ලංකාදීප පුවත්පත 12 වැනි වරටත් ඓතිහාසික තන්තිරිමලේ රජ මහා විහාරස්ථානයේ පොසොන් ආලෝක පූජාව ජුනි එක සහ දෙක දිනයන්හි පවත්වයි.

ආලෝක පූජාවට  සමගාමීව විශේෂ ආගමික වතාවත් සිදු කැරෙන බව තන්තිරිමලේ රජ මහා විහාරාධිපති උතුරු හා නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝ නායක තන්තිරිමලේ චන්දරතන නාහිමියෝ පවසති.

තන්තිරිමලේ රජ මහා විහාරයට මෙවර පැමිණෙන වන්දනාකරුවන් සඳහා විශේෂ සේවාවන් සැපයීමට පොසොන් උත්සව කමිටුව මගින් විධි විධාන යොදා තිබේ.

ජුනි පළමු වැනි දා (සඳුදා) රාත්‍රී ලංකාදීප පොසොන් ආලෝක පූජාව විවෘත කිරීමෙන් පසුව විශේෂ බුද්ධ පූජා වැඩසටහනක් ද, පොසොන් බැති ගී ප්‍රසංගයක් ද පැවැත්වේ.

මෙම වැඩසටහන් ජාතික රූපවාහිනිය ඔස්සේ ද සජීවීව විසිරුවා හැරීමට නියමිතය.

එදින රාත්‍රිය පුරා ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් ද, ඔසු පැන් හා සිසිල් පැන් දන්සල් ඇතුළු ආහාරපාන ආදිය සංග්‍රහ කිරීම ද  සිදු වන බව චන්දරතන නා හිමියෝ පැවසූහ.

ජුනි දෙවැනි දා (අගහරුවාදා) ද ලංකාදීප ආලෝක පූජාව පැවැත්වේ.

තන්තිරිමලේ වැඳපුදා ගැනීමට පැමිණෙන ජනතාව සඳහා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා උතුරුමැද මගී ප්‍රවාහන අධිකාරියේ මෙහෙයවීමෙන්  අනුරාධපුරයේ සිට විශේෂ බස් රථ 30ක් යොදවා ඇත.

තන්තිරිමලේ පූජා භූමිය අවට මෙවර විශේෂ පොසොන් කලාපයක් ද පැවැත්වේ.