පසුගිය 13 වැනිදා අප අතරින් වියෝ වූ , පේරු ජාතික , නොබෙල් සාහිත්‍ය ත්‍යාග ලාභී මාරියෝ වර්ගාස් යෝසා ගේ සාහිත්‍ය නිර්මාණවල සැබෑ රස උකහා ගන්නට , රසය විඳ ගන්නට  අසමත් වූ මම සැබැවින්ම  අවාසනාවන්තයෙක් වීමි . 

ඔහුගේ The Green House සහ Aunt Julia and the Scriptwriter යන පොත් දෙකම කියවනන්ට උත්සාහ කළ නමුදු ඒවා ග්‍රහණය කර ගැනීමේ හැකියාවක්  , එකළ , එනම් පහළොස් වසරකට පෙර මට නොවිණ . වයසට යන මනසට, අහඹු පරිණත බවක් එකතු වූ දිනක කියවමි යැයි සිතා ඒවා පසෙක තැබුවෙමි . යෝසා ගේ මරණයෙන් පසුව යළිත් මේ පොත් දෙක අතට ගත්තද , පිරිපුන් සාහිත්‍ය නිර්මාණයක රස බලන්නට තරම්  සන්සුන්  මානසිකත්වයක් මට නොවිණ . 

කෙසේ හෝ වේවා මාරියෝ වර්ගාස් යෝසාගේ ශ්‍රේෂ්ඨත්වය මා හඳුනා ගන්නේ පළමු පින්තුරයේ දැක්වෙන The Perpetual Orgy නම් පොත ඇසුරිනි . මේ පොත කුමක්දැයි යන්න ලිවීම මේ සටහනේ අරමුණයි .

1957 වසරේ තම ප්‍රථම කෙටි කතාව ලියා පළ කරන විට යෝසාගේ වයස අවුරුදු 21 කි . ඊට වසර දෙකකට පෙර  තම මව් පාර්ශ්වයෙන් නැන්දනියක් වූ , තමාට වඩා   වසර දොළහකින්   වැඩිමහලු  ජූලියා සමග  ඔහු (Julia Urquidi ) විවාහ වී සිටියේය . තවත් වසර තුනකට පසු 1960 දී යෝසා තම බිරිඳ සමග වැඩිදුර අධ්‍යාපනය උදෙසා පැරිස් නගරයට පැමිණියද , එහි පැමිණි පසු වටහා ගන්නේ තමන්ගේ ශිෂ්‍යත්වය අහෝසි වී ඇති බවයි . එසේ වුවද යළිත් මව් රට නොගිය යෝසාගේ තීරණය වූයේ , දැඩි ආර්ථික අපහසුතා මැද වුවද පැරිස් නගරයේම තව ටික කලක් වාසය කිරීමයි . මේ වකවානුවේය යෝසා ට ප්‍රංශ මහා ලේඛක ගුස්තාව් ෆ්ලෝබෙයා ගේ "මැඩම් බොවාරි " පොත කියවන්නට ලැබෙන්නේ .

සාහිත්‍යකරණයේදී  ලේඛකයකු සතු විය යුතු සංයමය කුමක්දැයි තමා හඳුනා ගත්තේ "මැඩම් බොවාරි " කියවීමෙන් පසුව බව යෝසා පසු කළෙක ප්‍රකාශ කළේය . 

යෝසා සත්‍ය වශයෙන්ම ලේඛකයකු බවට පත් වන්නේ "මැඩම් බොවාරි " කියවීමෙන් ලද ආභාෂය මතිනි . ප්‍රංශ ජාතිකයින්ට ස්පාඤ්ඤ බස උගන්වමින් පැරිස් ජීවිතයේ එදිනෙදා වුවමනාවන් ඉටු කර ගන්නා අතරේදී , "මැඩම් බොවාරි" ගේ ඇසුර ලබමින් , ගුස්තාව් ෆ්ලෝබෙයා තම නවකතාව තුළින් පෙන්වා දී තිබුණු ගුරුහරුකම් සහ මග පෙන්වීම් අනුව යමින් යෝසා තම ප්‍රථම නවකතාව ලියන්නට පටන් ගත්තේය . එය 1966 වසරේදී The Green House නමින් ප්‍රකාශයට පත් විය . 

යෝසා කිසි දිනක "මැඩම් බොවාරි "පොත අතහැරියේ නැත . ඉඩ ලැබුණු සෑම මොහොතකම ඔහු ෆ්ලෝබෙයා ගේ අසමසම නිර්මාණයට සම වැදුණි . නිදි යහන අසළ මේසයේ යෝසා ගේ රැය බෙදා ගත්තේ මැඩම් බොවාරි පොතයි . එය දශක පහක් පුරාම යෝසාගේ සාහිත්‍ය සගයා විය .

2010 වසරේ නොබෙල් ත්‍යාගය ලබමින් යෝසා කළ කතාවේදී තම නිර්මාණකරණයට ගුස්තාව් ෆ්ලෝබෙයා ගෙන් ලැබුණු අනුබලය සහ ප්‍රබන්ධ සාහිත්‍යයේ අරුම බලය ගැන යෝසා ප්‍රකාශ කළේය . 

එපමණක් නොවේ . "මැඩම් බොවාරි " තුළින් ලැබූ ගුරුහරුකම් වලට කෘතගුණ සළකනු පිණිස පොත ගැනත් , ෆ්ලෝබෙයා ගේ නිර්මාණකරණය , සාහිත්‍ය භාවිතාව ගැනත් 1975 වසරේදී යෝසා අගනා පොතක් ලීවේය . ඒ මෙහි දැක්වෙන The Perpetual Orgy නම් පොතයි . 

"මැඩම් බොවාරි " මුල් බසින් කීප වාරයක් කියවා , ඉතාම කළාතුරකින් ලේඛකයෙකු සතු විය හැකි ඉන්ද්‍රජාලික වදන් හැසිරවීමෙන් මත් වී සිටි මම වසර කීපයකට පෙර මේ පොත මිලදී ගතිමි . කියවීමි . එය වනාහී හුදෙක්ම ෆ්ලෝබෙයාගේ "මැඩම් බොවාරි " විශ්ලේෂණය කරමින් ලියූ පොතක් නොවේ . ලේඛකයෙකු සාහිත්‍යකරණයේ යෙදිය යුත්තේ කෙසේදැයි උගන්වන අත් පොතකි . 

The Perpetual Orgy ප්‍රධාන කොටස් තුනකට බෙදෙයි .

  • -  පොතේ ප්‍රධාන චරිතය වන එමා බොවාරිගේ චරිත ස්භාවය විග්‍රහ කිරීම පළමු කොටසට අයිති වෙයි .
  • - ෆ්ලෝබෙයා තම නිර්මාණය බිහි කිරීමේදී අනුගමනය කළ පිළිවෙත , ඔහුගේ නිර්මාණ ක්‍රියාවලිය , පොත ලිවීමේදී ඔහුගේ දින චරියාව , පොතේ සංස්කරණය පිළිබඳ දීර්ඝ විග්‍රහය දෙවන කොටසයි . 
  • -  " මැඩම් බොවාරි"  යනු The First Mordern Novel වශයෙන් යෝසා හඳුන්වා දෙන යෝසා එය ලෝක සාහිත්‍යයේ අග්‍රගන්‍ය පොතක් බවට පත් වන්නේ කෙසේදැයි පෙන්වා දෙන්නට තුන් වන කොටස වෙන්වී තිබේ .

පිටු 240 ක් පුරාම යෝසා විග්‍රහ කරන්නේ "මැඩම් බොවාරි " තුළින් තවත් ලේඛකයෙකුට ගත හැකි ආදර්ශයයි . අනුබලයයි . පාඩමයි . 

යෝසා ප්‍රංශ බස හොඳින් කතා කළේය . එහෙත් ඔහුට ප්‍රංශ පුරවැසිකම තිබුණේ නැත . ප්‍රංශ භාෂාවේ මහ ගෙදර වන ප්‍රංශ ඇකඩමිය (l'Académie française ) තමන්ගේ සාමාජිකත්වය 2021 වසරේදී යෝසා ට හිමි කර දුන්නේය . අද දවසේ The Perpetual Orgy නම් මේ පොත ප්‍රංශ සාහිත්‍යය , විශේෂයෙන්ම ගුස්තාව් ෆ්ලෝබෙයා ගේ සාහිත්‍යකරණය හදාරන වුන් ගේ අත් පොතක් බවට පත් වී තිබේ . 

The Perpetual Orgy මාරියෝ වර්ගාස් යෝසා යන මහා මිනිසාගේ විශිෂ්ට බව කියා පාන අගනා අවස්ථාවකි.