දොම්පේ, යට්ටෝවිට, බෙලිගහ පාරේ දියමංකඩේ දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා ක්‍රියාත්මක කළ කිමිදුම් මෙහෙයුමකට අනුව අද(01) එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගත් බව නාවික හමුදාව පවසයි.

යට්ටෝවිට දියමංකඩේ පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව දොම්පේ පොලිසිය විසින් නාවික හමුදා මුලස්ථානය වෙත ලද දැනුම් දීමකට අනුව බටහිර නාවික විධානය‍ට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් එම ස්ථානය වෙත පිටත් කර යැවීමට කටයුතු කර තිබිණි.

මහත් පරිශ්‍රමයක් දරා දිය යට සැඟව තිබූ එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගත් බව නාවික හමුදා නිලධාරීහු පැවසූහ.

මියගිය  පුද්ගලයා දොම්පේ, යට්ටෝවිට තිත්තපත්තර පදිංචි 19 හැවිරිදි තැනැත්තෙකි. 

වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා මළ සිරුර දොම්පේ පොලීසිය වෙත භාර දී ඇත.

(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)