(*** හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්)

කේවල ඡන්ද ක්‍රමය යටතේ  ජේ.ආර්. ජයවර්ධන මහතාට ලැබුණු  හයෙන් පහක බලයට වඩා සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු තුනෙන් දෙකක බලය බලවත් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි. ලාල්කාන්ත මහතා  පෙරේදා (30) පැවැසීය.

විස්ස කාගෙද කාටද යන මැයෙන්  මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී පෙරේදා (30) පැවැති සම්මන්ත්‍රණයකදී කේ.ඩී. ලාල් කාන්ත මහතා එසේ කීය.

ඔහු මෙසේ ද කීය.

අද පවතින මේ සියලු‍ දේවල්වලට  මුල 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 1977 දී ජේ. ආර්.  ජයවර්ධන මහතාට හයෙන් පහක බලයක් ලැබෙනවා කේවල ඡන්ද ක්‍රමය යටතේ.  මෙවර ගෝඨාභය රාජපකෂ මහතාට තුනෙන් දෙකක බලයක් ලැබිල තියෙනවා සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ. මේකෙන් වඩාත් බලවත් වන්නේ කොයි එකද? කේවල ක්‍රමය යටතේ  හයෙන් පහද, සමානුපාතික ක්‍රමය යටතේ තුනෙන් දෙකද බලවත්. ජේ. ආර්. ජයවර්ධන මහතාට හයෙන් පහක බලයක් ලැබෙන්න කලින් පැවැති ආණ්ඩුව යටතේ රට පත් වෙලා තිබුණ තත්වය ටිකක් බලන්න ඕන.

77 ට පෙර පැවැති සමගි පෙරමුණ ආණඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද ඒකට කිව්වේ සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක් කියලයි. අපි වවලයි අපි කන්නේ කියන සංකල්පයයි එදා තිබුණේ. ආර්ථිකය දේශීයයි. ඔහොම ගිහින් මොකද වු‍ණේ. ඇත්තටම කියනවානම් දේශීය ආර්ථිකය කියන එකම වාමාංශික නෑ. අපි ලෝක පුරවැසියෝ.  

පැපොලු‍ත් අපේ ඇපලු‍ත් අපේ. තිරිගුත් අපේ හාලු‍ත් අපේ. මිනිස් වර්ගයාගේ. අපි ලාංකික පුරවැසියෙක් වෙලා විතරක් මදි අපිට ලෝක පුරවැසියෙක්ගේ පංගුවකුත් තියෙනවා. අපි ලෝක වැසියෝ. ලෝක වැසියෝ කියන අයට අපි වවලයි අපි කන්නේ කියල එකක් තියෙනවද? මාක්සවාදය කියන කොටම ජාත්‍යන්තර වාදියි.  1977 ට පෙර මොකද්ද වුණේ. කන්න නෑ.  අඳින්න නෑ. ගමනක් බිමනක් යන්න නෑ. මගුල් ගෙයක් ගන්න බෑ. හාල් පොලු‍. වට්ටක්කා ගෙඩි අස්සේ හංගලා හාල් ගෙන යනවා. මුළු ආර්ථිකයම කඩා ගෙන වැටුණා. ඒක අසාර්ථකයි. අදත් අපි වවලයි අපි කන්නේ කියල ගියොත් මේ මොහොතේත් ඒක   අසාර්ථක වෙනවා.

අපිට හදා ගන්න පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවා.  අපි හදාගන්න දේවල්වලින් ටිකක් වෙන රටකට දෙනවා. අපිට නැති ඒවා වෙන රටවල්වලින් ගේනවා. එහෙම කර ගන්න ඕන. දූපත්වාසී මානසිකත්වයක් වාමාංශිකයින්ට කොහොමත් තියෙන්න බෑ. ඔය හත් අවුරුදු සාපය නිසා තමයි එදා ජේ.ආර්. ජයවර්ධන රජයට  හයෙන් පහක බලයක් ලැබුණේ.  හයෙන් පහක බලයක් ලැබුණේ ජනතාවගේ මෝඩකම නිසා නෙවෙයි. එදා තිබුණ සමාජ ආර්ථික ගැටලු නිසා ලැබුණු බලයක්.

අද සමහරු පුරුදු වෙලා  ඉන්නවා තමන් කැමැති පැත්තට ඡන්දය නොදුන්නොත් ඔවුන් මෝඩයින් කියල කියන්න. නමුත්  ලෝකයේ කිසිදු වාමාංශික ශාස්තෘවරයෙක් ජනතාව මෝඩයි කියල නෑ. ජනතාව මෝඩයි කියන කිසිම මිනිහෙක් වාමාංශිකයෙක් නෙවෙයි. අර වගේ ආර්ථික සාධක මත එදා හයෙන් පහක බලයක් ලැබුණා. ඒත්  ගෝඨාභය රාජපක්ෂ මහතාට කොහොමද තුනෙන් දෙකක බලයක් ආවේ.

ඔය කියන යහපාලන විගඩම රට පාලනය කරපු විදිහෙන් තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාට තුනෙන් දෙකක් ලැබුණේ. එදා ආර්ථික වශයෙන් රට අරාජික වුණා වගේ ගෙවුනු කාලයේත් රට අරාජික වුණා.  ආර්ථිකමය වශයෙන් අරාජික වුණේ නැතත් රට අරාජිකයි. මේක දේශපානිකව තේරුම් ගත්තහම මේ ඡන්ද ප්‍රතිඵල ගැන සමීක්ෂණ තියන්න මොකුත් ඕන  නෑ. මිනිස්සු බයට පත් වුණා ආරක්ෂාවක් නෑ කියල හිතුණා. ඔය වගේ දේවලු‍ත් එක්ක ගොඩනැගුණු අරාජිකත්වය තමයි ප්‍රධාන සාධකය බවට පත් කළේ  මේ තුනෙන් දෙකේ ශක්තිමත් බලයක් ලබා දෙන්න. යම් මොහොතක රටක් ආර්ථික සමාජිය වශයෙන් කඩා ගෙන වැටිල අරාජික වුණෙත්  ප්‍රබල වෙනසක් වෙනවා. 1977 ත් එහෙමයි.  අදත් එහෙමයි.

අපට 19ටත් විවේචන තියෙනවා ඒ වගේම 20 ත් අහෝසි කරන්න ඕන. 20 න් ශක්තිමත් කරන්න ඕන ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමයි රාජ්‍යයේ මැදිහත් වීමයි. ධනපති ක්‍රමය තුළ ස්වාධින රාජ්‍ය සේවයක් ස්වාධින අධිකරණයක් 19 කියල සුරංගනා ලෝකයක් තිබුණා දැන් අපායක් එනවා වගෙයි හිතන්නේ. එහෙම එකක් නෑ. 19 යේ යම් මට්ටමකට  කෑල්ලක් දෙකක් තියෙනවා. නිදහසේ කොටස් දෙකක් තියෙනවා එකක් පුද්ගල නිදහස අනෙක සමාජ නිදහස 20 වන සංශෝධනයෙන් පුද්ගල නිදහසට වන බාධාව මොකද්ද කියල බලන්න ඕන  මේ විසි වන සංශෝධනයෙන් පුද්ගල නිදහසට සහ අයිතිවාසිකම්වලට බලවත් හානියක් සිදු කරනවා. ජනතාවට සිය අවශ්‍යතාවයන් සඳහා එක් රැස්වෙන්න සමිති පිහිටවන්න අයිතියක් තියෙනවා. ඒක සමාජ නිදහස. 1983 දී ජේ.ආර්. ජයවර්ධන මහතා පක්ෂ තුනක් තහනම් කළා සමාජ නිදහස තමයි එදා ඒ අහිමි කළේ. රාජ්‍ය  බිහිවෙච්ච දවසේ ඉඳලම පීඩාවට පත් කරනවා. සූරා කනවා. රාජ්‍ය බිහිවන්නෙම ඒකත් එක්කමයි. රටට ගේන සංශෝධනයකින් අපට ඕන සමාජ නිදහස. මේ පාලනය සමාජ බහුවිධත්වය පිළිගන්නේ නෑ.

මෙම සම්මන්ත්‍රණය අමතා අධිනීතිඥ ලාල් විජේනායක මහතා ඇතුළු කිහිප දෙනෙක්ම කතා කළහ.