IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජීවිතය එපා වූ තරුණිය⁣කගේ ඛෙිදවාචකය ’’පර්ල්’’

පිච්චැර් පිස්සා


කෙනෙකුගේ සිතේ ජීවිතය ගැන ඇති වන බලාපොරොත්තු, සිහින, ප්‍රාර්ථනා ආදිය උග්‍ර වන තරමට ඒවා ඉටු නොවී බිඳ වැටුණු විට ඇති වන වේදනාව, ඉච්ඡා භංගත්වය, කාංසාව වැනි හැඟීම් ද දරුණු වේ. දුර්වල, අසමතුලිත මනසක් ඇති කෙනෙකුට මෙම හැඟීම් දරා ගැනීම ඉතා අපහසු වීමට පිළිවන. ඇතැම් පුද්ගලයන්  දිවි නසා ගැනීම වැනි ක්‍රියා සඳහා යොමු වන්නේ ද එවන් අවස්ථාවල ය.
මේ ආකාරයෙන් මානසිකව කඩා වැටුණු සමහර කෙනකු සමාජයට සහ තමා වටා සිටින අයට වෛර කරන තත්වයට පවා පත්වීමට පිළිවන. ඇතැම් අවස්ථාවල මෙවන්  කෙනකු තුළ මිනීමරු ආවේගයන් පවා රෝපණය වී වර්ධනය  වන්නට ඉඩ තිබේ.

පසුගිය දිනෙක මා නැරඹූ Pearl  නමැති මාහැඟි චිත්‍රපටය ද මෙවැනි තත්වයකට පත්වන තරුණ කාන්තාවක කේන්ද්‍ර කරගත් නිර්මාණයකි.  මෙම සිනමා කෘතිය 2022 වසරේ නිෂ්පාදනය වූවකි.
පර්ල් යනු මෙම තරුණියගේ නම වන අතර චිත්‍රපටය 1918 ඇමෙරිකාවේ ඈත පිටිසර ගමක සිදුවන සිදුවීම් පෙළක් පසුබිම් කරගනී.
එය පළමුවැනි ලෝක යුද්ධය පැවැති කාලය යි. එමෙන්ම ස්පාඤ්ඤ උණ (Spanish Flu) නම් වූ මහා වසංගතය පැතිරුණේ ද මේ කාලයේදී යි. එය බොහෝ අංශවලින් කොවිඩ් වසංගතයට වඩා දරුණු වසංගතයක් විය. මිලියන 50 කට ආසන්න සංඛ්‍යාවක් මෙයින් මිය ගිය බව විශ්වාස  කෙරේ.
පර්ල් ගේ සැමියා, හෝවර්ඩ් ඒ වනවිට සිටින්නේ යුද පෙරමුණට ගොසිනි. පර්ල් ඇගේ මවත්, පියාත් සමග ඉහත කී ගම්මානයේ පිහිටා ඇති ඔවුන්ගේ ගොවිපළේ වාසය කරයි. අංශභාග රෝගයට ගොදුරු වී සිටින ඇගේ පියා පසුවන්නේ කිසිදු වැඩක්පලක් කර ගැනීමට නොහැකි තත්වයක ය. ශරීරයේ පැත්තක් අප්‍රාණික ඔහු ගේ ජීවිතය රෝද පුටුවකට සීමා වූවකි.
ඒ නිසා ගොවිපළේ සහ නිවසේ සියලු කටයුතු මදිවාට පර්ල්ටත්,  මවටත් ඔහුට සාත්තු සප්පායම් කිරීමේ කටයුතු ද කරන්නට සිදු වී තිබේ. මේ නිසා පර්ල් සහ මව ගත කරන්නේ කායිකව මෙන්ම මානසිකව ද වෙහෙසකර, පීඩාකාරී ජීවිතයකි.
පර්ල්ට කොහොමටත් මේ පිටිසර ගම්මානයේ ගොවිපළට කොටු වූ ජීවිතය රුස්සන්නේ නැත. ඇයට එයින් සතුටක්, තෘප්තියක් නොලැබේ. ඇයට හොඳ නර්තන හැකියාවක් ඇති අතර කවදා හෝ නගරයට ගොස් සිනමා තාරකාවක් වීමේ දැඩි සිහිනයක්, අපේක්ෂාවක් ඇය තුළ වෙයි. ඇගේ මුළු ජීවිතයම ඉදිරියට යන්නේ මෙම සිහිනය පදනම් කරගෙන ය.
නමුත් ගොවිපළේ ඉටු කිරීමට ඇති කටයුතුත්, මවගේ ආධිපත්‍ය‍යත් ඇගේ මේ සිහිනයට හරස් වෙයි. සැමියා  රෝගියකු වීම නිසා රූත්, එනම් පර්ල් ගේ මව ද ජීවත් වන්නේ ඇගේ ජීවිත සිහින බිඳ වැටුණු තත්වයක ය.  සැමියාට සාත්තු කරමින් සහ පවුලේ වගකීම් සම්පූර්ණයෙන් හිස මත දරා ගනිමින්  රූත් ගත කරන්නේ ඇය බලාපොරොත්තු වූ සුන්දර ජීවිතය නොවේ. තමා එවැනි අවාසනාවන්ත ජීවිතයක් ගත කරද්දී   පර්ල් ඇගේ සිහින හඹා යාම ඇය තුළ නොරුස්නාකමක්  ඇති කරන බව පෙනේ. ඒ සම්බන්ධයෙන් රූත් තුළ යම් ඊර්ෂ්‍යාවක් ඇති බවට ද ඉඟි පළ වේ. මේ මනසික තත්වය තුළ ඇය සිය දියණියට ඇගේ සිහින පසුපස යාමට ඉඩ දෙන්නේ නැත.
සිනමා තාරකාවක් බවට පත් වී, මිනිසුන්ගේ ආදරයට, ගෞරවයට පාත්‍ර වීමට, ප්‍රසිද්ධ වීමට දැඩි ආසාවෙන් සිටින පර්ල්ට මෙය විශාල පීඩනයක් සහ කාංසාවක් ( Anxiety ) ඇති කරන තත්වයකි. සිය ජීවිතයට  අරුතක්, වටිනාකමක් ලැබෙන්නේ මෙම ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය ළඟා කරගතහොත් පමණක්‍ ය යන්න ඇගේ විශ්වාසය යි. එම තත්වයට ළඟා වීමට නොහැකි වුවහොත් තමාගේ ජීවිතයේ තේරුමක් නැතැයි යන දැඩි හැඟීමක් ඇය තුළ වෙයි.
මේ අතර යුද්ධයට ගොස් සිටින සැමියා ඇය ළඟ නැති වීම නිසා ඇයට ආදරය කිරීමට, ඇයව තේරුම් ගැනීමට කිසිවෙකු ද නැත. එමෙන්ම පර්ල් ගේ  ලිංගික ජීවිතය ද අසම්පූර්ණ ය.
මේ සියලු කාරණා නිසා ඇය ගත කරන්නේ මානසික වශයෙන් ඉතා අතෘප්තිකර, පීඩාකාරී ජීවිතයකි. මෙම අතෘප්තිය සහ පීඩාව කෙමෙන් ඇය උමතුභාවය කරා ගෙන  යාමට සමත් වෙයි. එම තත්වය වර්ධනය වීමත් සමග ආරම්භ  වන්නේ ඉතා බිහිසුණු සිදුවීම් දාමයකි.
පර්ල්ගේ හොඳම මිතුරිය  වන්නේ නිවස ආසන්නයේ  විලක ජීවත්වන මිනීමරු කිඹුලියකි. තේඩා නමැති මෙම කිඹුලිය පර්ල්ගේ සිත අරක්ගත් වෛරය, ක්‍රෝධය වැනි බිහිසුණු ආවේග රූපයට නගන සංකේතයක් වැන්න.
මුල සිට අග දක්වා ප්‍රේක්ෂකයන් දැඩි ලෙස ග්‍රහණයට ගනිමින් ඉදිරියට දිවෙන Pearl චිත්‍රපටය Rotten Tomatoes වෙබ් අඩවියේ ශ්‍රේණිගත කිරීම් තුළ සියයට 93 ක විචාරක මනාපයක් හිමි කරගෙන සිටියි.
මෙහි  තිරනාටකය ටයි වෙස්ට් සහ මියා ගොත් එක්ව ලියන ලද්දකි. චිත්‍රපටයේ පර්ල්ගේ චරිතය නිරූපණය කරන්නේ ද මියා ගොත් ය. ඇය ඉතා ඉහළ මට්ටමේ රංගනයක නිරත වන්නීය. චිත්‍රපටයේම බර දරා සිටින්නේ ඇය බව සඳහන් කළ හැකිය.
Pearl පසුගිය සියවසේ  මුල් භාගය පසුබිම් කරගත් සිනමා නිර්මාණයක් වුවත්  එහි තේමාව කවදාටත් බෙහෙවින් අදාළ වන්නක් ලෙස සැලකිය හැකිය.
මෙහි එන පර්ල් නමැති චරිතය ඇගේ මවුපියන්ගේ ජීවිතවල ඛේදනීය බව සහ ඔවුන්ගේ ආධිපත්‍යය  නිසාත්, යුද්ධය, වසංගතය  වැනි වෙනත්  සාධක නිසාත් සිය  නිදහස සහ සිහින අහිමි කරනු ලැබූ චරිතයකි. සැබැවින්ම ඇයට ඇය අහිමි වී ඇත. ඇගේ ජීවිතය ඇයට අහිමි කරනු ලැබ ඇත. මේ අහිමි කිරීම් නිසා ඇති වන දැරිය නොහැකි හිස් බව, රික්තය  ඇය පුරවා  ගන්නේ වෙනත් ආස්වාදයක් තුළිනි. එය  ප්‍රචණ්ඩ වූ පලිගැනීමේ ක්‍රියාවලියක් ඔස්සේ ලබන කෲර ආස්වාදයකි.
පර්ල් කෙමෙන් මේ තත්වයට පත්වන ආකාරය අපට ඉතා ප්‍රබල ලෙස දනවන්නට සිනමාපටය සමත් වෙයි.
ජීවිතය  අහිමි කරනු ලැබූ සහ දරුණු අනන්‍යතා අර්බුදයක ගොදුරක් බවට පත් කරනු ලැබූවකු ගේ විඳවීම සහ ඊට ඇය දක්වන ප්‍රතිචාරය Pearl චිත්‍රපටය ඉතා ව්‍යක්ත ලෙස සිනමාවට නගයි.

 



අදහස් (0)

ජීවිතය එපා වූ තරුණිය⁣කගේ ඛෙිදවාචකය ’’පර්ල්’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site