IMG-LOGO

ඊනියා විචාරකයන් යටපත් කළ පවුරු බැඳි රාජ්‍යය

 

‘රාජ කුමාරයෙක් නොවෙයි, මම ගමේ කොල්ලෙක්...!‘‘

ඉහත ප්‍රකාශය දකිත්ම සිනමාපටයක් සිහිගැන්වුණ ද, මෙය මුල් වරට පළ වන්නේ අද අපි ‘පුස්තක මස්තක‘යෙන් කතාකරන්නට බලාපොරොත්තු වන කෘතියෙහි ය. පොත නම් ‘ පවුරු බැඳි රාජ්‍යය‘ යි. ස්වතන්ත්‍ර නවකතාවකි. ලියා ඇත්තේ සදිසානිපුණ නිර්මාණකරුවෙක් වන භද්‍රජී මහින්ද ජයතිලක මහතාය. නවකතා, කෙටිකතා, පරිවර්තන, කවි, තිරරචනා, යොවුන් නවකතා, භයානක රසය දනවන නවකතා ආදී ශානර ගණනාවක කෘති ජයතිලකයන් පළ කර ඇත.

පවුරුබැඳි රාජ්‍යය චීන නවකතාවකි. මක්නිසාද යත් එහි පසුබිම සහ චරිත අයත්වන්නේ මකර දේශයට යි. එය ලොව මහ විස්මයන් අතරින් එකක් වන චීන මහා ප්‍රාකාරය බිහි වූ කාල පරිච්ඡේදය අළලා ඓතිහාසික චීනයේ දේශපාලන , සමාජ , ආර්ථික , සංස්කෘතික සංසිද්ධීන් උකහා ගනිමින් කළ නිර්මාණයකි. කතුවරයා ඉහත කී සමාජ ආර්ථික සංස්කෘතික හා දේශපාලන සංසිද්ධීන් ගෙනහැර දක්වා ඇත්තේ කතාකරුවාගේ පෙර ආත්මයක ජීවන අත්දැකීම් ලෙසිනි. එකී සංසාරික , ආත්මගත බැඳීම නැවත ආවර්ජනය වූයේ , ප්‍රතිනිර්මාණය වූයේ මෝහනය තුළිනි. විඥානගතව පැවැති පෙර භවයේ ජීවිත කතාව ප්‍රතිආවර්ජනයේදී ඔහු දේශීය චරිත කිහිපයක් සිය කතාවට එක්කරයි. රන්කොවුලි, පොඩිසඳා නොවන්නට නම් කියවන්නා වෙනම කල්පනා සයුරක ගිලී යනු ඇත.

චීන ඉතිහාසය රන් අකුරින් සනිටුහන් කිරීමට ප්‍රධාන වශයෙන් දායක වූවකුගේ අනුවේදනීය ඉරණම් කතාව මෙමගින් ඉදිරිපත් කරයි. නමුත් ඔහු වෙනත් චීන නිර්මාණයන් තුළින් මතුවන සටන්කාමී, හැඩි දැඩි චරිතයක් නොවී, බයාදු දාසයකුගෙන් ඇරඹී, නපුංසකයකුගෙන් කෙලවරවන, වාසනාව මත යැපෙන නෝංජල් පුද්ගලයකු බව පෙන්වීම කතුවරයා මෙම කෘතියේ සමබරතාවය රැකීමට ගත් උත්සාහයක් සේ හැඟේ.

චීන මහා ප්‍රාකාරය ගොඩ නැගීමට පෙර ක්‍රිස්තු පූර්ව 270 පසු කාලය තුළ චීනයේ ග්‍රාමීය ආර්ථිකය, සිරිත් විරිත් , මානව සම්බන්ධතා , සංස්කෘතික අංග , ආගමික විශ්වාසයන් , මානව නිදහස , දේශපාලන හා සිවිල් ක්‍රියාකාරකම් ඉතාමත් මැනවින් ඉදිරිපත් කිරීමට කතුවරයා විශාල හැදෑරීමක සහ පර්යේෂණයක යෙදී ඇති බව පෙනෙයි. විටෙක නොබෙල් සම්මානය දිනූ පර්ල් එස්. බක් ගේ ‘සරුබිම‘ නවකතා ත්‍රිත්වයටද සාම්‍යත්වයක් දරනු දැකිය හැකිය. ෂි යෑං නම් ප්‍රධාන චරිතය මුල් කර ගනිමින් මෙම කතාව ගොඩ නගා ඇත.

කතුවරයා ෂි යෑං ගේ දුක ,සතුට , කෝපය , ආදරය , ප්‍රේමය මුසු මනෝභාවයන් මනාව විවරණය කර ඇත. අනෙකුත් චරිතයන්ගේ මනෝභාවයන් ප්‍රකාශ කර ඇත්තේ, එකී චරිත ෂි යෑං දැක , ඔහු වටහාගත් අයුරිනි. එයට කතුවරයා බෞද්ධ දර්ශනය මුසු කරයි. චීනය කොන්ෆියුසියස් ආදී බෞද්ධ දර්ශනයන්ගේන් පොහොසත් රටකි.

මෙම කෘතිය සිංහල පාඨකයාට අඩුවෙන් ග්‍රහණය වූයේද, එසේත් නැතිනම් එවක සිටි ඊනියා විචාරකයන් වෙතින් හිතාමතාම අමතක කළේද යන්න ගැටලුවකි. මෑත කාලයේ පළවන නවකතා පරයා නැගෙන ප්‍රතිභාවක් මෙම කෘතියේ අන්තර්ගතය. මෙම කෘතිය සඳහා ඩී. ආර් විජේවර්ධන සම්මානය එකල හිමි වී ඇත. මෙම කෘතිය කියැවූ අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන් විසින් තමන් වහන්සේ කියැවූ හොඳ ම සිංහල නවකතාව මෙය බව ප්‍රකාශ කර ඇත. උන්වහන්සේ ලියූ පසුවදන මෙසේ ය.

‘‘භද්‍රජි මහින්ද ජයතිලක මහතා විසින් රැසැයුණු පවුරු බැඳි රාජ්‍යය කියැවීමි. මෙය අගනා කෘතියකි. චීනයේ බොහෝ පෙරැ රදළ බලය පැවැති කාලයේ ජීවිත තත්වය මෙය හෙළි කෙරෙයි. චීනයේ එක් කාල සීමාවෙක පැවැති ජන ජීවිතය කෙබඳු ද යන්න දක්වන මෙය එක් අතෙකින් කාල පරිච්ඡේදයෙක ඉතිහාසයෙකි. අනෙක් අතින් බිභත්ස, කරුණා, හාස්‍යාදි රසවලින් පිරුණු කාව්‍යයෙකි. මෙය සිංහල කතා සාහිත්‍යයේ උච්ච ස්ථානයක වැජැඹෙන ජීවිත චරිතයෙකි.‘‘



අදහස් (0)

ඊනියා විචාරකයන් යටපත් කළ පවුරු බැඳි රාජ්‍යය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 221 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 558 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site