නිමල් ප්‍රේමචන්ද්‍ර

කොබෙයිගනේ - සුභ සෙතගම ගම්මානයේ මහ වැවේ දිය නාමින් සිටි මවක් හා දියණියක් දියේ ගිලී මිය ගොස් ඇතැයි කොබෙයිගනේ පොලිසිය පවසයි.

කොළඹ බොරැල්ල ප්‍රදේශයේ සිට කොබෙයිගනේ ප්‍රදේශයේ රැකියාව සඳහා පැමිණ දැනට සුභ සෙතගම ගම්මානයේ තාවකාලිකව පදිංචිව සිටින 42 හැවිරදි තිදරු මවක් වන කුමාරසාමි චිත්‍රාංගනී සහ ඇගේ බාල දියණිය වන ආර්.කේ.ඒ. මානවී හංසිකා නැමැති  10 හැවිරිදි දැරිය මෙලෙස මියගොස් ඇත.

මියගිය දැරිය කොබෙයිගනේ පහළ බලදොර විදුහලේ 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි. අද (13) සුභසෙතගම මහ වැවේ නාන මංකඩවෙත පැමිණි තරුණයෙකු මියගිය දෙදෙනාගේ මළ සිරුරු වැවේ පාවෙනු දැක ඒ බව පොලිසියට දන්වා තිබේ.

කොබෙයිගනේ පොලිසියේ නිලධාරීන් හා කොබෙයිගනේ හදිසි මරණ පරීක්‍ෂකවරයා එම ස්ථානයට පැමිණ මළ සිරුරු වැවෙන් ගොඩගෙන පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා නිකවැරටිය මූලික රෝහලට යවා ඇති බව කොබෙයිගනේ පොලිසිය කියයි.