IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අක්කා හරියට මගේ දෙවැනි අම්මා වගෙයි පියුමාලි අක්කා ගැන සිත්මි නංගිගෙන්

සහෝදරියන් දෙදෙනෙක් රඟපාන අවස්ථා දක්නට ලැබෙන්නේ කලාතුරකින්. ‘‘පියුමාලි එදිරිසිංහ සහ සිත්මි එදිරිසිංහ මේ විදිහට අපට හමුවන තුරුණු රංගන ශිල්පිනියන් දෙදෙනෙකි. 

පාට කුරුල්ලෝ නාට්‍යයේ නිම්නාවි සහ ආලවන්ති නාට්‍යයේ මෙතු ලෙස පියුමාලි ප්‍රේක්ෂක ආදරය දිනා සිටින අතර, සිත්මි අපට හමුවන්නෙ  හිරිපොදවැස්ස - චාරු සහ මාස්ටර් - සර් - නාද්‍යා ලෙසයි. මේ විදිහට හමුවන මේ දෙදෙනා ගැන වැඩි දෙනෙක් කතා වෙන මොහොතක සිත්මි නංගි එයාගෙ ලස්සනම - ලස්සන පියුමාලි අක්කා ගැන ‘‘අක්කයි - නංගියි’’ විශේෂාංගයට කීවේ මේ විදිහටයි.

  • ‘‘සිත්මි’’ගෙ සම්පූර්ණ නම?

සිත්මි සංජුලා එදිරිසිංහ.

  • අක්කාගෙ සම්පූර්ණ නම?

පියුමාලි ප්‍රසාදිනී එදිරිසිංහ.

  • පවුලේ අක්කයි - මේ නංගියි විතරද?

තව චූටි නංගි කෙනෙක් ඉන්නවා. එයාගෙ නම නෙතුෂි එහංසා එදිරිසිංහ.

  • සිත්මිට ගෙදර අය අමතන්නෙ?

‘‘රෝසි’’ කියලා. කලා ක්ෂේත්‍රයේ අය විතරයි ‘‘සිත්මි’’ නමින් මාව දන්නෙ. ඒ හැර හැමෝම මාව දන්නෙ ‘‘රෝසි’’ කියලයි.

  • අක්කා ඔබට කතා කරන්නෙ?

රෝසි, කියනවා. නැත්නම් නංගි කියනවා.

  • ඔබ අක්කව අමතන්නෙ?

ලොකු. 

  • ගම?

මල්වාන.

  • සිත්මි ටෙලි රංගනයට ආවෙත් අක්කා නිසාද?

අක්කා රඟපාන ‘‘පාට කුරුල්ලෝ’’ රූගත කරන හැටි බලන්න අක්කා එක්ක ගිහින් සිටියදී, එහි සහාය අධ්‍යක්ෂ තරංග අය්යා තමයි මාව හිරිපොදවැස්සට ගත්තෙ.

  • ‘‘අක්කා’’ රඟපෑමට ඒමට හේතු වුණේ?

2016දී අක්කා ජාතික රූපවාහිනියෙ අවුරුදු කුමරිය වුණා. එතකොට එයා පාසල් අධ්‍යාපනය ලබමින් සිටි නිසා රංගනයට ආවේ තවත් අවුරුදු පහක් විතර ගියාමයි. මුලින්ම එයා ක්ෂේත්‍රයට ආවේ රූපවාහිනි වෙළෙඳ දැන්වීම් රංගනයෙන්. මේ වන විට අක්කා දායක වෙලා තියෙන ප්‍රකට වෙළෙඳ නාම යටතේ නිර්මාණය වූ දැන්වීම් බොහෝමයි. ටී.වී. එක දැම්මොත් නිතරම වගේ පෙනෙන්නෙ අක්කා නිරන්තරයෙන් දායක වූ දැන්වීම්. මට කලා ක්ෂේත්‍රයට එන්න හේතු වුණේ 2023දී හිරු අවුරුදු කුමරියට ගෙදරින් මගේ අයැදුම්පතක් දාපු නිසයි. එදා ඒ තරගාවලියේ තුන්වැනියා වුණේ මම. අක්කගෙ උදව්වට ගියාට මම රඟපෑමට එන්න අකමැති වුණේ පාන්දරම නැගිටලා මහන්සි වෙන්න තියෙන නිසයි. අක්කත් මාව උනන්දු කළ නිසා තමයි හිරු අවුරුදු කුමරිය තරගයට ගියේ. ඉන් පස්සේ දැන්වීම් රූගත කිරීම්වලදි අක්කා එක්ක ගියාම මටත් අවස්ථා ලැබුණා. ටිකෙන් ටික මේ ෆීල්ඩ් එකට ආවෙ එහෙමයි. දැන්වීම්වලට දායක වෙද්දි මටත් කැමැත්තක් ඇතිවුණා.

  • සිත්මි සහ පියුමාලිගෙ අම්මා - තාත්තා ගැන කිව්වොත්?

ඒ දෙන්නා කලාවට සම්බන්ධ නැහැ. තාත්තා විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙක්. අම්මා ගෘහණියක්.

  • අක්කගෙයි - නංගිගෙයි අතර ඇති බැඳීම මොන වගේද?

අක්කා මට හරියට දෙවැනි අම්මා වගෙයි. මට ඉන්න හොඳම යාළුවත් එයා. මට වැඩිය යාළුවෝ නැහැ. හැම දෙයක්ම මම කියන්නෙ අක්කට.

  • දෙන්නම ඉගෙන ගත්තෙත් එකම පාසලේද?

ඔව්. සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලයේ.

  • දෙන්නගෙන් ඉගෙනීමට දක්ෂ වුණේ?

අක්කා කියන විදිහට නම් මම. ඒත් මම හිතන විදිහට නම් අක්කා.

  • අක්කගෙ අරමුණ සහ සිත්මිගෙ අරමුණ වුණේ?

දෙන්නගෙම අරමුණ වුණේ නර්තන ගුරුවරියන් ලෙස කටයුතු කරන්න.

  • අක්කයි - නංගියි අතර රහස් එහෙමත් තියෙනවද?

අපොයි ඔව්. ඒවා දන්නෙ අපි දෙන්නා විතරයි. ඒවා ඉතින් රහස්ම තමයි.

  • එයත් ඔයාට රහස් කියනවා.

ඔව්. ඔව්. රහස් කෙසේ වෙතත්, ඕනෑම දෙයක් කරන්නෙ මගෙන් අහලා. ඇඳුමක් තෝරා ගත්තත්, අන්තිමට මම කියන එක තමයි අඳින්නෙ. මගෙ වචනෙ එනකල් ඉන්නවා.

  • පොඩි කාලයේ මතක කොහොමද? රණ්ඩුවෙලත් ඇති?

ගහ බැණ ගෙන නම් නැහැ. හැබැයි ඇඳුම්වලට එහෙම රණ්ඩු කරගෙන තියෙනවා.

  • කවුද දෙන්නගෙන් කෑමවලට වඩා ප්‍රිය.

මම හිතන්නෙ මම.  කෑම ජාතියක් හැදුවාම අරන් තියන්න කියලා අක්කා කියනවා. ඒත් එයාට ඒවා කන්න අමතක වෙනවා. අන්තිමට මම ඒ ටික කනවා. ඔන්න එතකොට එයා ඒවා හොයනවා.

  • කාටද රහට උයන්න පුළුවන් ඔය දෙන්නගෙන්?

අපේ අම්මට තමයි රහටම උයන්න පුළුවන්. අක්කයි - මායි අතරින් නම්, මට තමයි රහට උයන්න පුළුවන්.

  • දෙන්නගෙන් ගීත ගැයීමේ හැකියාව තියෙන්නෙ?

දෙන්නටම තියෙන්නෙ නර්තන හැකියාව. පාටියකදී පොඩියට සිංදුවක් කියන්න පුළුවනි. ඒ හැර ගැයීමේ හැකියාව අඩුයි.

  • අක්කගෙ - සිත්මි දකින දුර්වලකම?

එයා මිනිසුන්ව ඕනෑවටත් වඩා විශ්වාස කරනවා. මිනිස්සුන්ව තේරුම් ගැනීමේදී, විශ්වාස කිරීමේදී අපෙ අක්කට වඩා මට තේරුමක් තියෙනව කියලා තමයි අපේ ගෙදර අය කියන්නෙ.

  • අක්කා අවංකයි, ඔබ එහෙම නැද්ද?

අපි දෙන්නම අවංකයි. මම කිව්වෙ අක්කගෙ විදිහ ගැනයි. කෙනෙක් එන්නෙ මොන පොටකටද කියලා මට තේරෙනවා. ඒ වගේ අවස්ථාවලදී අන්තිමට අක්කා නංගි කිව්ව හරි කියලා මට කිව්ව අවස්ථාත් තියෙනවා. එයා ඇත්තටම හොඳ වැඩියි.

  • මොනවද දෙන්නගෙ සමානකම්?

නර්තනයට දෙන්නම දක්ෂයි. ඒ ලෙවල් මට B තුනයි. අක්කට මටත් වඩා හොඳට ප්‍රතිඵල තිබුණා. එයාට කැම්පස් යන්න බැරි වුණේ ලකුණු කීපයක අඩුවක් නිසයි. අක්කා ඒ කාලයේ ක්‍රීඩාවලට හරි දක්ෂයි. එයා හොඳ හොකී ක්‍රීඩිකාවක්. ශිෂ්‍ය නායිකාවක වගේම ක්‍රීඩා අංශයේ නායිකාව වෙලත් හිටියා. මට වඩා පාසලේ කැපී පෙනෙන චරිතයක් වුණා. වැඩි දෙනෙක් මාව හඳුනා ගත්තෙත් පියුමාලිගෙ නංගි කියලයි.

  • අක්කා වෙතින් සිත්මි දකින හොඳම ගුණාංගය?

එයා පවුලට හරිම ආදරේ කෙනෙක්. හරිම හොඳයි. නරකක් කියලා කියන්න දෙයක් නැහැ. එයා හැමෝටම ආදරේ නිසා, මුළු ගමේම අයත් එයාට ආදරෙයි. අපෙ අම්මලට වුණත් ගමේ අය කියන්නෙ අක්කගෙ හොඳ ගුණාංග ගැනයි. අක්කා හැබැයි මට ටිකක් සැරෙන් ඉන්නෙ. මට කේන්ති යන එක හදාගන්න කියලා තමයි එයා උපදෙස් දෙන්නෙ.

  • වඩා ආදරණීය කවුරු කියලද හිතන්නෙ?

දෙන්නම.

  • අක්කා ගැන වැකියකින් කියනවා නම්?

“අක්කා මගේ දෙවැනි අම්මා සුන්දර තරුණියක්.”

  • පාසල් සමයේදී අක්කා දිහා පිරිමි ළමයි බලද්දි, රවන්නෙ ඔයාලු නේද?

ඔව්. ඉතින් අක්කා දිහා රංචු පිටින් පිරිමි ළමයි බලද්දි, මම ටිකක් රවලා බැලුවා. හැබැයි අක්කා ගැන ඒ දේවල් ගෙදරට කිව්වෙත් නැහැ. අක්කා පිරිමි ළමුන්ගෙ බැලුම්වලට අහුවුණේ නැහැ.


සඳුන් ගමගේ


 



අදහස් (0)

අක්කා හරියට මගේ දෙවැනි අම්මා වගෙයි පියුමාලි අක්කා ගැන සිත්මි නංගිගෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2040 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site