චමරි මව චන්ද්‍රා අතපත්තු සමඟින්
‘‘දවසක් පැල නැති හේනේ
අකාල මහ වැසි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ...
නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණ දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇළේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුණා මට අම්මේ...
කොළඹ අහස කළු කරගෙන
මුහුදු හුළඟ හඬලනකොට
ඔටුන්න බිමදා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ළඟ
ඉන්නවා ද අම්මේ...’’
අද මේ ගීතය ගැයූ විශාරද ගුණදාස කපුගේ මෙන්ම ගීය රචනා කළ නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න ජීවතුන් අතර නැහැ. ඒත් මෙම ගීතය නම් බොහෝ දෙනා හට යුගයෙන් යුගයට සර්වකාලීන – සදාකාලීන වී තිබෙන්නේ මව් පදවිය ගැන මහාර්ඝව ප්‍රකාශ වන නිසයි.
මවක වෙනුවෙන්, නොඑසේ නම් අම්මා වෙනුවෙන් ලියැවුණ ගීත අතරින් මුළු ලෝකයම වගේ දන්න අපේ ක්‍රිකට් ක්‍රීඩිකාව ‘‘චමරි අතපත්තු’’ වැඩියෙන්ම කැමති ගීතය වන්නේ මේ ගීතයයි. ලෝකයේ අංක එකේ ක්‍රිකට් ක්‍රීඩිකාව වන, චමරි ගෙ ජීවිතේ අංක එක වන්නේ ඇයගේ ‘‘අම්මා’’ ය. චමරි අම්මා කෙරෙහි එතරම්ම සමීපය. රටක් - ලෝකයක් ජයගත් ඇයගේ ලෝකය ඒ අම්මා ය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නිරන්තරව ජය ලබාදීමේ අරමුණ ඇතිව ‘‘යකඩ දියණියක’’ ලෙස ශක්තිමත්ව නැගී සිටින ‘‘චමරි’’ට ඒ යෝධ බල – යෝධ ශක්තිය දුන්නේ ඇයගේ ඒ අම්මා ය. ‘‘චමරි’’ අද අපට පවසන්නේ ඒ අම්මායි - දුවයි අතර ඇති ආත්මීය බැඳීම ගැන වූ කතාවය.
‘‘මගේ කුඩා කාලයේ ඉඳලම අම්මාව මට දැනිච්ච වාර අනන්තයි. ඒත් අම්මා තදින්ම දැනුණෙ අපෙ අප්පච්චි නැතිවූ දවසෙදියි. එදා තමයි මම අම්මා මොන තරම් ශක්තිමත්ව එය දරා ගත්තද කියලා දැන ගත්තෙ. අප්පච්චි සිටියදී අම්මා එහෙම නැහැ. අප්පච්චි නිසා අම්මා ආඩම්බරයෙන් සිටියෙ. ඉතින් අප්පච්චි නැති වුණාම අප්පච්චි සතු වූ ශක්තිමත් බව අම්මා අරගන්න ඇති. මම ක්‍රිකට් ගහන්න ආවේ අප්පච්චි නිසයි. එයා නැති වුණාම මම ක්‍රිකට් නවත්තන්න හැදුවා. ඒත් අම්මා කිව්වෙ ඔයා අප්පච්චිගෙ කැමැත්ත දිගටම කරගෙන යන්න කියලයි. අපේ මාමා තමයි මගේ පුහුණුකරු. ඉතින් අප්පච්චිගෙ සහ මාමාගෙ අරමුණු ඉටු කරන්න කිව්වා. ඒ දෙදෙනාටම දෙන ලොකුම තෑග්ග ඔයා ක්‍රිකට් ගහන එක කියලා අම්මා මාව ධෛර්යවත් කළා. ඒ විතරක් නෙවෙයි, ඇයට කළ හැකි සෑම යුතුකමක්ම කළා. ගෙදර දේවල් සියල්ල ඇය බලා ගනිද්දි මට මගේ ගමන යන්න මාර්ගය හදලා දීලා මට මහා ශක්තියක් දුන්නෙ.
විශ්වාස කරන්න, කුඩා කාලයේදී වගේම මට අවුරුදු 15 වෙනකල් මට කැව්වේ - පෙව්වේ අම්මා. අවුරුදු 15 ක් වගේ වෙනකල් මම මගේ අතින් ‘‘අනලා’’ බත් කාලා තිබුණෙ නැහැ. අම්මගෙ අතින් කන්නෙ.
අදටත් ගමේ ගියාම අම්මා කවන්නෙ.
මගේ ජීවිතය වුණේ අම්මායි - අප්පච්චියි. දැන් මගේ මුළු ජීවිතයම අම්මා. මේ ලෝකෙ වටිනාම දේ මට අම්මා.
‘‘අප්පච්චි’’ මිය ගියාට පස්සෙ මට අම්මා වෙනුවෙන්, ඇයගෙ සතුට වෙනුවෙන් මට කළ හැකි සියලු යුතුකම් කළාය කියලා හිතනවා. ඒවා මුදල්වලින් විතරක් නෙවෙයි, සමාජයේ දරුවකු සිටිය යුතු විදිය, වගේම ගුණ යහපත්ව කටයුතු කළ විදියේ සිට සෑම අතකින්ම ඇයට ගෞරවයක් ඇතිවන විදියට කටයුතු කරමින් සිටිනවා. සමහර වෙලාවට ඇය කියන දේ අහන්නෙ නැතුව මම ගත්ත තීන්දු - තීරණවලදී ඇය දුක් වෙලත් ඇති. වැඩිපුර යාළු ආශ්‍රයට නොයා, වැඩිපුර කාලය ගෙදර ඉන්න කියලා එදා කියද්දී මම ඒ ගැන එතරම් තැකීමක් කළේ නැහැ. ඒත් වයස 25 න් වගේ පසුව මම අම්මා කී විදියට කටයුතු කරන්න පටන් ගත්තා. සාර්ථක වෙන්න රහස වුණෙත් අම්මාගෙ ඒ උපදෙස්. දැන් නම් ඉතින් ලංකාවේ ඉන්නවා නම් අම්මා එක්ක මහගෙදර ඉන්නෙ. ලෝකෙ කොහේ හිටියත් ඒ සැනසීම තරම් දෙයක් තවත් නැහැ.
අම්මගෙ අඹ මාළුව සහ චිකන් කරිය. ඒ වගේම උදේට හදන කිරි හොදි සහ මම ආසම ඉඳිආප්ප කන්න. ඒ වෙනුවෙන් හදන සම්බල සහ හොද්දට හරිම ආසයි.
ඇය සතු ඉවසීම. ඒ ඉවසීමේ ගුණාංගය. ඒ ඉවසීම මහා පුදුමාකාරයි. මට ඒ ගුණාංගය පුරුදු වෙන්න තියෙනවා. ඒ වගේම ඇය සතු ආත්ම විශ්වාසයත් ඉහළයි. මට ඒ ගුණයත් ප්‍රගුණ කරන්න තියෙන දෙයක්.
සෑම මොහොතකදීම අම්මා මා ගැන සතුටු වෙනවා කියලා මම හිතනවා. මුළු ලෝකයක් මාව අගයද්දී, ඒ ඇගැයීම පිටුපස සිටි යෝධ ශක්තීන් වුණේ අප්පච්චි සහ අම්මා. ඒත් අප්පච්චි අද නැහැ. අම්මා මා කරන සෑම දෙයකින්ම සතුටු වෙනවා. මා ගැන පළවන වාර්තා පවා සියල්ලම ඇය එකතු කරගෙන තියෙන්නෙ. මම කළ යුතු දේ ඇය කරන්නෙ. මට සිටින හොඳම රසිකාවිය ඇයයි.
ඉදිරියේදී අපි කොහේද ඇවිදින්න යන්නෙ, මොනවද නරඹන්නෙ, වගේ දේ ගැන තමයි කතා කරන්නෙ. ගෙදරදි ක්‍රිකට් ගැන කතා වෙන්නෙම නැහැ. මම ක්‍රිකට් ගහනවද කියලා මතකවත් නැති තරම්. අපි අැත්තටම ඇවිදින්න යන්නෙ ‘‘ජය ශ්‍රී මහා බෝ සමිඳු’’ වඳින්න සහ දළදාමාළිගාවට. ගොකරැල්ලෙ ඉන්න නිසා නුවර යන්න ගත වෙන්නෙ පැයයි. උඩමළුවට යන්න පැය එකහමාරක් වගේ ගත වෙන්නෙ. කොහොමටත් මාළිගාවට වැඩිපුර යන්නෙ මගෙ පුංචි අම්මා ඉන්නෙ නුවර නිසා.
පුංචි කාලයේ ඉඳලම මට කිව්වෙ සරලව ඉන්න කියලයි. ජීවිතයට මොනදේ ලැබුණත්, හැකිතාක් සරල වෙන්න සහ ගමට ආවාම ගමේ විදියට ජීවත් වෙන්න කියන දේ අම්මා වගේම අප්පච්චිත් මට නිතර කියූ දෙයක්.
අසනීප තත්ත්වය මත එයාට යන්න ටිකක් අපහසුයි. ඒත් ඉන්දියාවට එහෙම එක්ක යනවා. කොහොමටත් ඉදිරි කාලයේදී මගේ අදහස අම්මා එක්ක ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමටයි. මගේ ඥාතීන් කීප දෙනෙක්ම එහි සිටිනවා. එයාලා එහේ නතර වෙන්නම කියද්දී මම තමයි තව ටිකක් ලංකාව අල්ලගෙන ඉන්නෙ. ලංකාවට ලෝක කුසලානයත් ගෙනැල්ලා දීලා, ඒ යුතුකම කළ පසු මම එහි යාවි. මගේ එකම සහ අවසාන අරමුණ ලංකාවට ලෝක කුසලානයක් ලබාදීමටයි.
මුල් කාලයේදී නම් අම්මා නිතරම කිව්වෙ ඉක්මනට විවාහ වෙන්න කියලයි. ඒත් පසුව ඇය මගේ වෘත්තියමය ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති වගකීම ගැන වටහා ගත්තා. ඒ වෙනුවෙන් මම කරන කැපවීම මහන්සිය ගැන තේරුම් ගත්තට පස්සෙ ඒ ගැන වැඩිය කතා කළේ නැහැ. කරන දේ හරියට කරලා ජීවිතයේ ඊළඟ අදියරට යන්න කියලා තමයි අම්මා උපදෙස් දෙන්නෙ.
කිසිම විටෙක අම්මා හෝ තාත්තාගෙ දුරකථන ඇමතුමවත් මගහරින්න එපා. යාළුවකු හා බැඳීමක් දෙදෙනා අතර තිබිය යුතුයි. අපට තේරුම් යන කාලයේදී එයාලා කී උපදෙස් පිළිපදිනවා නම්, ඒ තමයි අපි කරන හොඳම දේ.
අම්මා හරි ආසයි ජුවලරිවලට. මම ඒවා ගෙනැල්ලා දෙනවා. එයා ඒවා පලඳින්නෙත් නැහැ. ඒත් හරි ආසයි. ලස්සනට අඳින්නත් ආසයි, ලස්සනට ඉන්න ආසයි. මම කොහේ ගියත් උදේම කෝල් එක ගන්නෙ අම්මාට. එදා දවසෙ මගේ වැඩ ටික ගැන කියනවා. ආයෙත් දිවා ආහාරය වෙලාවෙ කෝල් එකක් දෙනවා, හවස 5ට විතර ආයෙත් කතා කරනවා. අම්මගෙන් එන කෝල් එක නම් මම ලෝකෙ කොහේ හිටියත් මිස් කරන්නෙ නැහැ.
සඳුන් ගමගේ
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අම්මාගෙන් එන ඇමතුම කොහේ හිටියත් මිස් කරන්නේ නැහැ - චමරි අතපත්තු