පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක  කුමාර් ගුණරත්නම් 

 

  • අරගලයේ අරමුණ ජයගන්න තව ගොඩක් දුර යන්න තියෙනවා 
  • මේ ජන බල කුලුනු සක්‍රීයව ගම්-නගර මට්ටමින් ආයතන මට්ටමින් අපි පවත්වාගෙන යනවා

 

ජනාධිපතිවරයාට තමන් ඉල්ලා අස්වන බව කියා රටින් පිටවීමට සිදුවන තරමට අරගලය බලවත් විය. මෙතැනින් එහාට කුමක් වෙයිද? අරගලයේ ප්‍රධාන පාර්ශ්වයක් වුණ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.

 

?අරගලය අවසන්ද? එහෙම නැත්නම් තව තියෙනවද?   


අරගලයේ එක් අදියරක් අවසන්. හැබැයි ඒ වගේම තව දුර යන්න තියෙනවා. අරගලයේ අරමුණු ජය ගන්න තව ගොඩක් දුර යන්න තියෙනවා.   


?මේ මොහොත වනවිට රටේ අරාජිකත්වයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා ඔබ හිතන්නේ නැද්ද?   


ඇත්තටම අරාජිකත්වය නිර්මාණය කළේ පැවැති රජය. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව. ඒ වගේම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම. මෙන්න මේ කාරණා එක්ක තමයි අරාජිකත්වය නිර්මාණය වුණේ. අරාජිකත්වය කියන්නේ මේ රටේ ආර්ථිකය බිඳ වැටීම් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා ඖෂධ වර්ග නැතිවීම ඉන්ධන නැතිවීම. මෙන්න මේවත් එක්ක තමයි අරාජිකත්වය නිර්මාණය වුණේ. මේ තත්ත්වය නිර්මාණය කළේ ගෝඨාභය රාජපක්ෂ-රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව. දැන් ජන අරගලයෙ ජයග්‍රහණයත් එක්ක දැන් තියෙන්නේ අරාජිකත්වය අවසන් කිරීමේ අදියර. ඒ නිසා අපි හිතනවා අරාජිකත්වය අවසන් වෙන්න නම් ස්ථාවරත්වය එන්න ඕනෑ. ස්ථාවරත්වය ගොඩනගන්න පුළුවන් වෙන්නේ ජන බලයත් සමග සම්මුතිවීමෙන්. දේශපාලනික වශයෙන් දැන් තියෙන විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය කියන කුළුණු තුන ගැන කතා කරමින් හිටියා. නමුත් දැන් තව කුළුණක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක තමයි ජන බල කුළුණ. මේක තමයි දේශපාලනය තුළ සක්‍රිය බලය. මේ සක්‍රිය බලයත් සමග ඉදිරියේදී කොහොමද කෙටි කාලීනව මේ ආණ්ඩු ක්‍රියාවලිය යන්නේ කියන එක මෙතැනදි මතු වෙනවා. ඒක යන්නේ ජන බලයත් සමග. ඒකත් එක්ක තමයි ස්ථාවරත්වය ඇති වෙන්නේ.   


මේ ජන බල කුලුන කොහොමද සක්‍රියව පවත්වාගෙන යන්නේ?   


පැහැදිළිවම 74 වසරක අපේ ඉතිහාසය දිහා බැලු‍වම අපි අපේ ජනතාව මෙතරම් සක්‍රියව දේශපාලන ක්‍රියාකාරිත්වයට ආපු අවස්ථා අඩුයි. ඒ නිසා මේක සුවිශේෂී සන්ධිස්ථානයක්. ඒ නිසා ජනතාව ඉතාම සංයමයෙන් ඉවසීමෙන් මර්දනයට මුහුණ දෙමින් ඝාතන හා ප්‍රහාරවලට මුහුණ දෙමින් මූලික දේශපාලන අරමුණ සඳහා පෙළ ගැසී සිටිනවා. මොකද මේ රටේ ජනතාවට ගොඩක් උසුළු විසුළුවලට මුහුණ දෙන්න වුණා. ‘වහල්ලු‍’ කියලා කිව්වා. ‘අපේ රටේ ජනතාව කවදාවත් හදන්න බෑ.’ කිව්වා. ‘කවදාවත් තේරුම් ගන්නේ නෑ’ කිව්වා. නමුත් අපි දැක්කා ලෝක ඉතිහාසයටම අලු‍ත් අත්දැකීමක් එකතු කරමින් ජනතාව කොහොමද තමන්ගේ අරමුණු වෙනුවෙන් සටන් කරන්නේ කියලා. ඒ නිසා අපි හිතනවා මේ ජන බල කුළුණ ඉදිරි දේශපාලනයේදී සක්‍රියව පවත්වාගෙන යා යුතුයි. අපි වාමාංශික ව්‍යාපාරයක් හැටියට පෙරටුගාමී සමාජවාදී පක්ෂයක් හැටියට උත්සාහ කරන්නේ මේ ජන බල කුළුණ සක්‍රියව පවත්වාගෙන යන්නයි. අඛණ්ඩව හා ව්‍යුහාත්මකව සංවිධානය කරනවා ගම් මට්ටමින්, නගර මට්ටමින්, ආයතන මට්ටමින්, අධ්‍යාපන, සෞඛ්‍ය ආදි ක්ෂේත්‍ර මට්ටමින්, ජනතා කවුන්සිල හරහා මේ ජනබල කුලුන සංවිධානාත්මක මට්ටමකට ගේන්න. ඒක සක්‍රියව පවතිද්දි තමයි ඕනෑම ආණ්ඩුවක් පවතින්න ඕනැ. ඒ අනුව මේ ජන බල කවුන්සිලයට අනුව තමයි ඉදිරියේදී දේශපාලනය කරන්න වෙන්නේ.   


ඔබේ පක්ෂයට පාර්ලිමේන්තු බලයක් නෑ. එතකොට කොහොමද මේ ජන බල කුළුණ සක්‍රිය වෙන්නේ?   


ඇත්තටම ගත්තොත් අපි මේ තියෙන රාමුව ඇතුළටම වෙලා හිතනකොට වඩාත් දේශපාලනිකව කිව්වොත් මේ දේශපාලන කතිකාවට කොටුවෙලා හිතනකොට අපිට පේන්නේ මේ බලය පාර්ලිමේන්තුව ඇතුළේ නියෝජනය විය යුතුයි කියලයි. නමුත් අපි කියන මේ අදහසම ඊට වඩා වෙනස්. මේක සංකල්පයක් විතරක් නොවෙයි. මේක දැන් යථාර්ථයක්. ඔබේ ප්‍රශ්නයට මට උත්තර දෙකක් තියෙනවා. පළමු වැනි උත්තරය තමයි මේක ඇතුල් වෙන්න අවශ්‍ය නෑ මේ තියෙන ක්‍රියාවලියට. මේ තියෙන සිස්ටම් එකට ඇතුළු විය යුතු නෑ. අපි කියන්නේ මේ සිස්ටම් එකෙන් පිටත කතාවක්. අපි කියන්නේ මේ තියෙන පාර්ලිමේන්තුවෙන් පිටත තියෙන බලයක් ගැනයි. මේ බලය එළියෙ සංවිධානය වෙන්න ඕනැ. ඒ බලය තමයි ක්‍රමානුකූලව ගම් මට්ටමින් නගර මට්ටමින් සක්‍රිය වෙන්නේ. ඒක අඛණ්ඩව පවතින්න ඕනැ. ඒක තමයි ජනතාව දේශපාලනය කරන මධ්‍යස්ථානය බවට පත්වෙන්නේ. ඡන්දදීම නොදීම ජනතාවගේ වැඩක්. නමුත් ඔවුන් මේ ව්‍යුහය තුළ අඛණ්ඩව සක්‍රිය විය යුතුයි. ඒක මේ පරණ කතිකාව නොවෙයි. අලු‍ත් කතිකාවක්. මේ බලය එළියේ තියෙන්නේ. මේක අවශ්‍ය නෑ ඇතුළට ගේන්න.   

 

එතකොට ඔබේ දෙවැනි උත්තරය?   


දෙවැනි උත්තරය තමයි දැන් මේ බලය දැන් යථාර්ථයක්. මේ බලය අපි දැන් අත්දකිනවා. අපි දැක්කා හැට නව ලක්ෂයක් ඡන්දය ගත්ත ජනාධිපති වරයාට ඉල්ලා අස්වෙන්න වුණා. ආණ්ඩුවම ඉල්ලා අස්වෙන්න සිදු වෙනවා. තව දුරටත් ඔවුන්ට ලැබුණ ජන බලය අත් හැරීමට සිදුවන බලයක් මෙතැන නිර්මණය වෙලා තියෙනවා. මේක දැන් යථාර්ථයක්. මේක මේ දැනට තියෙන ව්‍යවස්ථාවේ හා මේක මේ පොත්වල නෑ. මේක දැන් යථාර්ථය. ඒ නිසාම මේක බලවත්. ඒ නිසා ඒ කියන්නේ මේ බලය ගැන විශ්වාසය තබමු. මේ බලයේ අඛණ්ඩතාවය ගැන විශ්වාසය තබමු. මේක සංවිධානාත්මව හා අඛණ්ඩව රැගෙන යමු. අපි දිගටම කියන්නේ මේ තියෙන නීති දේව වාක්‍ය නොවෙයි. නීති හැදුවේ කවුද? නීති සම්පාදක මණ්ඩලය තමයි ව්‍යවස්ථාදායකය. ඒ ගොල්ලෝ තමයි 20 වැනි සංශෝධනය ගෙනාවේ. ඒ හරහා තමයි ජනාධිපතිවරයාට අත්තනෝමතික බලය දුන්නේ. ඇමෙරිකානු පුරවැසියන්ට ඇමැතිකම් දරන්න පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව හදලා දුන්නේ. ඒවා නීති තමයි. නමුත් මේවා දේව වාක්‍ය නොවෙයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, හදිසි නීතිය මේවා ගෙනාවේ ජනතාව මර්දනය කරන්න. මිනිස්සු අතුරුදන් කරන්න. වගකීමෙන් ආරක්ෂා කිරීමේ පනත ගෙනාවේ ජන ඝාතකයන් ආරක්ෂා කරන්න. එතකොට මේවා ඔක්කොම නීති. හැබැයි මේවා දේව වාක්‍ය නොවෙයි. ඒ නිසා මේ ජනතා බලය සක්‍රිය වෙලා තියෙන මොහාතේ ජනාධිපතිගේ, අගමැතිගේ පාර්ලිමේන්තුවේ ජන බලය අහෝසි වෙලා තියෙද්දි අර මම කියපු ජන බලය තමයි අලු‍ත් නීතිය. මේ ජන බලය තමයි අලු‍ත් සම්මුතිය. එදා රූසෝ කිව්වා වගේ ජනතාවගේ මේ ගොඩනැගිච්ච බලය රටේ නීතිය බවට පත්වෙලා තියෙන්නේ. ඒ නිසයි අපි කියන්නේ නව ජනතාවාදී ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතුයි කියලා.   


ඔය ඔබ කියන ජන බල කුලුන තලේබාන් පන්නයෙන් වෙනස් වෙන්නේ කොහොමද?   


තලේබාන් ආගමික අන්තවාදී දේශපාලන බලයක්. අපි දන්න ධනේෂ්වර දේශපාලන සීමාවටවත් පිළිගත නොහැකි ඉතාම පසුගාමී ආගමික අන්තවාදී බලයක් ඒක. ඒවට කොහොමද ඇමෙරිකානු අධිරාජ්‍යවාදය උදව් කරන්නේ කියලා අපි හැමෝම දන්නවා. අපේ කාරණය එයින් සම්පූර්ණයෙන්ම වෙනස්. ඔබ දන්නවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියද්දි මේ තරම් වෙනස් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් නෑ. දැන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ඇවිල්ලා අවුරුදු පහකට විතරයි ඡන්දය දෙන්නේ. ඡන්දෙ දුන්නට පස්සෙ නියෝජිතයො කරන කියන දේවල් ගැන අපට හැත්තෑ හතර වසරක් පුරා අත්දැකීම් තියෙනවා. මෙතැන තියෙන්නේ සක්‍රියව ජනතාව සම්බන්ධවෙන ක්‍රියාවලියක්. එතකොට මේක ඇතුළේ ජන මතය මේක ඇතුළේ හොඳට ප්‍රකාශයට පත් වෙන තැනක්. ඒක තමයි අපි කියන්නේ මේ ජනබල කුළුණ වඩාත් සංවිධිතව මොකද මේ අරගලය හැමදාමත් පාරේ තියෙන්න බෑ. ඒ නිසා වඩාත් සංවිධිතව ගම් මට්ටමින්, නගර මට්ටමින්, ගොවි බිම් මට්ටමින්, අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රවාහන වැනි ක්ෂේත්‍ර මට්ටම්වලින් වැඩ කරන ජනයා මට්ටමින්, ධීවර ප්‍රජාව, ජාතික ජන ප්‍රජාවන් මට්ටමෙන් ජනතාව සම්බන්ධ කරලා ක්‍රමානුකූලව කලාප කමිටු දිස්ත්‍රික් කමිටු පළාත් කමිටු හරහා ජාතික කවුන්සිලයක් දක්වා මේක ගෙන යනවා. මේක මේ ආණ්ඩු ක්‍රියාවලියට සමාන්තරව ඍජු ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ වෙන ව්‍යුහයක්. මම කියපු ජන බල කුළුණ වඩාත් සංවිධිත ස්වරූපයකට පත් කරන්නේ එහෙමයි.   


ඔබ ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය පාවිච්චි කළා. නමුත් ඒක ඇතුළේ තරවටුවක් තියෙනවා. ඒක ප්‍රචණ්ඩ තරවටුවක් කියලා මම කිව්වොත්?   


ප්‍රචණ්ඩත්වය කියන වචනය කියද්දිම ඒකට සම්බන්ධවෙන ඊළඟ දෙය තමයි අවි බලය. අවි ආයුධ දරාගෙන ඉන්නේ කවුද? අවි ආයුධ දරාගෙන ඉන්නේ ආණ්ඩුව. ඒ නිසා ප්‍රචණ්ඩත්වය සඳහා අවශ්‍ය පසුබිම සූදානම් කරගෙන තියෙන්නේ රජය. ඒක දේශපාලනික කාරණයක්. ආණ්ඩුව තමයි ප්‍රචණ්ඩත්වයට සූදානමින් ඉන්නේ. ආණ්ඩුව තමයි නිරායුද ජනතාව අරගල කරනකොට වෙඩි තියන්නේ. ආණ්ඩුව තමයි නිරායුධ ජනතාවගේ ඔළු පළන්නේ. අතුරුදන් කරන්නේ. ආණ්ඩුවේ ප්‍රචණ්ඩත්වය තමයි අපි අත් විඳින්නේ. ඒක තව වර්ධනය වුණාම රාජ්‍ය ත්‍රස්තවාදය කියලත් කියනවා. ඇත්තටම ගත්තොත් ජනතාව ඉතාම සාමකාමීයි. ඔවුන්ගේ අදහස් දැක්වීම් දිසාවට එරෙහිව ඔවුන්ට තියෙන අසතුට ඔවුන්ගේ වෛරය ඔවුන් පිටකරන්නේ බොහොම සාමකාමී විදියට. පාරේ තියෙන තෙල් පෝලිම දිහා බැලු‍වම ගෑස් පෝලිම් දිහා බැලු‍වම මිනිසුන්ගේ ආර්ථික ප්‍රශ්න දිහා බැලු‍වම ජවතාවට ඇතිවන වෛරය ඉතාම සාධාරණයි. ඒත් ඔවුන් තවමත් මේ ප්‍රචණ්ඩ බලයට එරෙහිව තාම සටන් වදින්නේ ඉතාම සාමකාමී විදියට.  
 


පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් මහමඟ මරලා දැම්මා. මැති ඇමැතිවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බා. අගමැති රනිල් වික්‍රමසිංහගේ ගේ ගිනි තිබ්බා. මේක නේද ප්‍රචණ්ඩත්වය ඔබලා මේ පෙන්වන්නේ මේක තමයි. අපේ අවිය කියලා.   


?ඔබලා කියලා ඔබ චෝදනා කරන්නේ?   
ඔබලත් මේ අරගලයේ ප්‍රධාන පාර්ශ්වයක් නිසයි?   


මෙහෙමයි. අරගලයට සම්බන්ධ අපි ඇතුළු සියලු‍ පාර්ශ්ව ඔය චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. මොකද ප්‍රචණ්ඩත්වය අරගලයට ඉතාම හානිකරයි. අරගලයට බාධාවක්. ඒ නිසා තමයි අපි පුළුවන්තරම් අරගලය තුළදී ජනාධිපති ලේකම් කාර්යාලය. ජනාධිපති මන්දිරය හෝ ඔය කියන ආයතන ජනතා දේපොළ කියන මතය සමාජගත කළේ. ඔබ කිව්වා වගේ දේවල් වුණා. මේවා ඉතාම සැකකටයුතුයි. ලක්ෂ ගානක ජනතාවක් තමන්ට එරෙහිව වෙඩි තියද්දීත් ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා දක්වන්න ගියේ නෑ. ඒ ජනතාව රෑට ගිහින් රනිල් වික්‍රමසිංහගේ ගේ ගිනි තියයි කියලා හිතන්න බෑ. ඒක හරිම අතාත්විකයි. ඒ වගේම අතාර්කිකයි. අපි එදා පහර කාපු මාධ්‍යවේදින් බලන්න ගියා. ඒ පහර කෑමට ලක්වුණු මාධ්‍යවේදීන් කිව්වේ ‘එතැන හරිම ගුප්ත තත්ත්වයක් තිබුණේ. හරිම කෘත්‍රිම ලෙස පහර දුන්නේ කියලා. එතැන පහර දීමට කිසිම තත්ත්වයක් තිබුණේ නෑ. විසි දෙනෙක් විතර එතැන කෑගහගහ හිටියා රනිල් වික්‍රමසිංහට ඉවත් වෙන්න කියලා. ඒ හැරෙන්න වෙන මුකුත් තත්ත්වයක් තිබුණේ නෑ. එතැන සීමිත පොලිස් නිලධාරින් පිරිසක් හිටියේ. එතැන හිටපු උසස් පොලිස් නිලධාරින්ගේ අණින් අපට පහර දුන්නා කියලා’ අපි දැනගෙන හිටියා මේ අයට මැයි 9 වැනිදා වැනි තත්ත්වයක් අවශ්‍යයි කියලා. එහෙම ප්‍රචණ්ඩත්වයක් පාවිච්චි කරලා බලයේ දිගටම ඉන්න කුමන්ත්‍රණයක් බවට පත් කරගන්න මේ අයට අවශ්‍යයි කියලා. මැයි 9 වැනිදාත් වුණේ ඒක. සාමකාමී අරගලයට පහර දුන්නාම ප්‍රතික්‍රියාවක් එන බව දන්නවා. ඒක තමයි සාමාන්‍ය ජන ස්වභාවය. ඒ ප්‍රතික්‍රියාව ඔවුන් බලාපොරොත්තු වුණා. ඒ තත්ත්වය පාලනය කරන්න පොලිසිය හමුදාව යෙදෙව්වෙත් නෑ. එහෙම කළේම ඔවුන්ට ඒ තත්ත්වය අවශ්‍ය වෙච්ච නිසා. ඒ නිසා ජුනි 9 වැනිදා ගැන අපි ඉතාම අවධානයෙන් හිටියේ. අපි උපරීම මැදිහත්වීමක් කරමින් අරගලය සාමකාමීව කරන්න අවශ්‍ය දැනුවත්වීම් කළා.
   
?දැන් ජනාධිපතිවරයා විය යුත්තේ කවුද? නම් ගණනාවක් මේවනවිට කියැවෙනවා. ඔබේ තේරීම කවුද? 

 
මෙහෙමයි. ඇත්තටම ගත්තොත් අරගල භූමියෙන් යෝජනා මාලාවක් ඉදිරිපත් වුණානේ. ඒක දේශපාලන පක්ෂවලට ඉදිරිපත් කළා. එතැනදීත් ඔවුන්ගේ ප්‍රකාශනය වුණෙත් ‘කවුද අගමැති කවුද ජනාධිපති’ කියන එක නොවෙයි. මූලික වෙන්නේ. ඒක තාක්ෂණික ක්‍රියාවලියක් නමුත් ඒ තාක්ෂණික ක්‍රියාවලිය හරහා සිද්ධ වෙන්න ඕනෑදේ තමයි අරගලයෙ අභිප්‍රායන්, අරමුණු මුල් කරගෙන දේශපාලන ප්‍රතිසංස්කරණය ආර්ථික ප්‍රතිසංස්කරණ කරලා ඒ කටයුත්ත නිශ්චිත කාලයකදී අවසන් කිරීම. එතකොට එන ආණ්‍ඩුව අරගලය සම්මුතිගතවෙච්ච කණ්ඩායමක්. අරගලය සමග සම්මුතිගත වෙච්ච අය තමයි ඊළඟ ආණ්ඩුව. එතැනින් පුළුවන් අගමැති කෙනෙක් හා ඇමැති මණ්ඩලයක් පත්කරගන්න. විධායක බලතල අඩු කිරීම ජනමත විචාරණයකට නොයා කරගත හැකි ඒවා කරගැනීම. වසරක් තුළ අලු‍ත් ජනතා ව්‍යවස්ථාවක් ගේන්න ඕනෑ. මේවා මේ කරන්න බැරි ප්‍රයෝගික දේවල් නොවෙයි. කරන්න බැරි ප්‍රායෝගික නෑ කියලා කියපු දේවල් දැන් කරලා තියෙන්නේ. මේ දේවල් වෙලා තියෙන්නේ වයවස්ථාවට යටත්ව හෝ අධිකරණයෙන් අවසර අරගෙන නොවේ. එහෙමනම් මහජන බලයට පුළුවන් වෙන්න ඕනැ තමන්ට වඩාත් සාධාරණ නීතියක් සම්මත කරගන්න. ඒකට අනුගතවීම තමයි ඊළඟ ආණ්ඩුවක වගකීම වෙන්නේ. ඒ අනුව ඉදිරියේදී එන්නේ තාවකාලික සම්මුති ආණ්ඩුවක්. තාක්ෂණික වශයෙන් දේවල් තියෙනවා. ජනපති-අගමැති වෙන්න කතානායක ජනාධිපති වෙන්න අගමැති කෙනෙක් පාර්ලිමේන්තුවෙන් පත් කරගන්න ඒ විදියෙ තාක්ෂණික කාරණා ටිකක් මෙතැන තියෙනවා.   


?නමුත් අන්තිමට පාර්ලිමේන්තුවේ 225 ට තමයි බලය ගියේ?   


ඒ අර තාක්ෂණික කාරුණා නිසා. නමුත් අපි දේශපාලනික වශයෙන් කියනවා හැට නව ලක්ෂයක් ඡන්දය ගත් ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙනවා කියලා කිව්වාලු‍. තාමත් අපි ඒ ලියුම දැලකා නෑ. ඔහු රටින් ගියා. ඔහු විසින් පත් කරපු මන්ත්‍රී කෙනෙක් වෙන්නවත් ඡන්ද නොලබපු ඔහුගේ ආරක්ෂාවට පත්කළ පුද්ගලයා වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන් පත් කිරීම ඉතාම අසාමාන්‍ය තීරණයක්. අපි හිතනවා මෙතැනදී වඩා හොඳයි.... මොකද මෙතැන තියෙන්නේ සංක්‍රමණික අවදියක්. මාස හයෙන් අවුරුද්දෙන් ඉටුකළ යුතු කාර්යන් තියෙන්නේ. ඒවා එකක්වත් අපි කියන සමාජවාදී ප්‍රතිසංස්කරණ නොවෙයි. අපට තියෙනවා ලොකු ගමනක්. ඒ නිසා ජනාධිපති ධුරය අහෝසි කිරීම, මැතිවරණවලදී ධන කුවේරයන්ට සීමා කර ඇති තත්ත්වයන් වෙනස් කිරීම, ඕනෑම කෙනෙකුට ඉදිරිපත් විය හැකි මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම, අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ දේවල් ජනතාවගේ අයිතිය බවට පත් කිරීම, ළමා හා කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ජාතික ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් දීම.... ඔබ දන්නවා වතු කම්කරුවෝ නිදහසටත් කලින් ඉඳලා මේ රටේ ආර්ථිකය වෙනුවෙන් ජීවිත කැපකරපු මිනිස්සු. ඒත් අද වෙනතුරු ඉන්න තැනක් නෑ. නිවෙසක් නෑ. තාම ලැයිම් කාමරවල ඉන්නේ. ඒක දේශපාලනිකව ගත්තොත් රටේ පරාජයක්. ඒ නිසා රටේ නීතියෙන් ඒ ජනතාව සුරක්ෂිත කරන්න ඕනෑ. අන්න ඒ විදියේ දේශපාලන ප්‍රතිසංස්කරණ ටිකක් ඊළඟ ඡන්දෙදි බලය ගන්න ඉන්න කණ්ඩායම් මේ අන්තර්කාලීන වැඩපිළිවෙලේදී වගකීම් ගන්න එක ඒතරම් සුදුසු නෑ. ගෝඨාභයගේ ජනවරම අහෝසි වෙලා පොදු ජන පෙරමුණේ ජනවරමත් අහෝසියි. දැන් මේ විවිධ නම් ගම් ගැන කතාවෙනවා. නමුත් මේ සියලු‍ දෙනාම 20 වැනි සංශෝධනයට අත උස්සපු බැසිල් රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය සහිතව දේශපාලනය කරන්න ඉඩ දුන්නු පිරිස්. දැන් මේ හදිසියේ ජන අරගලයත් එක්ක සම්බන්ධයක් හදාගන්න ප්‍රගතිශීලී කතා කියනවා. ඒ වගේම සදාචාරාත්මක අයිතියකුත් නෑ තව දුරටත් ආණ්ඩු කරන්න. ඒ ගොල්ලන්ට දැන් තියෙන්නේ මේ ක්‍රියාවලියට සහයෝගය දීම පමණයි. අපි හිතනවා නිර්පාක්ෂික පැත්තෙන් ඒකට ඕනැ තරම් ක්‍රමවේද තියෙනවා. එහෙම එකකට අපිට එකඟ වෙන්න පුළුවන්. ඒ නිසා නම්ගම් අපි යෝජනා කරන්නේ නෑ. නිර්පාක්ෂිකයන් ප්‍රධාන වගකීම්වලට පත් කරගෙන මේ සංක්‍රමණික අවස්ථාව පසු කරන්න පුළුවන්.   


?ඇයි ඔබ නම් යෝජනා නොකරන්නේ.   


අපිට නම් යෝජනා කරන්න බැරි නම්ගම්වලට වඩා අපට ප්‍රධාන වශයෙන් තියෙන්නේ මේ ක්‍රියාවලිය පිළිගන්න ඕනෑ අරගලයේ යෝජනා. ඒවා තව වැඩි දියුණු කරගෙන.... මේවා අරගලයේ යෝජනා. අපිට තියෙනවා තවත් එහාට ගිය යෝජනා. නමුත් ඒවා ඔක්කොම මෙතැන බස්සන්න අපි බලාපොරොත්තු වෙන්නේ නෑ.

විශේෂයෙන්ම දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ කළ යුතුයි. මිනිසුන්ට ඉක්මණින්ම ආර්ථික සහන අවශ්‍යයි. ඒකට තමයි දේශපාලන ස්ථාවරත්වය අවශ්‍ය වන්නේ. ඒ නිසාම තමයි අරගලයේ යෝජනා සමග ආණ්ඩුකරණ ක්‍රියාවලිය යායුත්තේ. මේකට කවුද එකඟ කියලත් බලන්න ඕනෑ. ඒකයි නම් ගම් කියන්න බැරි.   
සජිත් ප්‍රේමදාස වගේම අනුර කුමාරත් කිව්වා රට බාරගෙන රට හදන්නම් කියලා.   


මම ඒකයි මුලිනුත් කිව්වේ නම් ගම් නොකියන්නේ අපට මුලින්ම දැන ගන්න ඕනෑ අරගලයේ ආමුණුවලට එකඟද කියලා. එතකොට මාස හයෙන් රටවල් හදන කතා ගැන කතා කළොත් ඒවා ගැන ජනතාවට අවබෝධයක් තියෙනවා. එක්තරා ආකාරයකට ඒවා දේශපාලන අරමුණු වෙනුවෙන් කියන ඒවා වෙන්න පුළුවන්. නමුත් දේශපාලන අර්ථයෙන් ඉතාම දුර්වලයි.   


?ඔබ සම්මුති ගැන කතා කළා. සම්මුති ගැන ඔබටත් අත්දැකීම් තියෙනවා. එහෙම සම්මුතියකට යටත් වෙලා 94 ජනාධිපතිවරණයේදී ජවිපෙ අපේක්ෂකයා ඉවත් කර ගත්තා. නමුත් විධායක ජනාධිපතිධුරය තවම තියෙනවා. ඔබ ඒ කාලේ හිටියෙ ජවිපෙයි?   


මේක ඇවිල්ලා පක්ෂයක් හැටියට යන සම්මුතියක් නොවෙයි. මේක ඇවිල්ලා සක්‍රිය වෙච්ච ජනතා බලයක්. ඒ නිසා මේක දේශපාලන පක්ෂයක් සමග යන සම්මුතියක් නොවෙයි. ඊට ඉඳුරාම වෙනස් එකක්. ඒකයි මම කිව්වේ මේ ජනතා බලය සක්‍රියව පවත්වාගැනීමෙන් විතරයි සම්මුතිය සාර්ථක වෙන්නේ. මෙතැනින් පස්සේ මේ රටේ දේශපාලනයේදී මේ ජන බල කුළුණ අඛණ්ඩව සක්‍රියත්වයෙන් පවත්වාගෙන යා යුතුයි. ඒ වෙනුවෙන් මේක ව්‍යුහාත්මකව ගොඩ නගාගත යුතුයි. එතකොට කොයි ආණ්ඩුවක් ආවත් මේ සම්මුතියත් එක්ක තමයි යන්න වෙන්නේ.

 

 

සාකච්ඡ කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්