පසුගිය 13 වැනිදා අප අතරින් වියෝ වූ , පේරු ජාතික , නොබෙල් සාහිත්‍ය ත්‍යාග ලාභී මාරියෝ වර්ගාස් යෝසා ගේ සාහිත්‍ය නිර්මාණවල සැබෑ රස උකහා ගන්නට , රසය විඳ ගන්නට අසමත් වූ මම සැබැවින්ම අවාසනාවන්තයෙක් වීමි .
ඔහුගේ The Green House සහ Aunt Julia and the Scriptwriter යන පොත් දෙකම කියවනන්ට උත්සාහ කළ නමුදු ඒවා ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් , එකළ , එනම් පහළොස් වසරකට පෙර මට නොවිණ . වයසට යන මනසට, අහඹු පරිණත බවක් එකතු වූ දිනක කියවමි යැයි සිතා ඒවා පසෙක තැබුවෙමි . යෝසා ගේ මරණයෙන් පසුව යළිත් මේ පොත් දෙක අතට ගත්තද , පිරිපුන් සාහිත්‍ය නිර්මාණයක රස බලන්නට තරම් සන්සුන් මානසිකත්වයක් මට නොවිණ .
කෙසේ හෝ වේවා මාරියෝ වර්ගාස් යෝසාගේ ශ්‍රේෂ්ඨත්වය මා හඳුනා ගන්නේ පළමු පින්තුරයේ දැක්වෙන The Perpetual Orgy නම් පොත ඇසුරිනි . මේ පොත කුමක්දැයි යන්න ලිවීම මේ සටහනේ අරමුණයි .
1957 වසරේ තම ප්‍රථම කෙටි කතාව ලියා පළ කරන විට යෝසාගේ වයස අවුරුදු 21 කි . ඊට වසර දෙකකට පෙර තම මව් පාර්ශ්වයෙන් නැන්දනියක් වූ , තමාට වඩා වසර දොළහකින් වැඩිමහලු ජූලියා සමග ඔහු (Julia Urquidi ) විවාහ වී සිටියේය . තවත් වසර තුනකට පසු 1960 දී යෝසා තම බිරිඳ සමග වැඩිදුර අධ්‍යාපනය උදෙසා පැරිස් නගරයට පැමිණියද , එහි පැමිණි පසු වටහා ගන්නේ තමන්ගේ ශිෂ්‍යත්වය අහෝසි වී ඇති බවයි . එසේ වුවද යළිත් මව් රට නොගිය යෝසාගේ තීරණය වූයේ , දැඩි ආර්ථික අපහසුතා මැද වුවද පැරිස් නගරයේම තව ටික කලක් වාසය කිරීමයි . මේ වකවානුවේය යෝසා ට ප්‍රංශ මහා ලේඛක ගුස්තාව් ෆ්ලෝබෙයා ගේ "මැඩම් බොවාරි " පොත කියවන්නට ලැබෙන්නේ .
සාහිත්‍යකරණයේදී ලේඛකයකු සතු විය යුතු සංයමය කුමක්දැයි තමා හඳුනා ගත්තේ "මැඩම් බොවාරි " කියවීමෙන් පසුව බව යෝසා පසු කළෙක ප්‍රකාශ කළේය .
යෝසා සත්‍ය වශයෙන්ම ලේඛකයකු බවට පත් වන්නේ "මැඩම් බොවාරි " කියවීමෙන් ලද ආභාෂය මතිනි . ප්‍රංශ ජාතිකයින්ට ස්පාඤ්ඤ බස උගන්වමින් පැරිස් ජීවිතයේ එදිනෙදා වුවමනාවන් ඉටු කර ගන්නා අතරේදී , "මැඩම් බොවාරි" ගේ ඇසුර ලබමින් , ගුස්තාව් ෆ්ලෝබෙයා තම නවකතාව තුළින් පෙන්වා දී තිබුණු ගුරුහරුකම් සහ මග පෙන්වීම් අනුව යමින් යෝසා තම ප්‍රථම නවකතාව ලියන්නට පටන් ගත්තේය . එය 1966 වසරේදී The Green House නමින් ප්‍රකාශයට පත් විය .
යෝසා කිසි දිනක "මැඩම් බොවාරි "පොත අතහැරියේ නැත . ඉඩ ලැබුණු සෑම මොහොතකම ඔහු ෆ්ලෝබෙයා ගේ අසමසම නිර්මාණයට සම වැදුණි . නිදි යහන අසළ මේසයේ යෝසා ගේ රැය බෙදා ගත්තේ මැඩම් බොවාරි පොතයි . එය දශක පහක් පුරාම යෝසාගේ සාහිත්‍ය සගයා විය .
2010 වසරේ නොබෙල් ත්‍යාගය ලබමින් යෝසා කළ කතාවේදී තම නිර්මාණකරණයට ගුස්තාව් ෆ්ලෝබෙයා ගෙන් ලැබුණු අනුබලය සහ ප්‍රබන්ධ සාහිත්‍යයේ අරුම බලය ගැන යෝසා ප්‍රකාශ කළේය .
එපමණක් නොවේ . "මැඩම් බොවාරි " තුළින් ලැබූ ගුරුහරුකම් වලට කෘතගුණ සළකනු පිණිස පොත ගැනත් , ෆ්ලෝබෙයා ගේ නිර්මාණකරණය , සාහිත්‍ය භාවිතාව ගැනත් 1975 වසරේදී යෝසා අගනා පොතක් ලීවේය . ඒ මෙහි දැක්වෙන The Perpetual Orgy නම් පොතයි .
"මැඩම් බොවාරි " මුල් බසින් කීප වාරයක් කියවා , ඉතාම කළාතුරකින් ලේඛකයෙකු සතු විය හැකි ඉන්ද්‍රජාලික වදන් හැසිරවීමෙන් මත් වී සිටි මම වසර කීපයකට පෙර මේ පොත මිලදී ගතිමි . කියවීමි . එය වනාහී හුදෙක්ම ෆ්ලෝබෙයාගේ "මැඩම් බොවාරි " විශ්ලේෂණය කරමින් ලියූ පොතක් නොවේ . ලේඛකයෙකු සාහිත්‍යකරණයේ යෙදිය යුත්තේ කෙසේදැයි උගන්වන අත් පොතකි .
The Perpetual Orgy ප්‍රධාන කොටස් තුනකට බෙදෙයි .
පිටු 240 ක් පුරාම යෝසා විග්‍රහ කරන්නේ "මැඩම් බොවාරි " තුළින් තවත් ලේඛකයෙකුට ගත හැකි ආදර්ශයයි . අනුබලයයි . පාඩමයි .
යෝසා ප්‍රංශ බස හොඳින් කතා කළේය . එහෙත් ඔහුට ප්‍රංශ පුරවැසිකම තිබුණේ නැත . ප්‍රංශ භාෂාවේ මහ ගෙදර වන ප්‍රංශ ඇකඩමිය (l'Académie française ) තමන්ගේ සාමාජිකත්වය 2021 වසරේදී යෝසා ට හිමි කර දුන්නේය . අද දවසේ The Perpetual Orgy නම් මේ පොත ප්‍රංශ සාහිත්‍යය , විශේෂයෙන්ම ගුස්තාව් ෆ්ලෝබෙයා ගේ සාහිත්‍යකරණය හදාරන වුන් ගේ අත් පොතක් බවට පත් වී තිබේ .
The Perpetual Orgy මාරියෝ වර්ගාස් යෝසා යන මහා මිනිසාගේ විශිෂ්ට බව කියා පාන අගනා අවස්ථාවකි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මැඩම් බොවාරි ආස්වාදයෙන් මහා ලේඛකයකු වූ මාරියෝ වර්ගාස් යෝසා