IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


කුඩා දැරියක් ගුරුවරයකුගේ ජීවිතය වැනසූ හැටි : The Hunt

පිච්චැර් පිස්සා

 

 

ලෝක සිනමාවෙ මං  වැඩියෙන්ම රස විඳපු චිත්‍රපට 10 නම් කරන්න කියල කිව්වොත් මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම ඒ 10 ට ඇතුළත් වෙනවා. මේ විශිෂ්ට සිනමා සිත්තමේ නම The Hunt.
මේ නම සහිත  චිත්‍රපට කිහිපයක්ම පහුගිය කාලේ නිර්මාණය වෙලා තියෙනවා. මං කියන Hunt  සිනමාපටය ඩෙන්මාර්කයේ නිෂ්පාදනය වෙච්චි චිත්‍රපටයක්. මේක තිරගත වුණේ 2012 අවුරුද්දෙ.
The Hunt සිනමාපටයට පසුබිම් වෙන්නෙ ඩෙන්මාර්කයේ ඈත ගම්බද  ප්‍රදේශයක පිහිටි කුඩා පාසලක උගන්වන ගුරුවරයකු කේන්ද්‍ර කරගත් කතාවක්. මේ ගම එතරම් ලොකු එකක් නොවෙයි. ඒ නිසා එහි වෙසෙන හැමෝම එකිනෙකා හොඳින් හඳුනන, සමීපව ආශ්‍රය කරන උදවිය.

කලින් කියපු පාසලේ ඉගෙන ගන්නෙ බොහොම කුඩා දරුවන්. ඒක ළදරු පාසලක් කියලත් කියන්න පුළුවන්. මේ පාසලේ අධ්‍යාපනය ලබන ක්ලාරා වයස අවුරුදු හතක අටක වගේ දරුවෙක්. ඇයගේ මව්පියන් නිතර දබර කරගන්නා නිසා ක්ලාරා තරමක් අස්ථාවර මානසිකත්වයක පසුවන බව පේනවා. මෙම තත්වය තුළ එම පාසලේ ගුරුවරයකු වන ලූකස්ගෙන් ලැබෙන දයාව, කරුණාව ඇයට යම් උණුසුමක් ගෙන දෙනවා.
මේ ආකාරයෙන් කාලය ගත වෙද්දී කුඩා ක්ලාරා ගේ සිතේ කෙමෙන් සිය ගුරුවරයා ගැන "ක්‍රෂ් එකක්" ඇතිවෙනවා. ගුරුවර ගුරුවරියන් ගැන සිසු සිසුවියන් තුළ මෙවැනි හැඟීම් ඇති වීම එතරම් අසාමාන්‍ය දෙයක් නොවන බව රහසක් නොවෙයි.  ක්ලාරා එක් අවස්ථාවක ලූකස්ට හාද්දක් දෙන ආකාරයත්, ඔහුට තෑග්ගක් පිරිනමන  ආකාරයත් අපිට දකින්න ලැබෙනවා. ලූකස් මේවා ඒ තරම් ගණන් ගන්නෙ නැහැ.
කෙසේ නමුත් ලූකස් තුළ තමා කෙරේ එවැනි හැඟීමක් නැති බව දැන්ගත් විට කුඩා ක්ලාරා මානසික කඩා වැටීමකට ලක්වෙනවා. ඇය ගේ සිතේ ඔහු පිළිබඳ යම් වෛරයක් මෝරන්නට පටන් ගන්නවා. ඇය ඔහුගෙන් පළිගන්නේ ලූකස් තමාව ලිංගික අපචාරයකට ලක් කළ බවක් එම පාසලේ ප්‍රධානාචාර්යවරිය වන ග්‍රේත් සමග  පැවසීමෙන්.
මෙම චෝදනාව සම්පූර්ණයෙන්ම බොරුවක් වුවත් ප්‍රධානාචාර්යවරිය ග්‍රේත්  එය විශ්වාස කරන්නේ එක් උපකල්පනයක් මත යි. එනම් මේ වයසේ දරුවන් අහිංසකය, ඔවුන් මෙවැනි කාරණා ගැන බොරු නොකියනු ඇත  යන උපකල්පනය යි. ඒ අනුව ඇය කුඩා ක්ලාරා ගේ චෝදනාව විශ්වාස කරමින් ලූකස්ව සැක කිරීමට පටන් ගන්නවා. එපමණක් නොව පාසලේ සෙසු දරුවන්ගේ මව්පියන් ද මේ පිළිබඳව දැනුම්වත් කිරීම තමාගේ වගකීමක් යයි ඇය සිතනවා. ලිංගික අතවරයකට ලක් වූ බවට ඉඟි එම දරුවන්ගෙන් ද පළවෙනවාදැ යි පරීක්ෂාකාරී වන මෙන් ග්‍රේත් මෙම මව්පියන්ට පවසනවා.
එයින් පසු එම මව්පියන් ද තම දරුවන් නිරීක්ෂණය කරන්නේ ලූකස් පිළිබඳ සැකය සිතේ තබාගෙනයි. ඒ නිසා ඔවුන්ට දරුවන්ගේ ඇතැම් හැසිරීම් සහ කියුම් කෙරුම් ඒ සැකය තහවුරු වන ආකාරයෙන්ම පේන්න පටන් ගන්නවා.
මේ සියලු සැක සංකාවලට පදනම් වන්නේ කුඩා දරුවන් මෙවැනි දේ ගැන බොරු නොකියන බවට වන පොදු ආකල්පය සහ පිළිගැනීම යි. මේ තත්වය තුළ මුළු ගමම ලූකස් පිළිබඳ සැකය තහවුරු කරගන්නා අතර කුරිරු සමූහ හිස්ටීරියාවක ගොදුරක් බවට ලූකස් පත් වෙනවා.
තමා කී ආකාරයේ දෙයක් ලූකස්ගෙන් නොවූ බව ක්ලාරා පසුව පැවසුවත් වැඩිහිටියන් එයත් අර්ථකතනය කරන්නේ වෙන විදියකට යි. ඔවුන් සිතන්නේ ලිංගික අපචාරය නිසා ක්ලාරා තුළ තිබෙන කම්පනය හේතුවෙන් ඇය එවැනි  සිද්ධියක් සිදු නොවූ බවට හිත හදාගන්නට උත්සාහ කරන බව යි.
ලූකස් මේ වනවිට සිටින්නේ ඔහුගේ බිරිඳගෙන් වෙන්වෙලා තනිවම යි. මේ කාරණයත් ඔහු පිළිබඳ සැකය වඩාත් ශක්තිමත් කරන්නට හේතු වන්නට ඇති.
කෙසේ හෝ වේවා , තමාගේ නිර්දෝෂී බව ඔප්පු කිරීමට කිසිදු මාර්ගයක් ඔහුට නැතිව යනවා. "දරුවකු මෙවැනි දෙයක් ගැන බොරුවක් නොකියනු ඇත" යන උපකල්පනය එතරම්ම ප්‍රබලව ක්‍රියා කරන නිසා යි. ලූකස් එම උපකල්පනයේ ලේ ගලන ගොදුරක් බවට පත්වන අතර ඔහුගේ සියලු සමාජ, මානුෂීය සම්බන්ධතා ද, ආත්ම ගරුත්වය වැනි දෑ ද සම්පූර්ණයෙන් බිඳ වැටී ජීවිතය එකම ඛේදවාචකයක් බවට පත් වෙනවා.
සමාජයක පවතින පිළිගත් ආකල්ප, උපකල්පන ආදියත්, මිනිසුන්ගේ සිත් තුළ හට ගන්නා සැකසංකා ආදියත් මෙවැනි සිද්ධියක දී ක්‍රියාත්මක විය හැකි අතිශය සූක්ෂ්ම, සියුම් ආකාරයන් The Hunt  සිනමාපටය ඉතා ව්‍යක්ත ලෙස සිනමාවට නගනවා. කුඩා දරුවකුගේ ප්‍රකාශයක් නිසා ලූකස් ගැලවී ගත නොහැකි උගුලක සිරවෙන ආකාරය අප තුළ මහත් කම්පනයක් ඇති කිරීමට සමත් වෙනවා.
The Hunt හි තිරනාටකයේ,  අධ්‍යක්ෂණයේ, රඟපෑම් ආදියේ ඇති විශිෂ්ටත්වය පිළිබඳව මෙහි දී වෙසෙසින් සඳහන් කළ යුතුයි. මෙය බොහෝ විචාරකයන් සලකන්නේ මෑත කාලයේ බිහි වූ හොඳම මනෝවිද්‍යාත්මක චිත්‍රපටවලින් එකක් හැටියට යි.
කුඩා ක්ලාරා ගැන පවා අප තුළ අවසානයේ ඇති වන්නේ කේන්තියක් නොවෙයි. ඇයත් එම වයසට ආවේණික මානසිකත්වයක ගොදුරක් හැටියටයි අපට දැනෙන්නේ.
මෙම චිත්‍රපටය ඩෙන්මාර්කයේ කීර්තිමත් සිනමාකරුවකු වන තෝමස් වින්ටර්බර්ග් ගේ අධ්‍යක්ෂණයක් වන අතර එහි තිර රචනයටත් ඔහු සම්බන්ධ යි. ලූකස් ගේ චරිතය රඟපාන මැඩ්ස් මිකෙල්සන් ගේ සහ කුඩා ක්ලාරා ලෙස රඟපාන ඇනිකා වෙඩර්කොප් ගේ විශිෂ්ට රංගනයන් චිත්‍රපටයේ සාර්ථකත්ව වෙනුවෙන් ලබා දී ඇති දායකත්වය අති විශාල යි.
සිනමා උළෙලවල දී සම්මාන රැසක් දිනා ගන්නට The Hunt සමත් වුණා. 2012 වසරේ කාන් සිනමා උළෙලේ දී හොඳම නළුවා සම්මානය මිකෙල්සන්ට හිමි වූ අතර හොඳම චිත්‍රපටය සඳහා පිරිනැමෙන Palme d'Or සම්මානයටත් නිර්දේශ වුණා.
Palme d'Or සම්මානය කාන් සිනමා උළෙලේ පිරිනැමෙන ඉහළම සම්මානය යි.
The Hunt කලාත්මක චිත්‍රපට රස විඳීමට කැමැති සිනමාලෝලීන් අනිවාර්යයෙන් නැරඹිය යුතු සිනමා කෘතියක් බව නිසැකව සඳහන් කළ හැකියි.

 



අදහස් (0)

කුඩා දැරියක් ගුරුවරයකුගේ ජීවිතය වැනසූ හැටි : The Hunt

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1649 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site