
කිසියම් නවකතාකරුවකුගේ වගකීම තමා වෙසෙන ජීවී- අජීවී පරිසරයේ සංසිද්ධි උකහා , සාහිත්‍ය රසය හොවා, සහකම්පනය ඇති කරවන අයුරින් සහෘද පාඨකයාට ඉදිරිපත් කිරීමයි. එවන් මෙහෙවරක යෙදෙන වර්තමානයේ සිටින කතුවරයන් අතර තම වගකීම නිසියාකාරව හඳුනා ගනිමින් කෘති රචනා කරන කතුවරයෙක් වන තිඹිරියාගම බණ්ඩාරයන් හඳුනාගතිමි.ඔහු සාහිත්‍යවේදියකු, කතුවරයකු, පුවත්පත් කලාවේදියකු මෙන්ම සොඳුරු මානව හිතවාදයකු ද වෙනවා.
මෙවර රාජ්‍ය සම්මානිත යොවුන් නවකතාව වූ "රෝසමල් කුමාරයා" තිඹිරියාගමගේ මාහැඟී රචනයක්!
තාක්ෂණය මානව බැඳීම්, මිනිස් සංවේදනා විසම ලෙස අතික්‍රමණය කර ඇති වර්තමානයෙහි මෙම කෘතිය තුළින් විශද කරවන මනුෂ්‍යත්වය මෙන්ම මානව බැඳීම් බොහෝ සොඳුරුය. එතුළින් සපයන ආදර්ශය කාලීනය.
අපි සැවොම එකම සුඛ විහරණ වළඳන්නෝ නොවෙමු. මේ ලොව සොඳුරු තැනක් වූයේ ඇති- හැකි මිනිසුන්, නැති- බැරි මිනිසුන්ට තම දෑත දිගු කරනා තරමටයි. එවන් මිනිසුන් නිසා පුංචි අංකුරයකට විසල් රුකක් වැඩෙන්නට අවැසි පරිසරය සැකසෙන අයුරු කෘතියේ දැක්වෙනවා.
මෙලොව වටිනාම සම්පත දරුවන්ය. දරුවා නියමාකාරව සමාජානුයෝජනය කිරීම පළමුව සිදුවන්නේ පවුල තුළින් හා දෙවනුව පාසලෙනි. මවුපියන් තරමටම එහි ගුරුවරු දරුවන් කෙරෙහි තම අවධානය, සංවේදීතාව දැක්විය යුතුය. එවැනි ගුරුවරු පිරිසක් රාජකාරියට එහා ගිය මානුෂික සේවයක් මෙම පාසලේ දරුවන් වෙනුවෙන් සිදුකරනු ලබනවා.
එලෙසම මෙම සටහන ලිවීමට මා පෙලඹවූයේ අද මෙවන් ව්‍යසනයකට ගොදුරුව පවතින ඒ සුන්දර කොත්මලේ ප්‍රදේශය පාදක කොට මෙම සොඳුරු කතාන්තරය නිර්මාණිත වීම නිසාය. ජීවන කම්කොටලු හමුවේ තම පවුලේ බර කරට ගනිමින් මවුපියන්ට සහනයක් වීමට මෙන්ම තම පාසල් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මල් විකුණන දරුවෝ ඕනෑ තරම් එම ප්‍රදේශයේ සිටිති. වැදගත් තමන් උපන් ආකාරය නොවේ. අප්‍රතිහත ධෛර්යයෙන් ජීවිතයේ අභියෝග ජය ගැනීමයි. එහි ප්‍රබලම අවිය ආධ්‍යාපනයයි.
එවන් සොඳුරු පරිසරයක කටුකත්වය දරා කුඩා ශ්‍රී ධරන් තම ජීවිතයේ පළමු කඩඉමට පිවිසීම සිදු කරන්නේ ප්‍රාණසම මිතුරකුත්, මවුපියන් තරමට ආදරණීය ගුරුවරුන් හා අතරමඟදී හමුවන මනුෂ්‍යත්වය පිරිපුන් මවකුත් නිසාය. එලෙසම ඔහු තම මවට, පියාට හා අත්තම්මාට දක්වන සෙනෙහස උත්කෘෂ්ට කිරීමට කතුවරයා තම කෘතිය තුළ උත්සහා ගන්නේ වර්තමානයේ ගිලිහී යන එවන් බැඳීම් ඔසවා තැබීමේ අභිප්‍රාය ඇතිවයි.
ලොව වැඩිම දරුවන් පිරිසක් පීඩාවට පත්වන්නේ ජාතිවාදය හා දරිද්‍රතාව නිසාය. එය ප්‍රබල ගැටලුවක්ව තිබූ යුගයක් ලාංකික අපට ද විය. නමුදු එකම පන්තියක ඉගෙනුම ලබන සඳුන් සහ ශ්‍රී ධරන්ගේ චරිත මවා ඔවුන්ගේ මිත්‍රත්වය තුළින් කතුවරයා විශද කරනුයේ එම දේශපාලන ගැටලුවයි. එය නවකතාවක් තුළින් මා දුටු ප්‍රබල කරුණක් වනවා. ඒ නිසා අප කුඩා කල කියවූ මඩොල් දූව, අඹ යහළුයෝ වැනි මා හැඟි යොවුන් කෘතිවලටත් ඉදිරියෙන් පියවරක් තැබීමට තිඹිරියාගමයන්ට හැකිව තිබේ.
වර්තමානයේයේ ප්‍රබල ගැටලුවක්ව පවතින්නේ යොවුන් දරුවන් සමාජ මාධ්‍යය අවභාවිත කිරීමයි.ඒවා පරිහරණය කිරීමේදී අපේ ජීවිතයේ අනාගත ප්‍රගමනය සඳහා උපකාරී වන ලෙස භාවිත කරන්නේ කෙසේද යන්න හොවා දැක්වීමට කෘතියේ සමහර පරිච්ඡේද වෙන් කිරීමට කතුවරයා කටයුතු කර ඇත.
මිනිසුන් ලෙස අප අනුගමනය කළ යුත්තේ අප්‍රතිහත ධෛර්යයෙන් සමාජයට මෙහෙයක් කරමින්, ජීවිතය ජයගත් මිනිසුන්ය.ලෙබනනයේ ජීවත්ව අකාලයේ මිය ගිය එවන් ධෛර්යමත් දරුවකු වූ මල් වෙළඳාම් කළ පාරිස් අල් කොදෝර්ගේ කතාව කතුවරයා උදෘත කොට දක්වන්නේ අපේ දරුවන්ට ධෛර්යය දීම උදෙසාය.
ඉහත මා දැක්වූ ප්‍රමිතිගතයන් මෙන්ම ඉතාම සරල බසකින් හා රූප යොදා ගනිමින් යොවුන් දරුවාගේ කියවීමේ රුචිය ඇතිවන අයුරින් කෘතිය නිර්මාණය කොටතිබේ.දරුවන් කියැවිමෙන් ඈත්ව ඩිජිටල් තිර මත සැරිසරන මෙවන් යුගයක ඔවුන්ගේ කියවීමේ රුචිය අවුළුවීමට අවැසි සියලුම අඩු වැඩියන්ගෙන් මෙම කෘතිය පරිපූර්ණ බව මවක ලෙස ඉතා සතුටින් පවසමි. ඔබේ දරුවාට මෙන්ම තවත් හිතාදර දරුවකුට දියහැකි ත්‍යාගයකි , "රෝසමල් කුමාරයා".
බෙහෙවින් තුති තිඹිරියාගමයන්ට..නැවත පාඨක ඇසින් කෘති දැකීමට හා ඒ පිළිබඳ සටහන් තැබීමට මගේ සිතිවිලි අවදිකළාට මෙන්ම, ඉතාම සීමිත පිටු ගණනක් සහිත කෘතිය තුළින් අතිමහත් සමාජ විවරණයක් කොට කළ සමාජ මෙහෙවරට .
COMMENTS