා තියාගත්තාම හරි. ඇත්තටම හැම ඇතාගෙම ගජමුතු තියෙනවා නම් ඇතුන් බහුලව සිටින අනෙකුත් රටවලත් මේ ගජමුතු අලෙවිය සිදුවෙන්න ඕනෑ. නමුත් අපිට වෙනත් රටවලින් මේ ගැන අහන්න ලැබෙන්නේ නැහැ. ඉන්දියාව අප්‍රිකාව වගේ රටවල බහුලව ගජමුතු හමුවෙන්න ඕන. ඒත් එහෙම ගජමුතු හමුවීමක් අපිට අහන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ගජමුතු ජාවාරම කියන්නේම සර්වප්‍රකාරයෙන්ම ජාවාරමක් මිස ඇත්තක් නෙවෙයි.   

 

 

මුදිතා දයානන්ද