IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මානව බැඳිම් උත්කර්ෂයට නංවන චැම්පියන්ස්

පිච්චැර් පිස්සා

 

මාර්කෝ මොන්ටේස් ස්පාඤ්ඤයේ ප්‍රධාන පෙළේ පැසිපන්දු (Basketball) කණ්ඩායමක දෙවැනි පුහුණුකරු ලෙස කටයුතු කරන කෙනෙක්.

කෙසේ නමුත් එක්තරා උද්වේගකර තරගයක් අතර ඇති වන මතභේදයක් දුරදිග ගිහින් ඔහු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුට පහර දෙනවා. මාර්කෝ ඉක්මනින් කේන්ති ගන්නා, නිතර නොසන්සුන් සිතින් පසුවන කෙනෙක්.  ඉහත සිද්ධිය නිසා ඔහුට පුහුණුකරු තනතුර මෙන්ම රැකියාව ද අහිමි වෙනවා.

මෙයින් ඇති වන සිත් පීඩාව නිසා මාර්කෝ එදින රාත්‍රියේ අවන්හලකට ගොඩ වැදී  මත්පැන් පානය කරන අතර ඉන්පසු බීමතින් රිය පදවන්නට ගොස් මෝටර් රථය තවත් රථයක හප්ප ගන්නවා. ඔහුගේ නරක වෙලාවට ඒ අනෙක් රිය පොලිස් රථයක්.

මාර්කෝ උසාවිය හමුවට ඉදිරිපත් කෙරෙන  අතර එහි සිටින විනිසුරුවරිය ඔහුට දඬුවම් දෙකකින් එකක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දෙනවා. එකක් නම් මාස 18 ක සිර දඬුවමක්. අනෙක මාස තුනක ප්‍රජා සේවා කටයුත්තක්. මෙහි දී මාර්කෝ තෝරාගන්නේ දෙවැනි දඬුවම යි. ඒ අනුව ඔහුට පැවරෙන ප්‍රජා සේවා කටයුත්ත වනුයේ විශේෂ අවශ්‍යතා සහිත (ආබාධ සහිත) පුද්ගලයන්ගෙන් සමන්විත පැසි පන්දු කණ්ඩායමක පුහුණුකරු ලෙස කටයුතු කිරීම යි. මෙම කණ්ඩායමේ සියලු දෙනාම අඩු බුද්ධි වර්ධනයක් සහිත පුද්ගලයන්. කෙසේ හෝ වේවා ඔවුන් මෙවැනි කණ්ඩායම් සහභාගි වන පැසිපන්දු  තරගාවලියකට ඉදිරිපත් වීමටත් සූදානමිනුයි ඉන්නේ.

මෙම රාජකාරිය භාර ගෙන වැඩි වේලාවක් යන්නට පෙර මාර්කෝට එය එපා වෙනවා. මෙම ආබාධ සහිත පුද්ගලයන් කිසිසේත් පැසිපන්දු ක්‍රීඩාව සඳහා පුහුණු කළ හැකි පිරිසක් නොවන බවක් ඔහුට හැඟෙන්නට පටන් ගන්නවා.

මෙබඳු  පුද්ගලයන් ගැන ඔහු තුළ තිබෙන ආකල්පයත් එතරම් හොඳ එකක් නොවෙයි. බොහෝ සම්ප්‍රදායික උදවිය මෙන්ම මාර්කෝත් ඔවුන් දෙස බලන්නේ "පහත්" සහ "දුර්වල"  සත්ව කොට්ඨාසයක් දෙස බලන සමච්චල් සහගත ආකාරයෙනු යි.

ඔහු නැවත  විනිසුරුවරිය හමු වී තමාට ලැබුණු මේ දඬුවම වෙනස් කර ගැනීමට උත්සාහ කළත් එය හරි යන්නේ නැහැ. ඒ නිසා අවසානයේ මාර්කෝට අකැමැත්තෙන් වුවත් මේ කණ්ඩායම සමග වැඩ කරන්නට සිදු වෙනවා.

ස්පාඤ්ඤ සිනමාපටයක් වන Champions චිත්‍රපටයේ කතාපුවත ආරම්භ වන්නේ මේ ආකාරයෙනු යි. එයින් පසු චිත්‍රපටය ඉදිරියට යන්නේ මාර්කෝ මෙම අපූරු කණ්ඩායම තරගාවලිය සඳහා පුහුණු කිරීමට ගන්නා උත්සාහය හරහා යි.

2018 වසරේ නිෂ්පාදනය වූ Champions අති විශාල ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනාගන්නට සමත් වූ සිනමාපටයක්. එම වසරේ නිර්මාණය වූ ස්පාඤ්ඤ චිත්‍රපට අතරින් වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපටයත් එය යි. එමෙන්ම 2019 වසරේ ඔස්කාර් සම්මාන උළෙල වෙනුවෙන් ස්පාඤ්ඤය ඉදිරිපත් කළේත් මෙම චිත්‍රපටය යි.

බොහෝ විට සමාජයෙන් කොන් කිරීමට ලක් වන, සරදමට, අවඥාවට ලක් වන මෙවැනි අඩු බුද්ධි වර්ධනයක් සහිත පුද්ගලයන් දෙස දයාර්ද්‍ර බැල්මක් හෙළන්නට මේ සිනමාපටය සමත් වෙනවා. ඔවුන්ගේ කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස පත්වන මාර්කෝ පවා මුලින් ඔවුන් දෙස බලන්නේ එවැනි ආකල්පයකින්. නමුත් ඔවුන් සමග වැඩ කරගෙන යාමේ දී, ඔවුන් ගේ ජීවිතවලට වඩාත් සමීප වෙද්දී මාර්කෝ ගේ මේ අදහස් කෙමෙන් වෙනස් වීමට පටන් ගන්නවා.

මාර්කෝත් සියයට සියයක් පරිපූර්ණ පුද්ගලයෙක් නොවෙයි. ඔහු සහ ඔහුගේ ජීවන සහකාරිය වන සෝනියා අතරත් මේ වනවිට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඇයට දරු සුරතල් බැලීමේ මහත් ආශාවක් තිබුණත් මාර්කෝ ඊට කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ නිසා මාර්කෝ සහ සෝනියා අතර යම් දුරස් වීමක් ඇති වී තිබෙනවා. එමෙන්ම ඔහු සිය මව සමගත් සමීප බැඳීමක් පවත්වන්නේ නැහැ. මාර්කෝ අනෙකාගේ හැඟීම්, අවශ්‍යතා ගැන වැඩි තැකීමක් නැති කෙනෙකු හැටියටයි චිත්‍රපටයේ මුල පටන්ම අප දකින්නේ. ඒ අරුතින් ඔහුත් යම් ආකාරයක "ආබාධයකින්" පෙළෙන්නෙකු ලෙස සැලකිය හැකියි.

කෙසේ හෝ වේවා, මාර්කෝ ආබාධ සහිත පුද්ගලයන් ගේ කණ්ඩායම සමග වැඩ කරද්දී, ඔවුන්ගේ ජීවිත පිළිබඳ සංවේදී වෙද්දී මාර්කෝ ගේ මේ ස්වයං කේන්ද්‍රීය ස්වභාවය වෙනස් වී ඔහු අනෙකා ගැන වඩාත්  සංවේදී වන පුද්ගලයකු බවට පත් වෙනවා. එපමණක් නොවෙයි, මෙම අපූරු පැසි පන්දු කණ්ඩායම සමග වැඩකිරීම ඔහුගේ ජීවිතයට නව අරුතක්, වටිනාකමක් එක් කිරීමටත් සමත් වෙනවා. ඒ හරහා මාර්කෝ ද ඔහුගේ "ආබාධිත" බවින් ගොඩ එන්නට සමත් වෙන ආකාරයක් දැකිය හැකියි.

මාර්කෝ තුළ මේ වෙනස ඇති කිරීමට ඔහුගේ සහකාරිය සෝනියාගෙනුත් ලොකු  රුකුලක් ලැබෙනවා. කතාවේ එක් අවස්ථාවකින් පසු ඇයත් පැසි පන්දු කණ්ඩායමට උදව් කිරීමට ඉදිරිපත් වන අතර ඇය සහ කණ්ඩායමේ සාමාජිකයන් අතර ඇති වන බැඳීම මාර්කෝ දකිනවා. ඇය ඔවුන්ට සලකන ආදරණීය ආකාරය ඔහු දකිනවා. ඒ තුළිනුත්  මාර්කෝ බොහෝ දේ ඉගෙන ගන්නවා.

ඔහුගේ සහකාරිය සෝනියා කොහොමටත් මාර්කෝට වඩා මෛත්‍රියෙන්, කරුණාවෙන් යුතු කාන්තාවක් හැටියටයි ඉදිරිපත් වන්නේ. ඇගේ නිවසේ එක් ජවනිකාවක දී  එහි පසුබිමේ  ඇති බුද්ධ ප්‍රතිමාවක් කිහිප වරක්ම අවධාරණය වෙනවා. එය සෝනියා තුළ ඇති මෛත්‍රී සහගත බව,  කරුණාවන්තභාවය පිළිබිඹු කිරීමට යොදාගත් සංකේතයක් හැටියටයි මට දැනුණේ.

 

 

අවසානයේ මාර්කෝ සහ සෝනියා අතරත් අලුත් බැඳීමක් ඇති කිරීමට  මේ සිදුවීම් දාමය සමත් වෙනවා. මවක වීමට සෝනියා තුළ ඇති ආශාවට මාර්කෝ විරුද්ධ වන්නේ මන්ද යන්න ප්‍රේක්ෂකයාට හෙළි වන්නේ චිත්‍රපටයේ අවසන් හරියේදී යි. සෝනියා ඒ වනවිට වයස අවුරුදු 40 ඉක්ම වූ කෙනෙක්. මාර්කෝ සිතන්නේ මේ වයසේ දී  බුද්ධිමය දුබලතා ඇති දරුවන් බිහි කිරීමට වැඩි ඉඩක් ඇති බව යි.
කෙසේ හෝ වේවා, චිත්‍රපටය අවසන් වන්නේ මාර්කෝ ද දරුවකු හැදීමට එකඟ වෙමින්.

Champions චිත්‍රපටය ගැන එක් වැකියකින් සඳහනක් කළහොත් එය හැඳින්විය හැක්කේ අන්තර්කරණය (Inclusiveness)  පිළිබඳ කතාවක් කියන චිත්‍රපටයක් හැටියට යි.

මෙහි අධ්‍යක්ෂවරයා හාවියර් ෆෙසර්.

Champions සිනමාපටය  ඇසුරෙන් භාෂා කිහිපයකින් ම චිත්‍රපට නිර්මාණය වූ අතර  අලුත්ම චිත්‍රපටය නිෂ්පාදනය කෙරුණේ බොලිවුඩයේ යි. ආමීර් ඛාන් නිෂ්පාදනය කළ මේ සිනමාපටය නම් කර ඇත්තේ "සිතාරේ සමීන් පාර්" යනුවෙන්. මෙයට වසර කිහිපයකට පෙර ආමීර් විසින්ම අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන ලද "තාරේ සමීන් පාර්" චිත්‍රපටය ඉන්දියානු චිත්‍රපට නරඹන බොහෝ  සිනමාලෝලීන්ට මතක ඇතුවාට සැකයක් නැහැ. එම චිත්‍රපටයේ දෙවැනි චිත්‍රපටයක් හැටියටයි සිතාරේ සමීන් පාර් නිර්මාණය වුණේ.

2007 වසරේ ප්‍රේක්ෂකයන් හමුවට ආ තාරේ සමීන් පාර් චිත්‍රපටයට පසුබිම් වූයේත් ඩිස්ලෙක්සියා නමැති ආබාධිත තත්වයකින් පෙළුණු කුඩා දරුවකු සහ ගුරුවරයකු පිළිබඳ කතාවක්. එවැනි දරුවන් පිළිබඳ අතිශය දයාර්ද්‍ර බැල්මක් හෙළන්නට තාරේ සමීන් පාර් ද සමත් වුණා.

එම චිත්‍රපටයේ මෙන්ම සිතාරේ සමීන් පාර් චිත්‍රපටයේත් ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ආමීර්. ලබන ජුනි 20 වැනි දින එය ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිත යි.

 



අදහස් (0)

මානව බැඳිම් උත්කර්ෂයට නංවන චැම්පියන්ස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site