ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ  7 වැනි ණය වාරිකය ලැබෙයිද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  නියෝජිත පිරිසක් ඉකුත් සතියේ මෙරටට පැමිණ රජය, විපක්ෂය ඇතුළු පාර්ශ්ව කිහිපයක්ම හමුවූහ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති සාකච්ඡාවට ආචාර්ය හර්ෂ ද සිල්වා, හර්ෂණ රාජකරුණා, කබීර් හෂීම් සහ මුජිබර් රහුමාන් ඇතුළු සමගි ජන බලවේගයේ පිරිසක් එක්ව සිටියහ.

ලබන වසරේ මාර්තු මාසයේදී මෙම ණය වැඩසටහන අවසන් වීමෙන් අනතුරුව මෙරට ආර්ථිකයට ඔරොත්තු දීමේ හැකියාවක් පවතීදැයි විපක්ෂ නායකවරයා විමසා සිටියේය. මූල්‍ය අරමුදලේ කණ්ඩායම් ප්‍රධානී ආචාර්ය එවන් පැපර්ජියෝ සඳහන් කළේ එය තීරණය වන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේ කැපවීම මත බවයි. මෙරට ආර්ථිකය යම් ස්ථාවරත්වයක පැවතියද, ජනතාවගේ සහ රජයේ කැපවීම තවදුරටත් පෙන්නුම් කළ යුතුව ඇති බවද ඔහු කීවේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාමට හැකිවී ඇති අතර එම ස්ථාවරත්වය මත රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යාම රජයේ අරමුණ බවයි. සියලු‍ ආර්ථික ජයග්‍රහණ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට යෙදවීම රජයේ අපේක්ෂාව බවද පැවසීය. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමටත්, විදේශ ආයෝජන කැඳවා ගැනීමටත් ගත් පියවර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්විය. තවත් සමාලෝචන දෙකක් ඉතිරිව ඇති බවත්, නව වැඩසටහනකට යනවාද නැද්ද යන්න තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකා රජය බවත් ඔවුහු පැවසූහ.

මෙවර සංචාරයේ විශේෂත්වය වූයේ මූල්‍ය අරමුදල රජය සමඟ කාර්යමණ්ඩල එකඟතාව තහවුරු වූ බවක් ප්‍රකාශ නොකිරීමයි. මීට පෙර ලබාදුන් ණය වාරික හයේදීම නියෝජිත පිරිසේ සංචාරය අතරතුරදීම ණය මුදල ලබාදීම තහවුරු කළද, මෙවර එවැන්නක් සිදු නොවීය. ඉන්ධන සහනාධාර ඉවත් කර මිල ඉහළ නැංවීම, රාජ්‍ය සේවය ප්‍රතිසංවිධානය කිරීම සහ ශ්‍රීලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය වැනි කොන්දේසි ක්‍රියාත්මක කිරීමට රජය අකමැත්ත පළකිරීම මීට හේතු වී තිබේ. ඒ අනුව 7 වැනි සහ 8 වැනි ණය වාරික ලැබීම පිළිබඳ අවිනිශ්චිතතාවක් මතුව ඇත.

ණය වැඩසටහන අවසන් වූ පසු යළිත් ගිවිසුමකට නොඑළඹෙන බව රජය පවසයි. දැනට ඇති ගිවිසුම ස්වයංක්‍රීයව අවසන් වූ පසු තමන්ගේම ක්‍රමයකට ආර්ථිකය හැසිරවීමට රජය තීන්දු කර ඇති බව මීට දෙසතියකට පෙරිඉරිදා ලංකාදීප’ ප්‍රධාන පුවතින්ද හෙළි කෙරිණි. ඡන්දදායකයන්ගෙන් සහ සහාය දක්වන කණ්ඩායම්වලින් එල්ලවන බලපෑම් මත රජය මෙම තීරණයට එළැඹ තිබේ.

සෞදියේදී මරණ දඬුවම නියම වූ තරුණයා බේරාගැනීමේ මෙහෙයුම

සෞදි අරාබියේ රැකියාවක නියුතුව සිටියදී රාජ්‍ය මාධ්‍ය ඔස්සේ කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන මරණ දඬුවම නියම වූ සිවරාසා අනෝජන් නැමැති තරුණයාගේ ජීවිතය බේරාගැනීමට රජය සහ විපක්ෂය මැදිහත් වෙමින් සිටියි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ පිළිබඳව සාකච්ඡා කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවීය. එහිදී උපදෙස් දුන්නේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සෞදි රජුගෙන් ඉල්ලීමක් කර, තරුණයාට සමාව ලබාගෙන ලංකාවට පිටුවහල් කරගැනීමට හෝ දඬුවම ලිහිල් කරගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි.

”‍සිද්ධිය කුමක් වුවත් ඒ අපේ රටේ තරුණයෙක්. දෙමාපියන් ඉන්න තත්ත්වය ගැනත් හිතලා අපි කටයුතු කරන්න ඕනෑ...”‍ යැයි ජනාධිපතිවරයා කීවේය.

පවුලේ අය අභියාචනය සඳහා දැරූ වියදම් ආණ්ඩුවෙන් ලබාදීමට සාකච්ඡා කළ බව විදේශ කටයුතු ඇමැති විජිත හේරත් පැවසූ අතර, ඉදිරියට දැරීමට සිදුවන වියදම් සඳහාද රජයෙන් ක්‍රමවේදයක් සකසන ලෙසත්, පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සහායද ලබාගන්නා ලෙසත් ජනාධිපතිවරයා ඇමැතිවරයාට උපදෙස් දුන්නේය.
විජිතට සෞදි විදේශ ඇමැති හමුවිය හැකිද?

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අතරවාරයේ සෞදි විදේශ ඇමැති හමුවී අනෝජන් ගැන කතා කරන බව විජිත හේරත් ඇමැතිවරයා ප්‍රකාශ කර තිබිණි.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ඊට දැක්වූයේ වෙනස් අදහසකි. ”‍එයාට ඕන දවස්වල ගිහින් ඒක කතා කරන්න බෑ. කලින් සැලසුම් කරගෙන සෞදි විදේශ ඇමැති ඉන්න දවසක යන්න ඕන. නැතුව හිතුමතේට කතා කරන්නේ කොහොමද?”‍ යැයි රනිල් කීවේය.

අතරතුර, 22 වැනි සංශෝධනයේදී සජිත් ප්‍රේමදාස දැක්වූ ඇල්මැරුණු ස්වරූපය නිසා එය සම්මත වූ බවට සජබ මන්ත්‍රීවරුන්ගෙන්ම දැඩි විවේචන එල්ල වන බවද රනිල් හමුවේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම පවසා තිබිණි.

”‍දිය ජනනි”‍ විවෘත කර ජනාධිපති කළ ප්‍රශංසාව

දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදිකළ ”‍දිය ජනනි”‍ පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිටම කැපවීමෙන් කටයුතු කළ හිටපු විදුලිබල ඇමැති කුමාර ජයකොඩිට එය විවෘත කිරීමේ අවස්ථාව ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

”‍ජයකොඩි මේකට හුඟක් මහන්සි වුණා. ඇමැතිකමෙන් ඉල්ලා අයින් වුණත් පැත්තකට වෙලා හිටියේ නෑ...”‍ උත්සවයෙන් පසු පැවැති තේ පැන් සංග්‍රහයේදී ජනාධිපතිවරයා පැවසීය. ලබන වසර අවසන් වන විට විදුලිය සම්බන්ධ ගැටලු‍ රැසක් විසඳීමට හැකිවන බවද ඔහු වැඩිදුරටත් කීය.

එහිදී වසන්ත සමරසිංහ ඇමැතිවරයා සඳහන් කළේ, සූර්ය බලශක්තිය අඩාළ කිරීමට රජය උත්සාහ කරන බවට විපක්ෂය කළ චෝදනා බොරු වී ඇති බවයි. ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පැවසුවේ, ”‍ඕවට උත්තර දෙන්න ගියානම් අපට මේ අවුරුදු දෙකේ කරන්න වෙන්නේ උත්තර දෙන එක විතරයි. අපිට වැඩක් කරන්න වෙන්නේ නෑ...”‍ යනුවෙනි.

22 වැනි සංශෝධනයට එරෙහිව පොල්දූව හන්දියේ සජබ විරෝධය

ඉදිරි පාර්ලිමේන්තු සතියේ විපක්ෂයේ කටයුතු සාකච්ඡා කිරීමට සජබ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්විය. 22 වැනි සංශෝධනයට එරෙහිව 24 වැනිදා උදෑසන පොල්දූව මංසන්ධියේදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යෝජනා කළේය.

මන්ත්‍රීවරුන්ගේ තීරණය වූයේ ”‍22 එපා - ඒකාධිපති ගමනක්”‍ යනුවෙන් සටහන් කළ කළු පැහැති නළල් පට පැළඳ විරෝධතාවට එක්වීමයි. ජගත් විතාන මන්ත්‍රීවරයා සෙනඟ කැඳවීම සඳහා බස් රථ 25ක් ලෑස්ති කර ඇති බව පැවසීය. ”‍මාලිමාව නිශ්ශබ්දයි, හරිනි ඇතුළු පිරිස වචනයක්වත් කතා කර නෑ. අපි හොඳ විරෝධයක් පෙන්වමු...”‍ යැයි සජිත් කීවේය.

24 වැනිදා උදෑසන මහා වර්ෂාව මධ්‍යයේ වුවද විශාල ජනකායක් පොල්දූව මංසන්ධියට රැස්වූහ. මෑත කාලයේ මෙවැනි විශාල ජන සහභාගීත්වයක් දුටුවේ නැතැයි සුජිත් සංජය පෙරේරා සහ මුජිබර් රහුමාන් යන මන්ත්‍රීවරු සන්තෝෂයෙන් අදහස් දැක්වූහ.

”‍සටන් මධ්‍යස්ථානය”‍ ට සිදු වූ දේ

22 වැනි සංශෝධනයට එරෙහිව විපක්ෂයේ පොදු සංවිධාන එකතු කරගනිමින් ”‍සටන් මධ්‍යස්ථානය”‍ නමින් අලු‍ත් සංවිධානයක් ආරම්භ කිරීමට ජානකි හෝටලයේදී සාකච්ඡාවක් පැවැත්විණි. සජබයෙන් ඊට මුජිබර් රහුමාන් සහ අජිත් පී. පෙරේරා සහභාගී වූහ.

කෙසේ වෙතත්, එවැනි රැස්වීමකට යාමට පක්ෂ අනුමැතියක් නැතැයි සජබ අභ්‍යන්තරයෙන්ම විරෝධයක් මතුවිය. සජබය එකතු කරන සෙනඟ මැදට දෙතුන් සියයක් අරන් ඇවිත් ‘තාරකාවන්‘ වීමට කාටවත් ඉඩ නොදෙන බවත්, පැමිණෙන්නේ නම් එජාපයට පමණක් අවසර ඇති බවත් මන්ත්‍රීවරු පැවසූහ. මෙම මතභේදය නිසා ”‍සටන් මධ්‍යස්ථානයේ”‍ සහයෝගය නොලැබුණු අතර, විරෝධතාව සජබ තනි උද්ඝෝෂණයක් ලෙස පැවැත්වීමට සිදු විය.

රෝහිතගේ උපන්දිනයට ආ මහින්ද සහ අර්චුනා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ උපන්දිනය යෙදී තිබුණේ ඉකුත් සතියටය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැමිණෙන ආරංචියට විශාල පිරිසක් පැමිණ සිටි අතර, ඇතැම්හු දණගසා ආචාර කළහ.

මහින්ද අසලින්ම වාඩි වී සිටි දොස්තර රාජිත සේනාරත්න සහ උතුරේ මන්ත්‍රී රාමනාදන් අර්චුනා මෙම ප්‍රතිචාරය දෙස බලා සිටියහ. ”‍මොන තනතුරු දැරුවත් මහින්ද රාජපක්ෂ හැමදාම ජනතාව අතර සිටි කෙනෙක්. යුද්ධය ඉවර කළාටයි, කළ සංවර්ධනයටයි මිනිස්සු මෙහෙම ගෞරව කරන්නේ...”‍ රාජිත කීවේය.

කේක් කපන අවස්ථාවේදී රෝහිත කේක් කැබැල්ලක් මහින්දට කැවීමට සැරසෙද්දී ”‍මට කලින් නෝනට කවන්න”‍ යැයි මහින්ද පැවසීය. ”‍ඒ කාලේ රෝහිත අයියා තමයි මට මුලින්ම කොටියා කොටියා කීවේ...”‍ යැයි අර්චුනා සිනාසෙමින් කියද්දී රෝහිත ඔහුටද කේක් කැබැල්ලක් කැවීය.

එහිදී මහින්දට පසුව වැඩිම ජන ආකර්ෂණයක් ලැබුණේ අර්චුනා මන්ත්‍රීවරයාටය. ඔහුගේ සිංහල කතා විලාසය නිසා ජනතාව ඔහු සමඟ කතා කිරීමට පොර කෑහ. ”‍කළුතරින් ඡන්දෙ ඉල්ලු‍වොත් ඔයා තමයි පළමුවැනියා වෙන්නේ...”‍ රාජිත කියද්දී අර්චුනා සිනාසෙමින් ස්තූති කළේය.

එම සාදයේදී විපක්ෂයේ බෙදීම ගැනද දීර්ඝ ලෙස කතාබහ විය. රජයේ ජනප්‍රියතාව කඩා වැටෙද්දී විපක්ෂය එකමුතු නොවීම රජයේ ශක්තිය වී ඇති බවත්, මීට වඩා බුද්ධිමත්ව පොදු වැඩපිළිවෙළකට අවතීර්ණ විය යුතු බවත් මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.

රිමාන්ඩ් භාරයේ සිට නාමල් පාර්ලිමේන්තුවට

රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට කැඳවාගෙන එන ලද්දේ බන්ධනාගාර බස් රථයෙනි. මෙරටින් ඩොලර් බිලියනයක් පිටකර ඇතැයි හෙළිදරව් කරමින් ඔහු ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළේය.

පසුදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු කටයුත්ත සඳහා ඩී.වී. චානක, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් පැමිණ සිටියහ. අනුරාධපුර රැලිය නිසා බිය වී ආණ්ඩුව නාමල්ව සිර කිරීමට හදන බව ජොන්ස්ටන් කී අතර, ඊළඟ ඡන්දයේදී අනුර කුමාරට ඇති ලොකුම තර්ජනය නාමල් බව ඩී.වී. චානක පැවසීය.

එහිදී සාගර කාරියවසම් පැවසුවේ අම්පාර බිංතැන්නපත්තුව සමුපකාර ඡන්දයෙන් පොහොට්ටුව ජයගත් බවත්, මාලිමාවට ආසන 29ක් ලැබෙද්දී සජබයට ලැබුණේ එක ආසනයක් පමණක් බවත්ය. ”‍ඔව්වා ගණන් ගන්න එපා, අපේ වැඩ ටික කරගෙන යමු...”‍ යැයි කියමින් නාමල් අධිකරණයෙන් පිටව ගියේය.

එජාපයේ ”‍හරිත පත්‍රිකාව”‍ සහ ජේ.ආර්. සමරුව

ජේ.ආර්. ජයවර්ධනගේ 120 වැනි ජන්ම සමරුව නිමිත්තෙන් උත්සව කිහිපයක් පැවැත්විණි. මල් පාරේ පැවැති ප්‍රධාන උත්සවයේදී රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි තරුණ පරපුරට මුලිකත්වය දී තිබූ අතර, ජේ.ආර්. පිළිබඳ දෙසුම් පැවැත්වූයේද තරුණ තරුණියන් විසිනි.

එක්සත් ජාතික පක්ෂය වසර 20ක ඉලක්කයක් සහිතව ”‍හරිත පත්‍රිකාව”‍ ප්‍රතිපත්ති රාමුව එළිදැක්වීමද මෙහිදී සිදු විය. රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ථෙරවාදී සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක්”‍ හඳුන්වාදීම සහ ආසියාන් සංවිධානයට ඇතුළත් වීම ඇතුළු යෝජනා රැසක් ඊට ඇතුළත්ය. අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන ආදී ක්ෂේත්‍ර පිළිබඳව සංවාදයට ඉඩ තබා ඇති අතර, අංගසම්පූර්ණ කෙටුම්පතක් සකස් කිරීමට මෙය මූලික වනු ඇත.

මේ පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීමේ වගකීම හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනික් චින්තක කරුණාරත්නට සහ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්නට රනිල් විසින් පවරනු ලැබීය.

එජාප 80 වැනි සංවත්සරය සහ රනිල්ගේ අතීත ආවර්ජනය

80 වැනි සංවත්සරය නිමිත්තෙන් ගම් මට්ටමින් ආගමික ස්ථාන කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට එජාපය සැලසුම් කර ඇත.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු සම්බන්ධයෙන් මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ මැදිහත්වීම ගැන රනිල් ප්‍රසාදය පළ කළේය. ”‍එතුමා මගේ නීති ගුරුවරයෙක්. 72 සිට 77 දක්වා මම නඩු වලට පෙනී හිටියා. ජේ.ආර්.ගේ මල්ලී වන එම්.ඩබ්ලිව්. ජයවර්ධන, බර්නන් විජේතුංග, එම්. තිරුචෙල්වම් වැනි ජ්‍යෙෂ්ඨයන් එක්ක මම වැඩ කළා...”‍ යැයි රනිල් අතීතය සිහිපත් කළේය.

පසුගිය සතියේ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති සැසියටද රනිල් සහභාගී වූ අතර, සිංගප්පූරුවේ හිටපු විදේශ අමාත්‍ය ජෝර්ජ් යෝද ඊට එක්ව සිටියේය.

BRICS  සමුළුව ලංකාවට අහිමි වූ හැටි

ගිය සතියේ නවදිල්ලි නුවර පැවැති බ්‍රික්ස් සංවිධානයේ රැස්වීමට ශ්‍රී ලංකාවට නිල ආරාධනාවක් ලැබී නොතිබූ අතර සහභාගීත්වයක්ද නොවීය.

මේ පිළිබඳව ජී.එල්. පීරිස් මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කරමින් කියා සිටියේ, 2024 දී රනිල් වික්‍රමසිංහ පූටින් හමුවූ අවස්ථාවේ ලංකාව BRICS  එකට එකතු වීමට කැමැත්ත පළ කළ බවත්, ඒ අනුව පූටින් ලිඛිතව ආරාධනා කළ බවත්ය.

නමුත් ආණ්ඩුව මාරු වීමෙන් පසු 2024 රුසියාවේ පැවැති බ්‍රික්ස් සමුළුවට ජනාධිපති, අගමැති හෝ විදේශ ඇමැති සහභාගී වූයේ නැත. පළාත් පාලන මැතිවරණය නිසා විදේශ අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය පමණක් යැවීම ගැන රුසියානු පාර්ශ්වය කනගාටු වූ බවත්, පසුපස හඹා නොයාම නිසා New Development Bank  මගින් ලබාගත හැකිව තිබූ මූල්‍ය ප්‍රතිලාභ ලංකාවට අහිමි වූ බවත් ජී.එල්. පෙන්වා දුන්නේය. වියට්නාමය, මැලේසියාව සහ තායිලන්තය වැනි රටවල් හවුල්කාර සංවිධාන ලෙස එක්වුවද ලංකාවට එම අවස්ථාව අහිමි විය.

එක්සත් විපක්ෂයේ ප්‍රාදේශීය රැලි සහ ජී.එල්.ගේ සමාජ සත්කාර

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ හෝමාගම රැලිය සාර්ථකව පැවැත්වූ අතර, ඉදිරියට කළුතර සහ මාතර ප්‍රාදේශීය රැලි පැවැත්වීමට නියමිතය.

මේ අතර, මහාචාර්ය ජී.එල්. පීරිස් සිය පෞද්ගලික මුදලින් සහ පොත්වලින් ලැබෙන කතෘභාග  එකතු කරමින් අරමුදලක් පිහිටුවීමට පියවර ගෙන ඇත. නීති පීඨය සහ නීති විද්‍යාලයේ පර්‌යේෂණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් යොදවන අතර, ඔක්තෝබර් 01 වැනිදා පැවැත්වෙන උත්සවයට විශ්වවිද්‍යාල උපකුලපති, නීති පීඨාධිපති සහ නීති විද්‍යාලයේ විදුහල්පති සහභාගී වීමට නියමිතය.

රාජ දූත