(චන්දන ප්‍රනාන්දු)           

දන්කොටුව මෝරුක්කුලිය ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබූ තියුණු මුවහත සහිත කඩුවක් සමඟ ගරාජයේ හිමිකරුව සැකපිට අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි.                                                                                                                         
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරුක්කුලියේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.
                                                           
පොලිසිය ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම කඩුව සොයාගත් බවත් මෙම කඩුව සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් ගරාජයේ හිමිකරු කළ පරස්පර ප්‍රකාශ හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.
 
අවට ඇති කැලය පිරිසිදු කිරීම සඳහා මෙම කඩුව ගරාජයේ තබාගෙන සිටි බව සැකකරු පොලිසියට පවසා ඇත. 
                                                                                                 
සැකකරු හමුදා සේවයේ සිට වැඩ තහනමට ලක්ව ඉන් ඉවත් කරන ලද අයෙක් බවත් මෙයට වසරකට පමණ පෙර බලපත් නැතිව තුවක්කු දෙකක් ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවත් පොලිසිය කීය.
                                                                                                                           
සැකකරුව හා කඩුව මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.