(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
පොල් සොරකමකට හා මත්කුඩු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටි පුද්ගලයකු අද (30) හොරණ අධිකරණය තුළදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදි පලාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
 
මෙලෙස පලාගොස් ඇත්තේ අඟුරුවාතොට රෙමුනු මිටිගොඩ පදිංචි පියුම් රෂ්මික නැමැති 27 හැවිරිදි පුද්ගලයෙකි.
 
අඟුරුවාතොට අබගහගොඩ ප්‍රදේශයේ ඉඩමකින් පොල් ගෙඩි 8ක් සොරකම් කිරීම හා හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 20ක් ලඟ තබා ගැනීමේ චෝදනා යටතේ ඉකුත් 25 වැනි දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ සැකකරු අද (30) දක්වා රිමාන්ඩ් බාරයට පත් කර තිබිණි.