(විමුක්ති එස් රුද්‍රිගු)

"ආටෙමිස් 2" මෙහෙයුම අවසන් කර පෘතුවිවියේ වායුගෝලයට ගිනිබෝලයක් වී නැවත ඇතුළුවීමට සූදානම් වන ගගනගාමීහු සිවුදෙනා අභ්‍යවාකාශයේ සිට ප්‍රථම වතාවට මාධ්‍යවේදීන් ඇමැතූහ.

එහිදී ඔවුන් සිවුදෙනා "ආටෙමිස් 2" මෙහෙයුම පිළිබඳව සිය හැඟීම් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළේය. පසුගිය සතියේ, ඇමෙරිකාවේ ෆ්ලොරිඩාවෙන් ඔරියන් කැප්සියුලයේ නැගී ගමන් ආරම්භ කළ ගගනගාමීන් මෙම සතිය මුලදී සඳ වෙත ළඟා වූ අතර හෙට (10) නැවතත් දකුණු කැලිෆෝනියා වෙරළට ගොඩබෑමට නියමිතය.

"ආටෙමිස් 2" මෙහෙයුමේ නිරත ගගනගාමීන් සිව්දෙනාට, මින් පෙර පැවති ඇපලෝ වාර්තා බිඳ දමමින් මිනිසෙකු පෘථිවියේ සිට ගමන් කළ වැඩිම දුර ප්‍රමාණය සඳහා වන නව ලෝක වාර්තාවට හිමිකම් කීමටද හැකියාව ලැබිණි. නැවත පෘථිවියට පැමිණෙන ගමෙන්දී පැයට කිලෝමීටර 38,365 ක් දක්වා වූ වේගයකින් ඔරියන් කැප්සියුලය පෘතුවි වායුගෝලයට ඇතුළු වනු ඇති අතර එය "ආටෙමිස් 2" මෙහෙයුමේ දැඩි අවදානමක් සහිත අවස්ථාවකි.

එහිදී ඔරියන් කැප්සියුලයේ තාපයට ඔරොත්තු දීමේ හැකියාව පරික්ෂාවට ලක් කෙරෙනු ඇත. "ආටෙමිස් 2" මෙහෙයුමේ නියමු වික්ටර් ග්ලෝවර් මෙහෙයුම පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ පසුගිය 3 වැනිදා සිට නැවත පෘතුවි වායුගෝලයට ඇතුළුවන දිනය සම්බන්ධයෙන් තමන් සිතමින් සිටි බවයි. වායුගෝලය හරහා ගිනිබෝලයක ගමන් කිරීම ගැඹුරු අත්දැකීමක් වනු ඇති බවද ඔහු පැවැසුවේය.

ග්ලෝවර්, නාසා ආයතනයේ සෙසු අභ්‍යවකාශගාමීන් වන රීඩ් වයිස්මන් සහ ක්‍රිස්ටිනා කොච් සහ කැනේඩියානු ගගනගාමී ජෙරමි හැන්සන් යනු ආටෙමිස් වැඩසටහන යටතේ සඳ බලා ගමන් කරන පළමු ගගනගාමීන් කණ්ඩායම වේ. ආටෙමිස් වැඩසටහන යටතේ මෙහෙයුම් මාලාවක් ක්‍රියාත්මකවන අතර එහි පිරිවැය ඩොලර් බිලියන ගණනකි.

එහි ඉලක්කය වී ඇත්තේ 2028 වසර වනවිට චීනයට ප්‍රථමයෙන් ගගනගාමින් පිරිසකට සඳ මත පය තැබීමට අවස්ථාව ලබා දීමය.