අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්‍ඩ කීපයකම මිල ඉහළ යෑමත් රසායනික පොහොර හිඟයත් ඉකුත් දිනවල දේශපාලන කරළියේ ආන්දෝලනයක් ඇති කරන්නට සමත්විය. සහල්, සීනි, ගෑස් සහ සිමෙන්ති ආදී භාණ්ඩ නොසිතූ පරිදි ඉහළ නැගීමෙන් ජනතාව පීඩාවට පත්ව ඇතැයි කියමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ රටපුරා තැන් තැන්වල විරෝධතා මතු කළේය. ගෑස් මිල ඉහළ නැංවීමට විරෝධය දැක්වීමක් ලෙස ඇතැම් පිරිස් කිරිබත් කමින් ආණ්ඩුවට විරෝධය දැක්වූහ. ‘මේ ආණ්ඩුව බලයට පත්වූ සතුටට ඇතැම් පිරිස් කිරිබත් කෑවා. දැන් ගෑස් විතරක් නෙමෙයි අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවකම මිල ඉහළයි. ඒ සතුට අදත් බුක්ති විඳින්න ඕනේ. ඒ නිසා අපි කිරිබත් කනවා’ යැයි විපක්ෂයේ දේශපාලනඥයෝ පැවසූහ.

මේ අතර ආණ්ඩුවේ මැති ඇතිවරුන් කියන්නේ වෙනත් කතාවකි. ‘ලෝකයේ තෙල් ගෑස් මිල නැගලා. මේක ලෝක අර්බුදයක්. කොරෝනා අර්බුදයත් තියෙනවා. මිල ඉහළ යාම තාවකාලිකයි. මිල අඩුවූ වහාම පළමු අවස්ථාවේදීම අපි මිල අඩුකරනවා. මේ අවස්ථාවේ වෙන කරන්න දෙයක් නැහැ.’

පොහොර අර්බුදයද දිග්ගැස්සෙමින් යන බවක් පෙනෙන්නට තිබේ. මහ කන්නය ආරම්භවී ඇතත් ගොවීන් තවමත් වැඩ පටන්ගෙන නැත. කෘෂිකාර්මික ප්‍රදේශ ගණනාවකම ගොවි උද්ඝෝෂණ දිනපතාම පාහේ පැවැත්වේ. රසායනික පොහොර තහනම් කිරීම සහ කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ ආණ්‍ඩුවේ ප්‍රතිපත්තිමය තීන්දුවකි. ජනාධිපතිවරයා ඒ සඳහා විශේෂ උනන්දුවකින් කටයුතු කරයි. ගොවි උද්ඝෝෂණවලදී දැඩිලෙස දෝෂාරෝපණයට ලක්වන්නේ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේය. රසායනික පොහොර ඉල්ලා සිදුකරන හැම උද්ඝෝෂණයකම පාහේ කෘෂිකර්ම ඇමැතිවරයාගේ අනුරුවක් ප්‍රදර්ශනය කරමින් ගොවීහු විරෝධතා දක්වති. මේ අතර රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ පොහොර ප්‍රශ්නය විසඳන ලෙස ආණ්‍ඩුව ඇතුළෙන්ම ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් එල්ල වන්නට පටන් ගෙන තිබෙන බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙන්ම හවුල්කාර පක්ෂවල මැති ඇමැතිවරුද අදහස් පළකරමින් රසායනික පොහොරවල අවශ්‍යතාව ගැන කරුණු කියන්නට පටන්ගෙන තිබේ. ආණ්‍ඩුවේ මැති ඇමැතිවරුන් 40 දෙනකු පමණ අත්සන් කරමින් ජනාධිපතිවරයාට ලිපියක්ද යවා තිබේ. එම ලිපියෙන් ඉල්ලා තිබුණේ රසායනික පොහොර තහනම ඉවත් කරන ලෙසය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් තවමත් ඊට ඍජු විසඳුමක් ප්‍රකාශයට පත් කර නැත.
පළාත් සභා ඡන්දය ලබන වසරේ මුල පැවැත්වීමට ආණ්‍ඩුව මුලින් අදහස් කර තිබුණත් ඒ සඳහා නීතිමය ගැටලුවක් හටගෙන තිබේ. නීතිපතිවරයා දැනුම්දී ඇත්තේ පැරණි පනතට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බවය. පළාත් සභා මැතිවරණ පනත අහෝසි කර පළාත් සභා සඳහාද නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීමට යහපාලන ආණ්‍ඩුව උත්සාහ ගත්තේය. එහෙත් පළාත් සභාවල සීමා නිර්ණ පාර්ලිමේන්තුවේ සම්මත වූයේ නැත. එවකට පළාත් සභා විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා පාර්ලිමේන්තුවට තමන් විසින්ම ඉදිරිපත් කරන ලද සීමා නිර්ණ පනත් කෙටුම්පත පරාජය කිරීමට කටයුතු කළේය. එවක රජයේ අගමැති රනිල් වික්‍රමසිංහ ද පළාත් සභා ඡන්දය කල්දැමීමට කටයුතු කළේය. ඊට එවකට කතානායක කරු ජයසූරියද සහාය දැක්වීය. රනිල්ට නීතියෙන් ලැබී තිබූ බලතල භාවිත කරමින් සීමා නිර්ණ පනත් කෙටුම්පතට වලංගුතාවයක් ලබාදීමට හැකියාව තිබුණද ඔහු පනත් කෙටුම්පතට අත්සන යෙදුවේ නැත. එතැනින් නැවතුන පළාත් සභා ඡන්ද වසර කීපයකින් පමාවී තිබේ. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලබන වසරේ සම්මත කර ගන්නා බවය. නව ඡන්ද ක්‍රමයක්ද ලබන වසරේ සම්මත කර ගැනීමෙන් පසුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට හැකිවනු ඇතැයිද ආණ්‍ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර පළාත් පාලන මැතිවරණයද ලබන වසරේ පැවැත්විය යුතුය. පළාත් පාලන මැතිවරණය 2018 වසරේ පැවැති අතර 2022 වසරේ පළාත් පාලන ආයතනවල නිලකාලය නිමවීමට නියමිතය. ඒ අනුව ලබන වසරේ මැතිවරණ දෙකකට ජනතාවට මුහුණදීමට සිදුවනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ගෝඨාභය රාජපක්ෂ ආණ්‍ඩුවේ ඉදිරිගමන තීරණයවීම සඳහා එම මැතිවරණ වැදගත් සාධකයක් වනු ඇතැයිද දේශපාලන විචාරකයෝ පවසති.

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගස ඡන්ද දායකයකු ලෙස සුදුසුකම් ලැබීමේ ක්‍රමයක් මෙතෙක් ක්‍රියාත්මක වූයේ නැත. මැතිවරණ කොමිසම බොහෝ කාලයක සිටම එවැනි ක්‍රමයක් ස්ථාපිත කිරීමට විවිධ උත්සාහ ගත්තේය. මේ වන විට එහි ප්‍රතිඵලය ලැබී තිබේ. ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ඉකුත්දා පාර්ලිමේන්තුවේ සම්මත විය. ඒ අනුව වයස අවුරුදු 18 ඉක්මවූ විගස පුද්ගලයකුට දැන් ඡන්ද අයිතිය හිමිවේ. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රසාදය පළ කර තිබුණේය. ‘‘මෙම පනත් කෙටුම්පත සම්මත වීම නිසා ඒ පිළිබඳව සුවහසක් බලාපොරොත්තු තැබූ රටේ අනාගත භාරකරුවන් වන යෞවන යෞවනියන්ගේ ජයග්‍රහණයක් මෙන්ම ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කිරීමක්ද වෙනවා’’. යනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබුණේය.

පැන්ඩෝරා පත්‍රිකාවල හෙළිදරව්ව සම්බන්ධයෙන් මාර්තු 12 ව්‍යාපාරයද විශේෂ අවධානයක් යොමුකර තිබේ. ‘අල්ලස හා දූෂණය මෙන්ම අප්‍රකාශිතව ධනය රැස් කිරීම මේ රටේ සුලභව දක්නට තිබේ.

1978 වසරේ හඳුන්වාදුන් විවෘත ආර්ථික පිළිවෙත නිසා එවැනි තත්ත්වයක් ඇතිවීම නොරහසකි. වඩාත් සැලකිය යුතු මට්ටමේ දුර්විපාකයක් වූයේ එකී ආර්ථික හා සමාජ පෙරළිය හමුවේ සමාජ අපවාදයට පත් යම් පිරිසක් මේ රටේ ව්‍යවස්ථාදායකය හෙබවීම හා නීති සම්පාදකයන් බවට පත්වීමයි. එහි අවසන් ප්‍රතිඵලය බවට පත්ව ඇත්තේ වෙන අන්කවරක් හෝ නොව දේශපාලනය හා දේශපාලනඥයන් අප්‍රසාදයට පත්වීමයි’ යැයි මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කරයි.

භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්‍ඨ දේශපාලනඥයකු මෙන්ම ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජිකයකුද වන සුබ්‍රමනියම් ස්වාමි ඉකුත්දා දිවයිනට පැමිණියේය. සුබ්‍රමනියම් ස්වාමි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවූ අතර අගමැතිවරයා සමඟ අරලියගහ මන්දිරයේ පැවැති නව රාත්‍රී පූජාවටද එක්වූයේය.

ඉන්දියාවේ ප්‍රබල දේශපාලනඥයකු වන ඔහු අමාත්‍යධුර කිහිපයකම වගකීම දැරූ දේශපාලනඥයෙක්. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ මිත්‍රත්වය ශක්තිමත් කිරීමට බොහෝ කලක සිට ඔහු කැපවී ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉන්දියාව සහාය ලබාදිය යුතු බවද ඔහු ප්‍රකාශ කර තිබුණේය. ආර්ථික විද්‍යාඥයකු සහ සංඛ්‍යා ලේඛනඥයකුද වන සුබ්‍රමනියම් මහතා මීට පෙරද ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබේ.

මේ අතර ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන ද දිවයිනට පැමිණියේය. ඔහු පිළිගැනීම සඳහා අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ විශේෂ උත්සවයක්ද සංවිධානය කර තිබීම විශේෂත්වයකි. ඔහු ජනාධිපතිවරයා අගමැතිවරයා හමුවූ අතර කලාපීය ආරක්ෂාව වෙනුවෙන් අසල්වාසී රටවල ස්ථාවරභාවය ඉහළින් අපේක්ෂා කරන බවද ඉන්දීය යුද හමුදාපතිවරයා අවධාරණය කර තිබුණේය.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික ජීවන් ත්‍යාගරාජාට ඉකුත් දා නව තනතුරක් හිමිවිය. ජීවන් ත්‍යාගරාජා උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස දිව්රුම් දුන්නේය. ඔහු දිව්රුම් දුන් දවසේම හිටපු ආණ්ඩුකාරවරිය පී.එස්.එම්. චාල්ස් කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූවාය. උතුරේ ආණ්ඩුකාරවරයාගේ කොළඹ කාර්යාලයේදී එම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවති අතර එහිදී ආණ්ඩුකාරවරිය කීවේ උතුරේ පාසල් විවෘත කරන වැඩපිළිවෙළය. මාධ්‍යවේදීන් ආණ්ඩුකාරවරියගෙන් විමසා සිටියේ උතුරට නව ආණ්ඩුකාරවරයෙක් පත්වන්නේද කියාය. එහෙත් චාල්ස් එය පිළිගත්තේ නැත. ‘‘මට තවම කවුරුත් ඒ ගැන කියලා නැහැ. මම ඒ ගැන දන්නෙ නැහැ. මම තමයි ආණ්ඩුකාර’’ යැයි චාල්ස් කීවාය. ඒත් ඊට පැය කීපයකට පසු ජීවන් ත්‍යාගරාජා ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දුන්නේය.

මැතිවරණ කොමිසමේ සාමාජික සංඛ්‍යාව පහකි. මේ වන විට එහි සාමාජික සංඛ්‍යාව හතර දක්වා අඩු වී තිබේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මැතිවරණ කොමිසමේ පුරප්පාඩු තනතුරට හිටපු ආණ්ඩුකාර චාල්ස් පත්කිරීමට නියමිත බවය ‘‘මැතිවරණ කොමිසමේ ගණපූර්ණය තුනයි. ඒ නිසා කොමිසමට රැස්වීමට බාධාවක් නැහැ. මැතිවරණ කොමිසම පත්වන විට සියලු ජාතීන් නියෝජනය වන ආකාරයට පත්කිරීමට සිදුවෙනවා. පුරප්පාඩුව තිබෙන්නේ දෙමළ නියෝජනය. ඒ සඳහා දෙමළ ජාතිකයකු පත්කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි.’’ යැයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් පැහැදිලි කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ නිලධාරීහු ඉකුත්දා සිරිකොතදී රැස්වූහ. එහිදී රටේ තත්ත්වය ගැන රනිල් පැහැදිලි කිරීමක් කළේය. ‘‘ලෝක ආර්ථික අර්බුදය හමුවේ රටේ ආර්ථික කළමනාකරණය කර ගන්න ආණ්ඩුවට බැරිවෙලා 2022 වසර කියන්නේ ජනතාවට තවත් පීඩා ගෙන දෙන වසරක්. ජනතාවට අද ජීවත් වෙන්න විදියක් නැහැ. අපි ජනතාවට එක්සත් ජාතික පක්ෂයේ සැලසුම කියන්න ඕනේ. විපක්ෂයේ කවුරුත් ඔවුන්ගේ සැලසුම ඉදිරිපත් කරලා නැහැ’’ රනිල් පැහැදිලි කර දුන්නේය.

ඉන්පසුව අදහස් පළකළේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනය. ‘‘කාබනික  පොහොර ව්‍යාපෘතියක් එක පාරම ගොවියාගේ ඔලුව උඩට අත හැරලා වගාකරන්න කියනවා. පොහොර නැතිව කුඹුරුකරන්නෙ කොහොමද මහ කන්නය ආරම්භ කරන්න තව තවත් කල්යනවා’’ රුවන් තමන්ට ලැබුණු තොරතුරු හෙළි කළේය. ඉන් අනතරුව අදහස් කීවේ ආශු මාරසිංහය

ගුරු සංගම් තමන්ගේ ප්‍රශ්නය අවසන් කරන්න කියලා හිතාගෙන  ගියත් අගමැති කාර්යාලය නිකුත් කළ ඡායාරූපයක් නිසා වර්ජනය දික් ගැස්සුනාය කියලා කතාවක් පැතිර යනවා’’ ආශු මාරසිංහගේ කතාවට අකිල විරාජ් අගුල්පත් තැබීය.

‘‘ඔව් ඒ කතාව මටත් ආරංචි වුණා. මේ ප්‍රශ්නය විසඳන්න 2018 අය වැයෙන් යෝජනා කරලා තිබුණේ. 2019 දී අපි සැලසුමක් සකස් කළා. 2020 පළමු කාර්තුවේ සිට ගෙවන්න තමයි තීරණයක් ගත්තේ. ආණ්ඩුව ඒ සැලසුම ඉදිරියට ගෙන ගියේ නැහැ. අරලියගහ මන්දිරයේ සාකච්ඡාවේදී ප්‍රශ්නය විසඳන්න තිබුණා. අගමැති හා ස්ටාලින්ගේ ඡායාරූපය නිසා ගුරු සංගම් ස්ථාවරය දැඩි කළා’’ යැයි අකිල කීවේය.

(*** කස්තුරි)