IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කාන් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය It was Just an Accident

පිච්චැර් පිස්සා

ලෝකයේ වැඩිම පිලිගැනීමක් ඇති සිනමා උළෙල තුන හැටියට සැලකෙන්නේ කාන් සිනමා උළෙල, වැනිස් සිනමා උළෙල සහ බර්ලින් සිනමා උළෙලයි. මේ අතරින් ද කාන් සිනමා උළෙල  වැඩි ප්‍රසිද්ධියක් උසුලන සිනමා උළෙල ලෙස සැලකිය හැකියි.

පසුගිය දිනවලත් මෙම සිනමා උළෙල ලොව පුරා මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණා. එයට හේතු වූයේ 2025 වසරේ කාන් සිනමා උළෙල ප්‍රංශයේ කාන් නගරයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම යි. මෙවර මෙම සිනමා උළෙල පැවැත්වුණේ 78 වැනි වතාවට යි.   එය  මැයි 13 වැනි දින ආරම්භ වී මැයි 24 වැනි දින දක්වා පැවැත්වුණා.
මෙම  සිනමා උළෙලේ දී පිරිනැමෙන ඉහළම සම්මානය වන්නේ Palme d' Or සම්මානය යි. මෙම සම්මානය හිමි කරගන්නේ කවර සිනමාපටය ද යන්න දැන ගැනීමට ලොව පුරා විසිර සිටින සිනමාවට සම්බන්ධ උදවිය වගේම සිනමාලෝලීන් ද සෑම වසරකම විශාල උනන්දුවක් දක්වනවා. Palme d' Or සම්මානයෙන් පිදුම් ලැබීම සිනමාකරුවකු ලබන ඉහළම ගෞරවයක් ලෙසයි සැලකෙන්නේ.
මේ වසරේ මෙම සම්මානය හිමි කරගත්තේ ඉරාන සිනමාපටයක්. ඉරාන සිනමාව  ලෝකයේ බොහෝ සිනමා රසිකයන් අතර මෙන්ම  අපේ රටේ සිනමාලෝලීන් අතර ද විශාල අවධානයක් දිනා ගෙන ඇති සිනමාවක් බවත් මෙහි දී සිහිපත් කළ යුතුයි.

 

 


මෙවර Palme d' Or  සම්මානයෙන් පිදුම් ලැබුවේ It was Just an Accident නමැති චිත්‍රපටය යි. මෙය ඉරානයේ කීර්තිමත්ම සිනමාකරුවකු වන ජෆාර් පනාහි  ගේ අධ්‍යක්ෂණයක්.
මේ සිනමාපටය පලිගැනීමක් පිළිබඳ සිද්ධියක් කේන්ද්‍ර කරගෙන දිගහැරෙන සිනමාපටයක් බවයි සඳහන් වන්නේ. මෙය තවමත් මහජන ප්‍රදර්ශනය සඳහා මුදාහැර නැහැ.
චිත්‍රපටය ගැන මාධ්‍ය තුළ පළවෙන තොරතුරුවලින් පෙනී යන්නේ එය එග්බාල් සහ වාහිඩ් නමැති චරිත දෙකක් වටා ගොඩනැගෙන චිත්‍රපටයක් බවයි.
එග්බාල් දිනක් රාත්‍රියේ සිය බිරිඳ සහ දියණිය සමග මෝටර් රියෙන් ගමන් කරමින් සිටිය දී මෝටර් රියට බල්ලෙකු හැප්පෙනවා. මෙම අනතුර නිසා මෝටර් රියේ ද දෝෂයක් ඇති වී එය මග නතර වෙනවා. එම අවස්ථාවේ එග්බාල් ඒ ආසන්නයේ පිහිටි ගරාජයක් වෙත යන අතර එහි සිටින වාහිඩ් නමැති පුද්ගලයකු තුළ ඔහු ගැන සැකයක් ඇති වෙනවා.
වාහිඩ් කලක් දේශපාලන හේතු නිසා සිරගතව සිටි කෙනෙක්. එමෙන්ම  සිරගතව සිටිය දී බොහෝ කෲර වධ හිංසාවලටත් මුහුණ දුන් කෙනෙක්. මෙම වධහිංසා නිසා මේ වනවිට ඔහු වකුගඩු ආබාධයකටත් ගොදුරු වෙලයි ඉන්නේ. එග්බාල් යනු තමාට වධ දුන් බුද්ධි නිලධාරියාම ද යන සැකයක් වාහිඩ් තුළ මතු වෙනවා.
නමුත් ඔහුට එය නිශ්චිතව තීරණය කිරීමට හැකියාවක් නැහැ. මන්ද යත්  වධහිංසාවලට ලක් කරද්දී වාහිඩ්ගේ ඇස් බැඳ තිබුණු නිස යි. නමුත් එග්බාල් ගේ බොරු කකුලකින් නගින හඬ සහ බුද්ධි නිලධාරියාගේ බොරු කකුලෙන් නැගුණු හඬ සමාන යයි වාහිඩ්ට සිතෙනවා.
පසුව වාහිඩ් එග්බාල්ට රහසින් ඔහුගේ නිවස තෙක්  ලුහුබැඳ ගොස් ඔහුව පැහැර ගෙන යනවා. එයින් පසු වාහිඩ් සූදානම් වන්නේ එග්බාල්ව පණ පිටින් වළ දැමීමට යි. මෙහි දී වාහිඩ් මුහුණ දෙන ගැටලුවක් ඇසුරෙන් තමයි චිත්‍රපටයේ ඉතිරි කොටස දිග හැරෙන්නේ.
It was Just an Accident චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ජෆාර් පනාහි ඉරානයේ පාලකයන්ට හිසරදයක් බවට පත්ව සිටින සිනමාකරුවෙක්.   දේශපාලන මර්දනයන්,   විවිධ සමාජ අසාධාරණයන් සිය නිර්මාණ තුළින් නිරුවත් කර පෙන්වන සිනමාකරුවකු හැටියටයි පනාහි සැලකෙන්නේ.  It was Just an Accident චිත්‍රපටයත් ඔහුගේ මෙම අනන්‍යතාව ගැබ් කරගත් චිත්‍රපටයක් බව සඳහන්.
පනාහි ගේ චිත්‍රපට ඉරානය තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් කරලයි තියෙන්නේ. ඒ වගේම ඉරානය තුළ චිත්‍රපට සෑදීමත් ඔහුට තහනම්. නමුත් ඔහු එරට බලධාරීන්ට හොරෙන් කෙසේ හෝ චිත්‍රපට නිර්මාණය කරනවා. මේ අතින් ගත් කළ පනාහි ලෝක සිනමාවේ සුවිශේෂී සිනමාකරුවකු ලෙස සැලකිය හැකියි. ඔහු ඉතා එඩිතර සිනමාකරුවකු හැටියටත් සිනමා ලෝකය තුළ ගෞරවයට පාත්‍ර වෙනවා.
මේ වනවිට 64 වැනි වියෙහි පසුවන පනාහි සිනමාකරුවකු ලෙස මෙන්ම දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙසත් කටයුතු කරන කෙනෙක්. මෙම කටයුතු නිසා පසුගිය කාලයේ ඔහුට කිහිප වතාවක්ම සිර දඬුවම් විඳින්නටත්  සිදු වුණා. අවසන් වරට ඔහුට සිර දඬුවම් නියම වුණේ සහෝදර  සිනමාකරුවන් දෙදෙනෙකු සිරගත කිරීමට එරෙහිව  විරෝධය දැක්වීම නිසා යි. පනාහිට  සය වසරක සිර දඬුවමක් නියම කෙරුණත් මාස හතකට පසු ඔහු නිදහස් කෙරුණා. ඒ 2023 පෙබරවාරි මාසයේ යි.
පනාහි මෙවර කාන් සිනමා උළෙලට සහභාගි වීමත් විශේෂ සිද්ධියක්. පසුගිය කාලයේ ඔහුට ඉරාන රජය විදෙස් ගමන් තහනමක් පනවා තිබූ නිසා රටින් පිට යාමට හැකියාවක් තිබුණේ නැහැ. ඔහු මෙවැනි ජාත්‍යන්තර සිනමා උළෙලකට සහභාගි වුණේ වසර 15 කට පසු පළමු වතාවට යි.
කාන්, බර්ලින්, වැනිස් යන  ලෝකයේ ප්‍රධානම සිනමා සම්මාන උළෙල තුනේදීම ඔහුගේ චිත්‍රපට ඉහළම සම්මාන දිනාගෙන තිබෙනවා. මෙම දස්කම දක්වන්නට සමත් වූ සිනමාකරුවන් ලෝකයේ සිටින්නේ කිහිප දෙනෙකු පමණයි.
The White Balloon, The Circle, Taxi වැනි ඔහුගේ චිත්‍රපට විශාල ජාත්‍යන්තර  අවධානයක් දිනා ගන්නට සමත් වුණා.
Taxi චිත්‍රපටය 2015 වසරේ බර්ලින් සිනමා උළෙලේ දී Golden Bear සම්මානය දිනාගත් අතර The Circle චිත්‍රපටය 2000 වසරේ වැනිස් සිනමා උළෙලේ දී Golden Lion සම්මානය හිමි කරගත්තා.

 



අදහස් (0)

කාන් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය It was Just an Accident

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 455 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16928 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site