
පාන් යනු මෙරට දේශපාලනය තුළ විවාදාත්මක වචනයකි. 1970 දී සිරිමාවෝ මැතිනිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් මුලින් සැලසුම් කළේ කොහෙන් හෝ ජනතාවට හාල් ගෙනවිත් දෙන බව පැවසීමටය. මෙය දැනගත්, මැතිනියට ඉතා හිතවත් පත්‍ර කලාවේදී හික්කඩුවේ ශ්‍රී ලාල් ලියනගේ මැතිනිය ඇමතීය.
“කොහෙන් හරි කියන්න එපා. අපි හඳෙන් හරි හාල් ගෙනත් දෙනවා කියන්න.”
අන්තිමේදී වැඩේ නැගලා ගියේය. හඳෙන් හරි හාල් ගෙනත් දෙන පොරොන්දුව දේශපාලන ඉතිහාසයට එක් වූයේ ඒ අයුරිනි. එහෙව් මැතිනියගේ දියණිය වූ චන්ද්‍රිකා 1994 දී පොරොන්දු වූයේ හාල් ගැන නොව පාන් ගැනය.
චන්ද්‍රිකාගේ දේශපාලන පොරොන්දුව වූයේ රුපියල් 3.50 ට පාන් දෙන බවයි. ඡන්දය දිනූ පසු කියූ පරිදිම ටික කලක් රු. 3.50 ට පාන් දුන්නද, ඊට පසු පාන් මිල ඉහළ ගියේ හිටු කියාය.
පාන් ගැන කියන විට එහි ලෝක ආරම්භය කෙසේ සිදුවීදැයි සොයා නොබැලුවහොත් එය බලවත් අඩුපාඩුවකි.
ඉතිහාසයේ සඳහන් පරිදි පාන් ප්‍රථමයෙන් ආහාරයට ගන්නා ලද්දේ මීට වසර 8000 කට වඩා ඈත අතීතයේ ස්විට්සර්ලන්තයේ විල් අසල ජීවත් වූ ආදි මානවයන් විසිනි. ඔවුන් ධාන්‍ය වර්ග කුඩු කරගන්නා අයුරුත්, ඒවා ජලය සමග මිශ්‍ර කර පැතලි ගල් මත තබා පුලුස්සා ගන්නා අයුරුත් දැන සිටි බව ඉතිහාසඥයන්ගේ සටහන්වල ඇත.
එමෙන්ම මුල්ම පාන් ගෙඩිය පිපෙන්නට ඇත්තේ රොටියක් තැනීම සඳහා පිටි සකස් කර තිබියදී, සුළඟේ පාවී ඇවිත් ඒ මත පතිත වූ වල් ඊස්ට් ස්වල්පයක් නිසා වන්නට ඇතැයි ද විශ්වාසයක් පවතී. ඉන් අනතුරුව මිසර ජාතිකයන් විසින් පූර්ණ වශයෙන් පිපුණු පාන් පිලිස්සීම බහුලව සිදු කරන ලදී.
ක්‍රිස්තුන් වහන්සේ ජීවත් වූ සමයේ පලස්තීනයේ සියලුම නගරවල අලෙවිය සඳහා පාන් පිලිස්සූ බේකරි තිබී ඇත. ක්‍රි.පූ. 600 වන විට පාන් පිලිස්සීමේ රහස ග්‍රීසිය පුරා පැතිර ගොස් තිබූ අතර, දක්ෂ බේකරිකරුවන් බවට පත් වූ ඔවුහු විවිධ ස්වරූපයේ පාන් වර්ග 72 ක් පමණ සෑදූ බව ඉතිහාසයේ සඳහන් වේ.
අද දකින බේකරිවල මුල් ආකෘතිය සැකසීමේ ගෞරවය හිමිවන්නේ රෝමන්වරුන්ටය. එකල ඔවුන්ගේ බේකරිවල පාන්පිටි අනන යන්ත්‍ර පවා තිබී ඇත.
එමෙන්ම 18 වැනි සියවසේ එංගලන්තයේ විසූ සැන්ඞ්විච් සාමිවරයා, පාන් පෙති අතරට මස් කැබැල්ලක් තබා සකස් කරන ලෙස සිය මෙහෙකරුවෙකුට අණ කළ අතර, වර්තමාන සැන්ඞ්විච්වල මූලාරම්භය එසේ සිදු විය.
පාන් ලෝකයේ විවිධ රටවල විවිධ නම්වලින් හැඳින්වේ. මෙක්සිකෝවේ ‘ටොටිල්ලා’ නමින්ද, ඉන්දියාවේ ‘පූරි’ නමින්ද හැඳින්වෙන්නේ පාන්ය. ස්කොට්ලන්තයේ ‘ස්කෝන්’ නමින් හැඳින්වෙන පාන්, රුසියාවේ හැඳින්වෙන්නේ ‘සොල්දාත්ස්කි’ යන නමිනි.
පාන් සහ දේශපාලනය කෙතරම් ඉතිහාසගත දැයි කිවහොත්, රෝමන්වරු තම ජනගහනයෙන් අඩක් පාලනය කර ඇත්තේ ඔවුන්ට සුදු පාන් කන්නට දීමෙන් බව තහවුරු වෙයි.
පාන් සහ දේශපාලනය කෙතරම් ඉතිහාසගත දැයි කිවහොත්, රෝමන්වරු තම ජනගහනයෙන් අඩක් පාලනය කර ඇත්තේ ඔවුන්ට සුදු පාන් කන්නට දීමෙන් බව තහවුරු වෙයි.
1505 දී කොළඹට ගොඩබට යුරෝපීය ජාතික ලොරෙන්සෝ ද අල්මේදා ඇතුළු පිරිස පාන් කමින් වයින් පානය කරනු දුටු සිංහලයෝ, “තිරුවානා ගල් කමින් ලේ බොන මිනිසුන් පිරිසක් වෙරළට ගොඩබැස ඇතැයි” රජුට සැල කළ බව ඉතිහාසය අපට මතක් කර දෙයි.
මාක්ස්වාදයේ පියා වූ කාල් මාක්ස් දේශනා කළ දර්ශනය තුළ මිනිසාගේ ප්‍රාථමික අවශ්‍යතාව පාන් පෙත්තක් සහ ගැහැනියක් බව වමේ ඇත්තන්ට තවමත් අමතක නැත.
ඒත් දේශපාලන ලෝකයේ ආන්දෝලනාත්මක කතාව එය නොවේ. පාන් ගෙඩිය හා පොදු ජනතාව අතර සම්බන්ධය කොතෙක්දැයි පෙන්වා දෙන තවත් රසවත් කියමනක් ඉතිහාසයට එක් කර ඇත්තේ ප්‍රංශයේ මාරි ඇන්ටනෙට් බිසවය. ඒ, කන්නට පාන් නැතැයි කියමින් උද්ඝෝෂණය කළ පීඩිත ජනතාවට “පාන් නැත්නම් කේක් කාපල්ලා” යි කළ ඓතිහාසික ප්‍රකාශයයි.
1971 සහ 1989 දී පාන් පෙත්ත ප්ලේන්ටිවල පොඟවා කමින් කුසගින්න නිවාගත් පීඩිත ජනතාව එම දුකින් මුදවා ගැනීම කැරැල්ලේ අරමුණක් වූ බව එකල ජවිපෙ නායකයන් පවසා තිබුණි. මෙවර මාලිමාවෙන් පිළිසරණක් නොලැබූ ජනතාව වත්මන් ආණ්ඩුවට සාප කරන්නේද තමන් සටන මෙහෙයවන්නේ ප්ලේන්ටියේ පාන් කෑල්ලක් පොඟවා කමින් බව කියමින් නොවේ ද?
1971 සහ 1989 කැරලිවලදී ඔවුන්ගේ මේ විමුක්ති අරගලය, ආණ්ඩුව මෙන්ම ඊට සමගාමී ජනසන්නිවේදන මාධ්‍ය විසින්ද නිර්වචනය කරන ලද්දේ ත්‍රස්තවාදය වශයෙනි. ජනතාව වෙනුවෙන් සටන් වදින විප්ලවවාදියා පොලිසියට අල්ලා දෙන එකම පුරවැසි ප්‍රජාව ශ්‍රී ලාංකිකයන් විය යුතුය. එහිදී විප්ලවවාදියා හැඳින්වූයේ ත්‍රස්තවාදියා ලෙසය.
ඊට පසු තත්ත්වය වෙනස් විය. දේශපාලන කරලියේදී පාන්පිටි කෙලින්ම ත්‍රස්තවාදයක් ලෙස නිර්වචනය වූ අතර, දොස්තරලාගේ පැත්තෙන් පාන් කෑම ලෙඩ ගොඩකට මුල බව සඳහන් විය.
1971 කැරැල්ලට පෙර, 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බලයට පත් වූයේ සලාකයට හාල් සේරු දෙකක්ම දෙන බව පවසමිනි. මහපොළොවේ නැත්නම් හඳෙන් හෝ හාල් ගෙනැවිත් දෙන බව ඇය කීවාය. එහෙත් බලයට පත්ව මාස කිහිපයක් ගතවන විට, එවකට සලාකයට නොමිලේ ලබා දුන් හාල් සේරුවෙන් හරි අඩක් කපා හැරියේ දේශපාලන පොරොන්දුව කඩ කරමිනි.
එයින් ඇත්තටම පහර වැදුණේ ගොවියාගේ, කම්කරුවාගේ සහ පීඩිතයාගේ බඩටය. පාන් කාඩ් එකත් රැගෙන උදේ පාන්දර සීතලේ ගැහෙමින් බේකරිය ඉදිරිපස පෙළගැසෙන්නට පොදු ජනතාවට සිදුවිය. හැත්තෑවේදී ලැබූ ජනතා ජයග්‍රහණයේ මහිමය ජනතාව මේ පෝලිම්වල සිට සැමරුවේ මැතිනියගේ මෑණියන් සිහි කරමිනි.
මහ බැංකු වාර්තාවලට අනුව ඒ වන විට සත 35 ට තිබූ පාන් ගෙඩිය සත 51 දක්වා ඉහළ ගොස් තිබිණි. පවුලක එක් අයකුට පෝලිමේ සිට ලබාගත හැකි උපරිම පාන් ප්‍රමාණය ‘පාන් කාලක්’ වූ අතර, එජාපය මැයි දින පෙළපාළිවල පාන් ගෙඩිය කොහු මිට උල් කර මැද්දෙන් පසාරු කොට, බ්‍රිස්ටල් බෝඩ්වල සඳහන් කර තිබුණේ “සිරිමා කා......න්” යනුවෙනි.
පාන් ගෙඩියක මිල 1961 දී සත 27 ක් විය. එය එකල ජීවන වියදමට බලපෑ ඉහළ මිලක් විය. සමගි පෙරමුණු ආණ්ඩු යුගයේදී එකවරම පාන් මිල සත 16 කින් ඉහළ නැංවිණි.
සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ සමගි පෙරමුණ රජය විසින් වගා සංග්‍රාමයක් ඇරඹීමත්, පිටරටින් තිරිඟු ගෙන්වීම සීමා කිරීමත් නිසා පාන් මිල ඉහළ ගියේය. ඒ අනුව 1974 වන විට පාන් ගෙඩියක මිල සත 42 ක් විය. එවකට රජය ආරම්භ කළ වගා ව්‍යාපාරය නිසා පාන් පිළිබඳ අවධානය අඩු වන්නට වූ අතර, බේකරිවල පාන් නිපදවන ලද්දේද සීමිතවය. රටේ ජනතාව පළමු වරට පාන් ලබා ගැනීමට පෝලිම්වලට එකතු වූයේද එම වකවානුවේදීය. මෙසේ හැත්තෑවේ දශකය ආරම්භයේදීම, විදේශිකයන් හඳුන්වා දුන් පාන් ගෙඩිය අපේ රටේ දේශපාලන වේදිකාව කලඹන භාණ්ඩයක් බවට පත්වූ අයුරු තහවුරු විය.
ආහාර පෝලිම් යුගයේ පළමු තැන හිමි වූ පාන් පෝලිම නිසා දේශපාලන ඉතිහාසය තුළ පාන්වලට ලැබෙන්නේ ඉහළ තැනකි. දශක දෙකක් ඇතුළත, සත 24 ට තිබූ පාන් ගෙඩියක මිල 1994 වන විට රුපියල් 6.00 දක්වා ඉහළ ගියේය. 1977 දී මෙරටට පැමිණි ප්‍රීමා සමාගම ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි නිෂ්පාදන ඒකාධිකාරය ලබාගත් අතර, 2007 වන විට පාන් ගෙඩියක මිල රුපියල් 30.00 ක් පමණ විය. ප්‍රීමා තිරිඟු පිටි ගිවිසුම අත්සන් කරන විට ජේ.ආර්. පවා එම ගිවිසුමේ සඳහන් වූයේ කුමක්දැයි නොදැන සිටි බව එදාිඇත්ත’ පුවත්පත වාර්තා කර තිබුණි.
1983 අංක 10 දරන මෙට්‍රික් ඒකක පනත මගින් බර ග්‍රෑම් 450 ට අඩුවෙන් පාන් නිපදවීම සහ විකිණීම තහනම් විය. තවදුරටත් විමසා බලන විට, පාන් ජන ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස හඳුන්වා දී ඇති බවද පෙනේ. 1992 අංක 34 දරන පනතින් සංශෝධිත 1979 අංක 1 දරන පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ පනතේ 37 වැනි වගන්තිය අනුවද පාන් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස අනිවාර්ය කර ඇත.
මුල් යුගයේදී පාන්වල ඇතුළත් තිබූ නියමිත ප්‍රමිතිය, ගුණාත්මකභාවය හෝ බර ප්‍රමාණය ගැන එතරම් ගැටලුවක් නොවුවද, 1984 දී පාන් පිළිබඳව නීතියක් ක්‍රියාත්මක කරන්නට සිදුවූ බව අතීත තොරතුරුවල සඳහන් වේ. යටත් විජිත යුගයේදී පාරිභෝගිකයා ගෙවන මුදලට වටිනා, නියමිත බරින් යුතු, බාල නොකළ හොඳ තත්ත්වයේ පාන් ගෙඩියක් ලබාදීම අරමුණ විය. ඒ අනුව ඉංග්‍රීසි පාලන යුගයේදී 1864 ජනවාරි මස 1 වැනිදා සිට පාන් පනත ක්‍රියාත්මක කෙරිණි. එම පනත ක්‍රියාත්මක වූයේ සර් හර්කියුලිස් රොබින්සන් ආණ්ඩුකාරවරයාගේ කාලයේදීය.
මෙම පාන් පනත 1952 අංක 12 දරන පාන් පනත සම්පාදනය වන තෙක්ම නොකඩවා ක්‍රියාත්මක විය. පාන් ගෙඩියක තිබිය යුතු බර ප්‍රමාණයද එහි සඳහන් වූ අතර, ඒ අනුව එකල රාත්තල් 1/4 ට අඩු ප්‍රමාණයට පාන් විකිණීම තහනම් කර තිබුණි. පාන් ගෙඩියක් රාත්තලක (අවුන්ස 16) ප්‍රමාණයෙන් නොඅඩුව නිපදවිය යුතු විය. පසුව මෙට්‍රික් ක්‍රමයට පරිවර්තනය වීමත් සමග පාන් පනතේ දෙවැනි වගන්තිය සංශෝධනය වූ අතර, පාන් ගෙඩියේ බර ප්‍රමාණය සඳහන් කිරීම අනිවාර්ය විය. මේ සංශෝධනවලට කෙළින්ම බලපෑවේ උද්ඝෝෂණ හා දේශපාලන සටන් පාඨයි.
විජයානන්ද දහනායක පාසල් දරුවන් අතර ජනප්‍රිය වූයේ‘බනිස් මාමා’ නමිනි. ඒත් ඇතැම් ප්‍රදේශවල බනිස් වෙනුවට පරිප්පු සමග පාන් ලබාදීම නිසා සමහර පළාත්වල ඔහු ‘පාන් මාමා’ බවට පත් වූ බව, ඔහු අසලින්ම සිටි පත්‍ර කලාවේදී රෝහණ ගමගේ ‘දවස’ පුවත්පතේ කර්තෘ සටහනක් තබමින් සඳහන් කර තිබුණි.
1980 දී ජේ.ආර්. පාන් මිල ඉහළ දැමූ අවස්ථාවේ ‘ඇත්ත’ පුවත්පත කතුවැකියක් පළ කළේ “උතුමාණෙනි දැන් ඉතින් ..... ..... පාන්” යනුවෙනි. ‘ඇත්ත’ පත්‍රය ජේ.ආර්.ගේ පාන් මිල වැඩි කිරීම අවඥාවට ලක් කළේ මෙසේය:
මෙහෙමත් දුෂ්ටකමක්!
“මුන් දැන් මිල වැඩි කරන්නේ ‘පුළුවන් නම් හෙඩින් දමාපියව්’ කියා අපටම අභියෝග කරන්න වගේ” යයි ලාල් කීවේය. අභියෝගය පිළිගෙන කුලසිරි හෙඩිම දැමුවේය.
“උතුමාණෙනි, දැන් .... ....පාන්. රාත්තල රුපියල් 2.16 යි!”
“පාඨකයෙනි, අපේ කන්තෝරුවේ ඇතුළත කතාබහකින් මේ පටන් ගත්තාට සමාවුව මැනවි. ලාලුත් කුලසිරිත් අපේ කතෘ මණ්ඩල සගයෝ දෙදෙනෙකි. පාන් රාත්තලේ මිල රුපියල් 1.35 සිට රුපියල් 2.16 දක්වා වැඩි කරන්නට යන පුවතට මැයක් යොදා ගැනීමට ඇතිවූ සාකච්ඡාවේදී ඔවුන් දෙදෙනා කී කළ හරියයි. පටන් ගැනීමේදී දැක්වූයේ අමාරු දේ දිරවා ගන්නට හාස්‍ය රසය උදව් වන බැවිනි. අපට රසයක් ගෙන දුන් ඇතුළත සිද්ධියක් මෙසේ එළිපිට පළ කරන්නේ අපේ පාඨකයන්ටද වැඩි මිල පාන් දිරවීම පහසු වනු පිණිසය.
ලාල් කීවා හරිය. මේ ආණ්ඩුව වරින් වර පාන් මිල වැඩි කළ හැක්කේ හැම වතාවේමිපාන් කියාගන්නත් බෑ’,‘පාන් නොකා පාන් පුළුවන්නම් කාපන්’ ආදී වශයෙන් අපේ නිර්මාණ ශක්තිය අන්තිමටම හෙම්බත් වන තෙක්ය. උනුත් ඇරියේ නැත. හෙඩින් දමන හැටි බලන්නටදෝ තව තව මිල නැංවීය.
කුලසිරි කළේ අත්හැරීමය. පුවතට මැය යොදනවා මිස වෙන මොනවාද දැන්නම්?
‘උතුමාණෙනි ..... .... පාන් තමා!’
ඉවක් බවක් නැතිව, හිතක් පපුවක් නැතුව මිනිසුන් කොහොම කනවාද, කොහොම ජීවත් වෙනවාද යන්න යාන්තමින්වත් සලකන්නේ නැතුව කඩුව අතට ගත් පිස්සකු ලෙසින් හැසිරෙමින් මේ දුෂ්ටයන් එක දිගට මිල ඉහළ නංවාගෙන යන විට, එක් අවස්ථාවක ‘කන්නේ තොපේ කැවුතුදැයි’ අසන්නට අපට සිදුවිය. යකඩ දාච්චු ගෙයි පුළුන් හොයන්නා වගේ සිගරට් මිල වැඩි කිරීම ගැන අපි කතා නොකරමු; ඒ අත්‍යවශ්‍ය දෙයක් නොවේ. එහෙත් දෙවියනි, පාන් රාත්තලේ මිල එක හුස්මට සත 81 කින් වැඩි කළ විට දුප්පත් මිනිසා ජීවත් වන්නේ කෙසේද? මේ අමු අමුවේ මිනී මැරිල්ලක් නොවේද?”
1977 දී බලයට පත් ජේ.ආර්. පාන් මිල අඩු කළේය. එදිනම ‘දිනමිණ’ පුවත්පතේ මිල වැඩි කෙරිණි. සාමාන්‍යයෙන් ජනතාව පැවසුවේ ජේ.ආර්.ගේ ආණ්ඩුව දිනමිණ පත්තරේ මිල වැඩි කර පාන් මිල අඩු කර ඇති බවයි. ජේ.ආර්.ගේ පාලන යුගයේදී රාජ්‍ය නිලධාරියකු වූ බ්‍රැඩ්මන් වීරකෝන්, ගංවතුරකදී දැවැන්ත ලෙස පාන් බෙදා රජයේ ප්‍රසාදයට පත්විය. ඊට පසු කැබිනට් රැස්වීමකදී ජේ.ආර්., ප්‍රේමදාසගෙන් මෙවැනි ප්‍රශ්නයක් අසා තිබුණි:
“මිස්ටර් ප්‍රේමදාස, මිනිහගේ නම බ්‍රැඩ්මන් ද නැත්නම් බ්‍රෙඩ්මෑන්ද?”
ප්‍රේමදාස ජනපති යුගයේ ආහාර ඇමති වූයේ වීරසිංහ මල්ලවාරච්චිය. එකල පාන් ගෙඩියක මිල රුපියල් පහ දක්වා වැඩි විය. මල්ලවාරච්චි ප්‍රකාශ කළේ අඩු මිලට ජනතාවට පාන් හඳුන්වා දෙන බවයි. පසුව ආහාර ඇමතිවරයා හඳුන්වා දුන්නේ රුපියල් 1.25 ක කුඩා පාන් ගෙඩියකි. පරහකට තිබුණේ එම පාන් ගෙඩිය සාමාන්‍ය පාන් ගෙඩියකට නියමිත බරෙන් 1/4 ක ප්‍රමාණයෙන් යුක්ත වීමයි.
පාන්වලට විරුද්ධ වීම දේශපාලනයේදී අවාසි සහගතය. එහෙත් 2010 දී අගමැති වූ දි.මු. ජයරත්න, පිටි මිල තවත් වැඩි කළ යුතු බවට ප්‍රකාශයක් කළේය. එදා ‘ලංකාදීපය’ මේ ප්‍රවෘත්තිය වාර්තා කර තිබුණේ මෙසේය:
“පාන් මිල හා පිටි මිල තවත් වැඩි කළ යුතු යැයි අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ප්‍රකාශ කළේය.”
අගමැතිවරයා මේ බව සඳහන් කළේ 148 වන සහ 149 වන සතොස ශාඛා දෙක ගම්පොළ බෝතලාව පිටිය සහ උස්සපිටිය නගරවල විවෘත කිරීමේ උත්සවවලට සහභාගි වෙමිනි.
“පිටි මිල තවත් වැඩි කළොත් තමයි අපට බත් ගැන මතක් වෙන්නේ. එදා තුන්වේලටම බත් කාපු අපි අද පිටි කෑමට හුරු වෙලා. අද සෑම දෙයක්ම පිටරටින් ගේන්නේ. මුං ඇට, කව්පි, කුරක්කන් ඉස්සර පිටරටින් ගෙනාවේ නෑ. අද සියලු දේම රටින් ගේන නිසා ලංකාවේ සල්ලි ටික පිටරට යනවා. මේ තත්ත්වය තිබෙන තෙක් අපට ස්වයංපෝෂිත ජාතියක් ලෙස නැගී සිටින්න බෑ. පිටරටින් ගේන සියලුම දේවල මිල ඉහළ ගියොත් විතරයි අපේ වගාවට තැනක් ලැබෙන්නේ. නැතුව පිටතින් ගේන දේවල්වල මිල අඩු වුණොත් අපේ අය ඒවා කන්න උඩ බලාගෙන ඉන්නවා මිසක් කිසි දෙයක් හදා වඩාගෙන කන්න උත්සාහ කරන්නේ නෑ. අපේ රටේ අක්කර 1,85,000 ක් කුඹුරු තියෙනවා. මේවා වැඩ කළොත් අපට පිටරටට අතපාන්න අවශ්‍ය නෑ. භාණ්ඩවල මිල හැමදාම එක ගානට පවත්වාගෙන යන්න බෑ. ඒවා වැස්සට, අව්වට පවා වෙනස් වෙනවා. වෙෙළඳාම රජයට විතරක් කරන්න බෑ; ඒ සඳහා පෞද්ගලික අංශයක් අවශ්‍යයි.
අද සමහර අය හිතාගෙන ඉන්නේ පාන් කන්න දෙන්න විතරයි ආණ්ඩුව තියෙන්නේ කියලා. පිටි ගණන් ගියත් ඒ අය කෑගහනවා. පාන් ගණන් ගියත් ඒ අය කෑගහනවා. ඒත් ආණ්ඩුව කරන සංවර්ධන වැඩ, සමාජ සුභසාධන වැඩ මේ අයට පේන්නේ නෑ. සෞඛ්‍යයට, සමෘද්ධියට, මාර්ග සංවර්ධනයට විශාල මුදලක් වැය කරනවා. පොහොර මිටිය දෙන්නේ තුන්සිය පනහට. මේවා ගැන මේ අය කියන්නේ නෑ, දකින්නේ නෑ. කෑම ගැන පෙන්නලා ජාතියම මෝඩයන් බවට පත් කරන්න උත්සාහ කරනවා.”
‘ගජමෑන්’ කාටූනය නිර්මාණය කළ කැමිලස් පෙරේරා වරක් එවකට සිටි දේශපාලනඥයකු වූ ‘මගෝඩිස්තුමා’ හමුවට ගියේය. ඒ කාලයේ ජනප්‍රියතම කාර් රථයේ මොඩලය වූයේ 505 ය. මගෝඩිස්තුමා, ගජමෑන් ගෙනාවේ මොනවාදැයි මල්ල පෙන්වා ඇසීය. ගජමෑන් මල්ල පෙන්වමින් “ටූ නෝට් ෆයිව් (2.05)” යි කීය. එහි තිබුණේ ඔය කියන සංදියේ රුපියල් 2.05 ක උපරිම මිලකට අලෙවි කළ පාන් ගෙඩියකි.
පාන් හා හාල් ගැන සටන් පාඨ අතර අමතක නොවන ජනප්‍රිය කවි දෙපදයකින් අවසන් කිරීමට කැමැත්තෙමි.
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා!
පානුයි පරිප්පුයි දවසක බුදු වේවා!
මහින්ද රණවීර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd