(ටී.කේ.ජී.කපිල )

 

කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ , විදුලි උපකරණ අලෙවිසැලක සේවය කරන සේවකයින් තිදෙනකු විසින් විදේශ මුදල් සහ විදේශීය මත්පැන් තොගයක් , ගුවන් තොටුපොළෙන් පිටකර , තම නිවෙස් කරා රැගෙන යෑමට තැත් කිරීමේ දී  රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

 

               

මොවුන් තිදෙනාගෙන් එක් අයෙකු 36 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා 28 හැවිරිදි දංඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙහි අනෙක් තැනැත්තිය රුග්ගහවිල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවකි.

 

මෙම විදේශ මුදල් තොගය සඟවා ගෙන තිබූ අතර  එම මුදල් තොගයේ වටිනාකම රුපියල් 12,98,757 කි.

 

මීට අමතරව ඔවුන්ගේ ගමන් මලුවල සගවා ගෙන රැගෙන යෑමට තැත් කළ විස්කි බෝතල් 6 ක වටිනාකම රුපියල් 29,034 කි.

 

මෙම විදේශ මුදල් සහ විදේශීය විස්කි බෝතල් 6 රාජසන්තක කළ අතර මෙම කාන්තාවට රුපියල් ලක්ෂයක් සහ දෙහිවල ප්‍රදේශයේ පුද්ගලයාට රුපියල් 50,000 දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළේය.