පල්ලෙවෙල පූගොඩ ප්‍රදේශයේ කොස් හා දෙල් ගස් ගණනාවක් එකවර  මිය යාමට හේතුව අනාවරණය කර ගැනීමට පේරාදෙණිය උද්‍යාන භෝග පර්යේෂණ ආයතනයේ සහාය ලබා ගැනීමට පල්ලෙවෙල ගොවිජන සේවා ප්‍රාදේශීය කාර්යාලය පියවර ගෙන තිබේ.

පූගොඩ ප්‍රදේශයේ ඉතා හොදින් පල දැරූ දෙල් ගස් කිහිපයක් මාස දෙකක පමණ කාලයක සිට මැලවී ගොස් මේ වනවිට සම්පූර්ණයෙන්ම මැරී ගොස් ඇත.   ඒ ආසන්නයේම වූ කොස් ගස් කිහිපයක් ද මේ වනවිට මැලවී මිය යමින් පවතී. මෙම කොස් ගස්වල අතු රිකිලි වියලී ගොස් ඇති අතර පැසෙමින් තිබූ කොස් ගෙඩි හා පොලොස් ගෙඩි තවමත් තරමක්  දුරට කොල පැහැයෙන් යුතුව දැකිය හැකිය.

මේ ප්‍රදේශයේ තවත් ස්ථාන කීපයක මේ ආකාරයෙන් කොස් හා දෙල් ගස් මිය යාමේ තත්ත්වයක් පිළිබදව වාර්තාවී ඇති අතර මියගිය ගස් ආසන්නයේ පිහිටි ඒ හා සමාන කිරි වෑහෙන ගස්වල කොළ මේ වනවිට කහ පැහැ ගැන්වී තිබීම ඒවාටද මේ රෝගය පැතිරීමේ ලක්ෂණයක් විය හැකි බවට ජනතාව බිය පල කරති.