IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සිතිජය සිසාරා දුවන හයිකු කවි සිතැත්තී

 

 

 

සිතිජය සිසාරා ගොස් දිවි ගෙවන සුභාෂිණී ජයතිලක කිවිඳිය ශ්‍රී ලංකා හයිකු කවි සංග්‍රහයක හිමිකාරියක වන අතර “සිතිජය සිසාරා“ ශ්‍රී ලංකා හයිකු කාව්‍ය සංග්‍රහය ඇය විසින්ම ඉංග්‍රීසි බසට පරිවර්තනය කරමින් ද ඇයගේ ආදරණීය දියණිය වන දෙව්නි ගුණරත්න පුස්තකයට අවැසි චිත්‍ර නිර්මාණය කරමින් ද නිර්මිත සුන්දර හයිකු කාව්‍ය එකතුවකි.

කිවිවර පාලිත සේනාරත්නයන්  මෙහෙයවන ශාස්ත්‍රීය හයිකු  කවි සමාජයේ සාමාජිකාවක් වන ඇය එම  අධ්‍යයන මණ්ඩප ඇසුරු කරමින් කටයුතු කරන්නීය.   එමෙන්ම මෙම අපූරු සුන්දර හයිකු කවි එකතුව ඇය “සිතිජය සිසාරා“ යමින් හයිකු කවි පෙතේ ඇය යන කෙළවරක් නොපෙනෙන අන්තය බව ඉඟියෙන් පෙන්වා දෙයි.  

හයිකු කාව්‍යය මණ්ඩපවලට ඉතාමත් ලැදිව ශ්‍රී ලංකාවේ හයිකු කවි කිවිඳියන් ජාත්‍යන්තරයට එක් කරන පාදම ලෙස ඇය ක්‍රියා කරන්නීය. ඇය වෙහෙසකර රාජකාරි කටයුතුවලින් මඳකට මිදී තම අත්දැකීම් හයිකු කවියක අමුණන්න වෙහෙසෙන සහ ජාත්‍යන්තරයට කවි කිවිඳියන් යවන කවි ඉංග්‍රීසි බස ද  පරිවර්තනය කරන්න ද  උනන්දු වන සුන්දර කිවිඳියකි. නොදුටු මා ඇය දුටුවේ හඳුනා ගත්තේ එලෙසය. කිවිඳියක, මවක හා උසස් රාජ්‍ය  නිලධාරිනියක් ලෙස ඇයගේ කවිකම් මා වැන්නියකට පැවසීමට සරල නොවේ යැයි මට සිතේ. අත්දැකීම් බහුල ජීවිතෙන් බිඳක් ලියා ඇති සුන්දර කවි මල් වලින් මෙම හයිකු කාව්‍ය සංග්‍රහය වර්ණවත් කර ඇති අතර 2024 ජනවාරි 5 වැන දින අභිනවයෙන් දොරට වැඩියේ 6 වැන හයිකු කාව්‍ය සංවත්සර උත්සවයේ දීය.

ක්ෂිතිජයේ වර්ණ රැගත් පිට කවරයක සරල පිහිටුම ඇති පොතක මහිම ගැඹුරු කවිවලින් බර වී ඇත. චාම් බව හා සරල බව කැටිකොට ගත් වර්ණවල අරුත් බොහෝය. දුඹුරු පැහැයෙන් සුවදායි හා විශ්වසනීත්වයක් ඇති වන බවත් කොළ පැහැයෙන් සුවදායි සැනසුම සහ ප්‍රියමනාප බවත් නිල් පැහැයෙන් සරල බවත් කහ පැහැයෙන් ජවය හා ධානාත්මක බවත් ලා නිල් පැහැයෙන් මිත්‍රශීලි බවත් පිළිබිඹු වන අතර ඇය කෙතරම් හැඩට අරුත්බරව මෙම පුස්තකයේ පිටකවරය පවා සකසා ඇති බව මොනවට කියා පායි. සරල හා අව්‍යාජ බවත් සමඟ ම මෙම වර්ණවලින් දනවන අදහස් හයිකු කාව්‍යවලද රැඳෙන බව කාලයක් හයිකු කවිය පරිශීලනය කිරීමේදී පැහැදිලි වේ.

පාලිත සේනාරතනයන්ගේ අධ්‍යයන මණ්ඩපවල සාමාජිකවක් වන ඇය එතුමන්ගෙන් හයිකු කාව්‍ය පිළිබඳව ලද ගුරුහරුකම් පෝෂණය කරගැනීමෙන් ලබා ගත් දැනුම එකලස් කරමින් මෙම කාව්‍ය සංග්‍රහය හයිකු කවි මඟ සරසාලීමට විසිරුවන ලද කවි මල් අහුරකි.

සුරුබුහුටි කාව්‍ය 54කින් තෝරා බේරා ගැනීමට අපහසු තරම් වන එකිනෙක පරයමින් පරිසරය, ජීවිත අත්දැකීම්  හා බැඳී ලියැවී ඇති කාව්‍ය අතුරෙන් කිහිපයක් තෝරා ගනුයේ ඇයට කෙරෙනා හද බැඳි සෙනෙහසත් සමඟයි.

දිය සුළියට
හසු වූ
මල් පෙත්තක්!

මල් පෙත්තක් වැනි සියුම් වස්තුවක් දිය සුළියකට හසු වූ විට ඔබට දැන් මැවී පෙනෙනු ඇත. අනිත්‍ය හා හැරයාම මත රැඳෙන ජීවිතයක කතාවක් හයිකු කාව්‍යයක් ලෙස ඉතා සරලව වචන කිහිපයකින් ලියා ඇති ආකාරය අපූරුය. බහුවිධ අර්ථකතනයන් දිය හැකි සරල වදන් පෙළහරකි. හයිකු කාව්‍ය එලෙසය. තම තම ණැන පමණින් විමසන ආකාරයට පිළිසිඳ හඳුනා ගත හැකිය.

රතු තිලකය
නළල් තලය මත
ඇය නව දිවියකට

රතු තිලකය අපූරු පද ගැළපුමකි. විවාහය සංකේතවත් කරමින් නළලේ තියනු ලබන තිලකයක මහිමය කාන්තාවකට මිස අන් කවරෙකුට ද? රතු තිලකය තබාගනිමින් ඔවුන් ජීවත්වන්නේ විවාහයේ සුන්දරත්වය මෙනෙහි කරමින් බැවිනි. රතු තිලකය නව දිවිය නව ආකාරයෙන්ම පවත්වා ගැනීම පිළිබඳව ලිවීමට නම් හයිකු කවියක හැර තවත් කවියක් ඇතිදැයි සැකයකි. සරලම වදන් පෙළහරකින් ඇය දනවන ගැඹුරුම අදහස ඔබටද දැනේවි. හයිකු කවියක අරුමය එයයි.

වන සෙනසුන දෙපස
මා සමඟ
රෑහි හඬ පමණක්

ඇය සිතිජය සිසාරා ගමන් කරමින් වන සෙනසුනකට ගොස් ඇති අයුරකි. වන සෙනසුනක ඇති නිහැඬියාව අපමණය. ඇසෙන්නේ අතුරිකිල්ලක් කැඩෙන හඩ හෝ පතිත පත් ගැටෙන හඬක් පමණි. නිරතුරුව ඇසෙන්නේ වනය සිසාරා ඇසෙන රෑහි හඬයි. රෑහි හඬ නිතරම ඇසෙන වන සෙනසුනක තනිකමක් නැත්තා සේ ය. ඒ රෑහි හඬින් මුමුණන කවි බොහෝය. ඇය විඳින සෙනසුනක අරුමය අකුරු වී ඇත. අපූරු පරිසර විඳීමකි. ඔබත් ඇගේ බහු අරුත්දෙන කවි පෙතේ ඇවිද යන බව මම දනිමි. හයිකු කවිය ඔබවත් ඒ මග නතර කරනු ඇති.

පාදයක් අහිමි
බලු පැටියෙක්
සක්මන් මළුවේ

විහාරයක, පන්සලක සක්මන් මළුව පොදු ස්ථානයක් වුවුද බොහෝ විට අපට දක්නට ලැබෙන්නේ උවැසි උවැසියෝ දෑත් බැඳ මනා කල්පනාවෙන් ගමන් කරනා ආකාරයයි. සක්මන් මළුව ඉතා සරලවම භාවනාව සඳහා ද යොදාගනී. එවන් මගක සුනඛයෙක් ගමන් කිරීම දක්නට නොලැබෙන අතර මේ පාද තුනක් සහිත සුනඛ පැටවෙක් ගේ ගමන් විලාසය සක්මන් මළුවට නොගැළපෙන බව එක්වරම පෙන්වා දෙයි. නමුත් ඒ සුනඛ පැටවාගේ පෙර සසර පුරුද්දක් මත සක්මන් මළුවේ ඇවිදිනවා වන්නට ද පුළුවන.  පාද අඩුවෙන් වුව ද මළුවේ ඇවිදිමින් යම් රසයක් විඳිනවා වන්ටත් පුළුවන.  කෙසේවෙතත් බහුවිධ බහුඅර්ථ දෙන කවිවලින් එකක් වන මේ හයිකු කවි මල ද ජීවිතේ අනිත්‍ය හා සරල බව ත් සඟවාගෙන ඇත.

හයිකු කවි මල් එකිනෙක කියවීමෙන් ඔබට කතා වස්තූන් බොහොමයක් මුණගැසෙනු ඇති. ඒ හැම කවියක්ම කතාවකි. සිතන්න ඉතිරිව ඇත. දැන් මෙම හයිකු කවි මල් ගැන ඔබට සිතීමට විවර වූ කාලයයි.

මම මෙහි ලියා ඇත්තේ ඇගේ කවි මල්වලින් කිහිපයකි. ඇයට කෙරෙන ගෞරවයක් ලෙස මම මෙම අකුරු හයිකු කවි මගේ විසිරුවමි. මෙම කවි කියවීම තුළින් ජීවිතේ සත්‍ය දැකීමට හැකි වන බව පැහැදිලිය.

ඉතින් ඇයට මෙවන් කවිකම් පාන්නටත් එම මග පෙන්වූ කිවිවර පාලිත සේනාරත්නයන්ටත් මෙම කවි මග තවතවත් එකලු කරන්නට දිරිය හා සවිය ලැබේවායි පතමි.



අදහස් (1)

සිතිජය සිසාරා දුවන හයිකු කවි සිතැත්තී

Nalini De Silva Tuesday, 30 July 2024 11:39 AM

ස්තුතියි බොහොම . මේ අකුරු තව තවත් ලියන්න දිරිගන්වන්න ඔබේ දිරියට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site