

රසිකා මුහන්දිරම්ගේ " හඳ මායාකාර ගෑනියක් " තුළ සැරිසරද්දී , කිවිඳියගේ හදවතේ නොනිමි මායාකාරිමය කාව්‍යමය රිද්මය අපට ස්පන්දනය වෙයි.
රසිකාගේ කාව්‍යය දොරට වැඩුමද අපූර්ව ළගන්නා සිතුවමක් අයුරින් මෙරට කිවිඳියන් හා ලියන්නියන් මලින් පුදමින් ඔවුන් අගයමින් සිදු කිරීමද අපූරුය.ඒ අතර ඇතමුන් දිවියේ පළමු වරට අගයමින් මලින් පිදුම් ලැබූවන් විය හැකිය.
රසිකාගේ පූර්ව කාව්‍යය නිර්මාණය"ගෑනු හිටියෙම හිනාවේගන" දෙවසරකට පෙර නතර කළ තැනින් ඇගේ කාව්‍යය ඉදිරියට ගලා යන චමත්කාරය" හඳ මායාකාර ගෑනියක්" සමග එක්වීමේදී අපට මනාව වින්දනය කළ හැකිය.
රසිකාගේ කවීත්වය පිළිබද ඉදිරියට බොහෝ අදහස් නොමදව ගලා එනු ඇත.ඇගේ කවිය පිළිබද මගේ කියවීම, රසිකා මානව හිතවාදී දෘෂ්ටියකින්.. විස්මිත පරිකල්පනයකින් හා අපූර්ව කාව්‍යෝචිත බස් වහරකින් සම්මිශ්‍රිතව ඇගේ අනුභූතීන් සහෘදයා වෙත තිළිණ කරන බවය.රසිකාගේ අනුභූතීන් හා දෘෂ්ටිය හරහා ඇය ගොඩ නංවන ගැහැනියගේ පීඩනයට එරෙහි මානුෂීය සංවාදය පිළිබද මෙහිදී මගේ අවධානය යොමු කරන්නට සිතමි.
රසිකාගේ කාව්‍යය පුරාම තැවරී ඇත්තේ ගැහැනිය පෙළන සංස්කෘතික සමාජ ආර්ථික පීඩනයයි. ඇය ඒ පීඩනය විදහාලනුයේ සුමට කවීත්වයකිනි. ඇය එය ඉදිරිපත් කරන්නේ
පුදදෙනු ලබන්නේ
ලූණු සුවඳැති ගවුම්
දෙපැත්තේ අත් ඉලූ කළු පැල්ලම්
ගෙවුණු නියපොතු මල්
අල ලූනු ගැන නම්
මටත් කළ හැකි කවිකම්
එලෙස දැනෙන
ලිවිය නොහැකි
ගෑනුන් වෙනුවෙන්
ලියමි කවිකම්....
යනුවෙන් සිය පීඩනය දරා එයට එරෙහිව හඬක් නොමැති සිය සහෝදර ස්ත්‍රී සමූහය වෙනුවෙනි.
රසිකා එසේ කාව්‍යමය හඬ අවදි කරනුයේ වසර දහස් ගණනකට පූර්වයෙන් ඉඳුල් හැළි වළදින්..මෝල් ගහින්..ගෘහයේ පීඩා කාරී ඒකාකාරී වැඩ කන්දරාවෙන්.. සැමියාගේ ලිංගික හිංසනයන්ගෙන් මිදී.. නිදහස් වීම අහෝ සුඛයි කී පෙරදිග ගැහැනුන් සිටි සමාජයකටය.එසේම ගෘහස්ථ තෝන්තු කර වැඩවලින් හා ගෘහස්ථ වහල්භාවයෙන් අපගේ සහෝදරියන් මුදා නිදහස් කර සමාජවාදී විප්ලවයට පූර්ණ ලෙස සහභාගී කර ගත යුතුයි කී සමාජවාදී දේශපාලන ආර්ථික මතවාදයක් ඉදිරිපත් කළ ලෝකයකටය.
දිනපතා ලොව පුරා ගැහැනුන් බිලියන ගණනාවක් පැය 18ක පමණ කාලයක් හෝ එයට වැඩි කාලයක් වෙහෙසකර පීඩාකාරී වැඩ රටාවකින් ගෘහයේද,වැඩේ බිමේද අධික පීඩනයක් උසුලන බව පිළිගන්නා වත්මන් ලෝක වාර්තා අතරට රසිකාගේ කවියද ආගමනය කර ඇත.
රසිකා සිය පරිකල්පනය ඉතාම ගැඹුරු සවිඥානකත්වයකින් මෙහෙයවන්නියක බව ඇගේ කවිය සියුම්ව අපට විවරණය කරයි.
රසිකාගේ කාව්‍යය පිවිසුමේ දොරගුළු විවර කරන්නී "පනස්අට හැවිරිදි දීපානි ප්‍රේමලතා මෙනෙවිය"යි.
"හිමිවරුනි,
වටාපත
තබාගනු මැනවි සීරුවෙන්
ඇවැසි විට වසා ගත හැක
මුහුණු බර වෙන විළියෙන්"
"හිතවතුනි නෑදෑයෙනි
දැක්කත් නොදැක් සේ
ප්‍රගුණ කළ ගුණයෙන්
අසා සිටිනු මැන මගෙ කතාව
සාවධානයෙන්....
මේ කවි දොරගුළුව රසිකා වියමන් කරන කවියෙහි පුළුල් වපසරිය පිළිබද මනා සිතුවමක් සිත්තම් කරයි. එතැන් පටන් සනීපාරක්ෂක කම්කරු දීපානි ප්‍රේමලතාගේ දිවියෙහි ඛේදනීය යථාව සිනමාරූපීව රසිකා රූප රාමුවෙන් රාමුවට නිමවයි. ඒ යථාව සමාජය විළියෙන් බර කරන ඍජුව සෝපාහාසයෙන් ප්‍රශ්න කරන ශෝකාන්ත කාව්‍යයක්ව රසිකා නිමවයි.
අට හැවිරිදි වියෙහිදිම බාල වයස්කාර දැරියකව වැඩුණු පිරිමියකුගේ බලහත්කාරී හිංසනයකට ලක් වන දීපානි මෙනෙවිය ඇගේ ජීවිත කතාව මෙසේ මුදා හරින්නීය.
"වනාත මූල්ලෙ ට්‍රේලර් සිරිදාස
යුනිෆෝම් මිම්ම අරගනිද්දී
මං හිතන්නේ
එතකොට මට අටයි වයස
බාල අපරාධ ලැයිස්තුවට
එකතු වෙන්න නොදී නම
බේරගත්තේ
අම්මගේ දෙවෙනි කසාදේ
බාප්ප විමලදාස
අවුරුදු පහළොව වෙද්දි
අපි තුන්දෙනා එකට පවුල් කෑවෙ
එක වහලක් යට
බාප්ප ඇඳට වෙද්දි
බාගයක් පණ නැතුව
මම සම්පූර්ණ ගෑනියෙක්
මහා ඉස්පිරිතාලේ
වැඩ භාරගත්ත"
බාහිර ලිංගික හිංසනය මෙන්ම දරිද්‍රතාව හා ගැහැනු දරුවකු වූ නිසාම ගෘහස්ථ ව්‍යභිචාරී ලිංගික හිංසනයටද දිගු කලක් මුහුණ දෙමින් නීතියෙන් හෝ අවම වශයෙන් මවගෙන් පවා රැකවරණය අහිමිව මෙම දැරියට මවගේ අනියම් සැමියාගේ ළදරු මනාලිය වී ඔහුගේ ලිංගික ආශාවන් සන්තර්පණය කරමින් ළමා වියෙහිදිම ඇය නොමරා මරා දමනු ලබයි.එසේම පීතෘත්වයේ නීත්‍යනුකූල අයිතිය අහිමි දරු දෙදෙනකුට ළමා විය ඉක්මවීමට මත්තෙන් දීපානි මවක් ද වූවාය. එහෙත් ඇය පවුල සමාජය හා නීතිය ඉදිරියේ අවිවාහකය.අසරණය.හුදෙකලාය.ඇයගේ කතාවට සවන් දීමට කිසිවෙකුත් නැත.
අවසානයේ ඇය ජීවිකාව සරිකර ගනු පිණිස සනීපාරක්ෂක කම්කරු සේවිකාවක වන්නීය.
"මගේ කසාද සහතිකෙ
අත්පිටපත් ගැන
එතකොට දන්නේ
උඩ ඉන්න
දෙයියෝයි මායි විතරද
යකෝ...!
කසාද සහතිකයට දීපු බලතල
පනස් අට හැවිරි දීපානි ප්‍රේමලතා
තාමත් මෙනවිය!"
රසිකා, දීපානි ප්‍රේමලතා මෙනවිය හරහා සමස්ත සංස්කෘතික නීතිමය පීඩාකාරී
හර පද්ධතීන් සුනුවිසුනු කරන්නේ භාෂාත්මක විස්මීයත්වයකිනි.
8 හැවිරිදි දැරියකගේ සිට 58 හැවිරිදිව මිය යන තෙක් දශක 5ක ගැහැනියකගේ ශෝකාන්තයක් රසිකා අපූර්ව කාව්‍ය වැකි කිහිපයක් තුළ මනා ලෙස පෙළ ගස්වන්නේ කෙටි සිනමාපටයක් සහෘද මනස් තුළ ප්‍රදර්ශනය කරමිනි.
ඇත්තෙන්ම මෙකී වින්දිත කාන්තාව වසර 58ක් ආයු වැළඳුවේද?ඒ ප්‍රශ්නය
මෙහිදී රසිකා වසර 58ක් ආයු වළදා යන්න දැඩි සෝපාහසයකින් සමාජය අභිමුවට ගෙන එන්නීය.කෙනකුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අයිතිකව සිදු කරනු ලබන්නේ රජයේ නිලධාරියකු හරහාය.
එහෙත් මෙම වින්දිත කාන්තාව ඇගේ මරණය පරීක්ෂා කරමින් සමාජය හේතු විරහිතව විලියෙන් වික්ෂිප්ත කරයි. කිසි දිනක නීතියට හසු නොවූ දීපානි මෙනෙවියගේ ශෝකාන්තය අවසන රසිකා ඇය හරහාම නීතිය හා සමාජය ඉදිරියේ සුශික්ෂිත සංස්කෘතිය හමුවේ නිරුවත් කර නිරාවරණය කරයි.එවිට අවමංගල සභාවට දෑස් වසා මුහුණු සඟවා හිස නැඹුරු කර ගැනීමට සිදුවේ.මේ රූපකාර්ථය හරහා රසිකා සමස්ත සමාජයම දීපානි මෙනවියලා ඉදිරියේ නිරුත්තර වගඋත්තරකරුවන් කරන අයුරු බෙහෙවින් මානවීය හා ප්‍රශස්තය. මෙකව අපගේ කාව්‍යය අතර කැපී පෙනෙන විශිෂ්ටත්වයක් සනිටුහන් කරයි.සමාජයේ අවධානයට ලක් නොවන හෝ සමාජය නොතකා හරින දීපානි මෙනවියලා පිළිබද මානවීයත්වම කැටිකර ගත් කවක් ලියන්නට කිවිඳියට මනුෂ්‍යත්වය විනිවිදීමේ ගැඹුරු දෘෂ්ටිමය පථයක් හා මනා පරිකල්පනයක් තිබෙන බව රසිකාගේ කාව්‍යය තුළින් අපට ගම්‍ය වේ.
"මං ගියා සීගිරියට..."
කාව්‍යද රසිකාගේ කාව්‍ය අතර අපූර්ව අනුභූතියක් දනවයි.වසර දහස් ගණනක ගැහැනියගේ ගෘහස්ථ හිංසනය පිළිබද ගලක සිත්තම් කර මල් දරා සිටින ගැහැනුන්ගේ සැගවුණු සිනා යට ලියැවුණු වේදනාවේ ලියකම් රසිකා නව ආකාරයකින් කාව්‍යය සිතුවමක් බවට පත් කරන්නීය.ඇගේ කවිය සීගිරි ගලේ කොටනා නූතන ගැහැනියගේ කුරුටු ගීතයයි.
"ඔය කෙළවරම සිතුවමේ
නාරිය ඇත් අස් රිය
සීස් කළ
මදාවි මිනිහෙක්ගෙ ගෑනිය
කාශ්‍යප ඉන්න බෑ මට
මේ මිනිහා එක්ක
ඒකි තේරුවේ මගේ උණුහුම
ඊළඟ සිතුවමේ මහිලාව
පිරුණු ළය මඩලක් එක්ක
පුපුරු ගහනා හදවතක්
ඒකීට
පපුව නෙවි මම අත ගෑවේ හදවත
අපොයි අරුන්දති තාරුකාව
ගුටි කාලමයි ඇගේ නිල් පාට
ඇඳි වස්තරේ පිටින් ඇවිත් මං ගාව
දෙයියෝ බේරගන්න
මේ නරුම අපායෙන් කිව්වම
මං කොහොම අහක බලන්නද...
මල් තළන මදු එළන
වෙඩි බෙහෙත් කොටන
නරුමයෙක්ගේ ගෑනි වෙනුවට
ඒකිගේ ඇඟේ තිබ්බේ කලාකාමී හිතක් පින්බර
ඔය ඔක්කොම චිත්‍රවල
සළු පිළි ඇදුණේ
උන් සතුටින්ම මත්වුණු
සැඳෑවරුවල
ගැහැනියට ලිංගික සන්තර්පණය ඉක්මවා ගිය ප්‍රේමයක් ඇවැසි බව කිවිඳිය වක්‍රෝත්තියෙන් පවසන්නීය.
කාශ්‍යප මින්පෙර මොන පිරිමියද
වින්දෙ නාරි රූ අසිරිය
කෝ ඒ පිරිමි ගාව
නුඹ ගාව ඇති සෞන්දර්යය
රසිකා "මං ගියා සීගිරියට " කාව්‍යය ගැහැනියගේ මානුෂීයත්වය..සුන්දරත්වය නිසි ලෙස නොදකින නොඅගයන පුරුෂ මූලික සමාජයක් ප්‍රශ්න කරලීමට වෑයම් කරන්නේ සුමට බස් වහරක් හරහා කාව්‍යාත්මක රිද්මයකිනි.එකව ඓතිහාසිකව සළුපිළිවලින් සරසා වැසී ගිය ගැහැනියගේ වේදනාව පීඩනය හදුනාගන්නට ඒ පීඩනයෙන් ගැහැනිය මුදා ගන්නට සංවේදී සහෘද ඇරියුමක් නිමවීමට සමත්වෙයි.
"මාලිකා කාර්යාල කාර්ය සහායිකා.."
"කොන්ත්‍රාත් පදනම මත
රස්සාව අරන්
අනියමට
සේපාල මහත්තයට සේවය කළා.
සේපාල මහත්තයා ප්‍රධාන පරිපාලන නිලධාරී
මාලිකා පුරවල දාලා ආවෙ
මුලින් මූණෙන්
හැමෝම මූණට නොකිව්වට
ගෙතුනා කතා වටින් පිටින්
වීදුරු මාලිගාවේ
මේස රෙද්දට යටින්
කොළ කෑල්ලක් හමුවුනේ
සේපාල මහත්තය අතුරුදන් වෙලා
ටික දවසකින්
"මල් බුලත් තට්ටුවේ තියල පිදුවත්
දෙවියො මස් කන්නෙ නෑ කවදාවත්.."
ඉතාමත් සුලබ සිදුවීමක් රසිකා අපූර්ව කවීත්වයක් ආරෝපිතව ඉදිරිපත් කරන්නීය. සමාජ ආර්ථිකමය පරතරය තුළ ලිංගිකව අනියමින් පහළ ශ්‍රේණියකට අයත් ගැහැනිය සූරා කන පිරිමියා සිය "සමාජ ගරුත්වය" වෙනුවෙන් ගැහැනිය අතහැර පලා යනයුරු මෙකව් අග උපමා කරනුයේ ගැහැනිය පහත් හා පිරිමියා උසස් ලෙස සංජානනය කෙරෙන භාෂාත්මක ගොඩ නැංවීමක් සියුම් සෝපාහසයක් හා මුසු කරමිනි..
රසිකා මුහන්දිරම් සිය කාව්‍ය නිර්මාණය අවසන් කරනුයේ
"වර්චුවල් බිරිද.." නිර්මාණයෙනි.
මෙහි බිරිද හා සැමියා අතර ඇති නොපෑහෙන බව අනවබෝධය රසිකා සංකේතවත් කරනුයේ
"මම ගිරවියක්
එයා වවුලෙක්
ඒත් අපි බැන්දා..." යනුවෙන් නොපෑහෙන දෙදෙනෙකු ගේ එක්ව විසීමේ පීඩනය සහෘද මනස් තුළ කවියක්ව නිමවමිනි.
අපි දෙන්න කන්න කැමති
වෙන වෙන කෑම
අපි සරන්න කැමති
වෙන වෙන උයන් වල..
හීනෙන් ඇහැරෙද්දි
මම ඉගෙන ගත්ත පාඩම
මේක එයාට කියලා දෙන්න බෑ.
එයා ගෙදර එන්නේ
වැනි වැනී නිදිමතේ
ඔළුව බර කරගෙන..! "
ගැහැනියගේ හඬට සවන් නොදෙන ගැහැනියගේ සැබෑ හඬ යටපත් කරන ලද පුරුෂ කේන්ද්‍රීය ආකල්ප සිතුම් පැතුම් මතින් ගොඩ නංවන ලද සංස්කෘතියක් අභියස රසිකා වෑයම් කරන්නේ ඇගේ හඬට.ගැහැනියගේ හඬට සවන් යොමු කරන නව සංස්කෘතියක් බිහි කිරීමය.
ඒ අරමුණ සාක්ෂ්‍යාත් කර ගැනීම සඳහා
නිර්මාණය ප්‍රවේශයෙහි සිට අවසානය දක්වා ස්ත්‍රීත්වය මානවීය ලෙස ප්‍රති නිර්මාණය කරන්නටද ඒ දෙස සමාජ අවධානය යොමු කරමින් ගැහැනියගේ පීඩනයට එරෙහි සෞන්දර්යාත්මක දෘෂ්ටියකින් හඬ නංවන්නටද රසිකා අපූර්ව ලෙස සමත් වන්නීය..
රසිකා මුහන්දිරම් තමාටම අනන්‍ය ස්වීයත්වයකින් සහෘද මනස් සිසාරා කරන මේ "හඳ මායාකාර ගෑනියක්.." සංවාදයට සවන් දෙන්නට ඔබට සහෝදරත්වයෙන් ඇරියුම් කරමි.
2025 ඔක්තෝබර් මස 08
1572
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1366
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
’’හඳ මායාකාර ගැහැනියක්’’ සීගිරියේ කෙටු අලුත් කුරුටු ගීයක්