IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


’’අභියෝග වලට ඔරොත්තු දෙන ලාංකික ජාතියක් ගොඩ නගනවා’’

(අංජුල මහික වීරරත්න)

සියලු අභියෝගයන්ට ඔරොත්තු දෙන ලෙස ශ්‍රී ලාංකික ජාතිය ගොඩනඟන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා "නිවුස්වීක්" සමඟ සංවාදයක නිරත වෙමින් පැවසීය 

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිවුස්වීක් සමඟ ජනාධිපතිවරයා මෙම සංවාදයේ නිරත විය.

අර්බුදය අතරතුර කලාපීය අසල්වැසියන්ගේ සිට ගෝලීය බලවතුන් දක්වා ජාත්‍යන්තර හවුල්කරුවන් මැදිහත් වූ ආකාරය සහ ඉදිරියේ ඇති අභියෝගයේ විශාලත්වයට මුහුණ දීම පිළිබඳ මෙන්ම විනාශ වූ භෞතික දේ  නැවත ගොඩනැගීම පමණක් නොව, දේශගුණික කම්පන යුගයේ ශ්‍රී ලංකාවේ අනාගතය නැවත පරිකල්පනය කිරීම සහ ණය සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාවයේ නියමයන් නැවත අර්ථ දැක්වීම පිළිබඳව ඔහු විස්තර කළේය.

ජනාධිපතිවරයා සහ නිවුස්වීක් අතර සම්පූර්ණ සංවාදය මෙසේය.

නිවුස්වීක්: විරෝධතා ව්‍යාපාරවල සිට 2024 මැතිවරණයේදී සිදු වූ පරිවර්තනීය වෙනස දක්වා ශ්‍රී ලංකාව මෑත කාලයේදී තීරණාත්මක දේශපාලනික වෙනස්කම්වලට භාජනය වී තිබෙනවා. ඔබගේ රජය බලයට ගෙන ඒමට පසුබිම් වූ ජනතා අපේක්ෂාවන්  ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?

ජනාධිපති අනුර කුමාර දිසානායක: 2022 වසරේ විරෝධතා ඇති වීමට හේතු වූයේ විදුලි කප්පාදුව, ඉන්ධන සහ ඖෂධ සඳහා ඇති වූ දිගු පෝලිම් පමණක් නෙමෙයි. දූෂණය, අසමානතා සහ විනිවිදභාවය හෝ වගවීමකින් තොරව ගනු ලැබූ තීරණ පිළිබඳ බලවත් කලකිරීමත් ඊට හේතු වුණා. 2024 වන විට, ඒ ජනතා කලකිරීම වෙනස් ආකාරයක නායකත්වයක් සඳහා වන ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීමක් බවට පරිවර්තනය වී තිබුණා. අප විසින් ලැබූ ජයග්‍රහණය  පිරිසිදු පාලනයක්, ආර්ථික සාධාරණත්වයක් සහ පැවති දේශපාලන සංස්කෘතියේ වෙනසක් සඳහා කැඳවීමක් වුණා.

ජනතාවට අවශ්‍ය වූයේ සත්‍යය පවසන සහ වගකීම භාර ගන්නා සාමාන්‍ය මිනිසුන් බඳු නායකයින්. අපගේ ජනවරම මම දකින්නේ අවදානමට ලක්විය හැකි අයව අත් නොහැර ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා විශ්වාසය මත වූ ගිවිසුමක් ලෙසයි.  ආයතන අල්ලා ගැනීමට වඩා ආයතන ප්‍රතිසංස්කරණය කිරීමට සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට අලුත් විය හැකි බව ඔප්පු කිරීම පිළිබඳ ගිවිසුමක් ලෙසයි. ජනතාවගේ විශ්වාසය නිෂ්ඵල එකක් නොවන බව අපි ඔවුන්ට පෙන්විය යුතු වෙනවා

නිවුස්වීක්: චීනය විසින් ගොඩනගන ලද යටිතල පහසුකම්, ඉන්දියානු කලාපීය බලපෑම සහ එක්සත් ජනපද ආර්ථික බලපෑමේ සන්ධිස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා තිබෙනවා. සැබවින්ම, ශ්‍රී ලංකාව කොතරම් දුරට තම උපායමාර්ගික ස්වාධීනත්වය පවත්වා ගන්නේද? සහ ඔබ මෙම සබඳතා තුලනය කරන්නේ කෙසේද?

ජනාධිපති අනුර කුමාර දිසානායක: ඉන්දියාව ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා වන අතර ඉන්දියාව කිලෝමීටර් 24ක පමණ මුහුදු තීරයකින් ශ්‍රී ලංකාවෙන් වෙන් වෙලා තිබෙනවා. අපට ඉන්දියාව සමඟ ශිෂ්ටාචාරමය සම්බන්ධතාවක් තිබෙනවා. ශ්‍රී ලාංකාවේ සංස්කෘතියේ ඕනෑම අංශයක් කෙසේ හෝ ඉන්දියාවට සම්බන්ධ නොවනවා නම් එය ඉතා අල්ප වශයෙන්.  ඒ වගේම  ශ්‍රී ලංකාව දුෂ්කරතාවන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකම ඉන්දියාව පළමුව ප්‍රතිචාර දැක් වූවා. ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳ හවුල්කරුවාද, විශාලතම සංචාරක ප්‍රභවය මෙන්ම සුවිශේෂී ආයෝජකයෙකුද වෙනවා. 

චීනය, අපගේ සමීපතමයකු සහ උපායමාර්ගික හවුල්කරුවෙකුද වෙනවා. අපට රාජ්‍ය මට්ටමින් සහ දේශපාලන පක්ෂ මට්ටමින් දීර්ඝ ඉතිහාසගත සබඳතාවක් තිබෙනවා. අපගේ වෙළෙඳ, ආයෝජන සහ යටිතල පහසුකම් පිළිබඳ හවුල්කාරිත්වය ඉතා ශක්තිමත්.

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතරත් ගැඹුරු සහ බහුවිධ සබඳතා පවතිනවා. ඇමරිකා එක්සත් ජනපදය යනු අපගේ විශාලතම වෙළෙඳපොළයි.

අපටම අනන්‍ය වූ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ නීතිය මත පදනම් වූ පාලනයක් සඳහා වන කැපවීමක් තිබෙනවා. අපි අවධානය යොමු කරන්නේ මෙම  වැදගත් රටවල් සමඟ අපගේ සබඳතාවල අඩු වැඩි ලෙස තුලනයක් පවත්වා ගැනීම පිළිබඳව නොවේ. මෙම සෑම සම්බන්ධතාවක්ම අපට වැදගත්. සෑම විටම එකම අරමුණක් ඇතිව එනම් ‘ශ්‍රී ලාංකිකයින්ට වඩා හොඳ ලෝකයක්, සැමට වඩා හොඳ ලෝකයක්’ උදා කිරීම වෙනුවෙන් අපි සෑම කෙනෙකු සමඟම වැඩ කරනවා. 

නිවුස්වීක්:  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති භුමිකාව සහ වෙනස් වන ලෝක පිළිවෙළ තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය වෙනස් කෙරෙන ආකාරය ඔබ දකින්නේ කෙසේද?

ජනාධිපති අනුර කුමාර දිසානායක: ශ්‍රී ලංකාව සඳහා සාර්ථකත්වය යන්නෙන් අදහස් වන්නේ වෙළෙඳපොළ ප්‍රවේශය සහ නව්‍යකරණය වූ ආයෝජන ප්‍රවාහයන්. ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර කලාපයේ ස්ථාවර සහ විශ්වාසදායක හවුල්කරුවෙකු සහ ඉන්දියානු සාගර කලාපයේ මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමට අපට අවශ්‍යයි.

නිවුස්වීක්: ශ්‍රී ලංකාවට වොෂින්ටනයෙන් නිශ්චිතවම අවශ්‍ය වන්නේ කුමක්ද ? ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙරළා ලබා දීමට අපේක්ෂා කරන්නේ කුමක්ද?

ජනාධිපති අනුර කුමාර දිසානායක: අපගේ අපනයන සඳහා වෙළෙඳපොළ ප්‍රවේශය අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන් රෙදිපිළි සහ අගය එකතු කරන ලද නිෂ්පාදන සඳහා. අපට දේශගුණික මූල්‍යකරණ අරමුදල් සහායද අවශ්‍ය වෙනවා. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අපට ඩොලර් බිලියන ගණනක් අහිමි වුණා. සැබෑ හානිය තක්සේරු කිරීමට අපට සති කිහිපයක් ගත වේවි. දේශගුණික තත්වයන්ට  හැඩගැසීම සඳහා අපට ප්‍රදානයන් සහ සහයෝගය අවශ්‍යයි. විශේෂයෙන් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, ඔරොත්තු දෙන යටිතල පහසුකම්, වෙරළබඩ ආරක්ෂාව ආදී තාක්ෂණය සහ ආයෝජන අවශ්‍යයි. ඇමරිකානු සමාගම්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම්, නිෂ්පාදන සහ පුනර්ජනනීය බලශක්තිය ඇතුළු ශක්‍යතා පවතින සෑම ක්ෂේත්‍රයකම ආයෝජනය කිරීම අපි අපේක්ෂා කරනවා.

අපට තාක්ෂණික හුවමාරුව අවශ්‍ය වෙනවා. අපි ඔවුන්ට පෙරළා පිරිනමන්නේ ඉන්දු-පැසිෆික් කලාපයේ උපායමාර්ගිකව ස්ථානගත කළ, ස්ථාවර, ප්‍රජාතන්ත්‍රවාදී හවුල්කරුවෙක්. අපි නාවික නිදහසට කැප වී සිටිනවා. අපි වරාය සහ සැපයුම් පිළිබඳ සහයෝගීතාවකටද උනන්දුවක් දක්වනවා. සමුද්‍රීය ආරක්ෂණය පිළිබඳ සහයෝගීතාව, ත්‍රස්තවාදයට එරෙහි වීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැනි අන්‍යෝන්‍ය වශයෙන් පොදු  ගැටලු සම්බන්ධයෙන් අපගේ සහයෝගීතාව ශක්තිමත් හා ගැඹුරු කිරීමටද අපි බලාපොරොත්තු වෙනවා.

නිවුස්වීක්: රාජ්‍ය ණය තවමත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 100% ට වඩා ඉහළින් පවතින බැවින්, මෙම තත්වයට විසඳුම් සෙවීමට සහ දිළිඳුම අයට වන බලපෑම වළක්වා ගනිමින් යළි ණය පැහැර හැරීමක් සිදු වීම වළක්වා ගැනීමට ඔබ සැලසුම් සකස් කර ඇත්තේ කෙසේද?


ජනාධිපති අනුර කුමාර දිසානායක: අපි ඓතිහාසික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් අවසන් කළා, තවත් ව්‍යසනයකට මුහුණ දුන්නා - දිට්වා සුළි කුණාටුව. මූලික ඇස්තමේන්තුවලින් පෙනී යන්නේ සිදු වූ හානිය අපේ රට විඳ දරාගත් ඕනෑම ස්වාභාවික විපතකට වඩා වැඩි විය හැකි බවයි. එනිසා දේශගුණික ආපදා තත්වයෙන් නැවත රට ගොඩනඟන අතරතුර අපට ණය ගෙවීමට සිදුව තිබෙනවා. දේශගුණික විපර්යාසවලට  ගොදුරු විය හැකි රටවල් සඳහා ණය තිරසරභාවය පිළිබඳ රාමු වෙනස් විය යුත්තේ ඒ නිසයි. 

අපගේ ආර්ථිකයේ දශක ගණනාවක් තිස්සේ පැවති දුර්වලතා මඟහරවා ගැනීම සඳහා අපි අපනයනය මූලික කරගත් ආර්ථික වර්ධනයක් කරා යොමුව සිටිනවා. ඩිජිටල්කරණය මගින් අපගේ බදු පදනම පුළුල් කරමින්ද සහ සමාජ වියදම් සුරක්ෂිත කරමින්ද, අපි රජයේ ආදායම ඉහළ නංවා ගනිමින්ද  සිටිනවා. දිට්වා සුළි කුණාටුවෙන් 20,000 කට අධික පිරිසකට තම නිවාස අහිමි වුණා. සියල්ල අහිමි වූ ජනතාව මත අපට බර පැටවිය නොහැකියි. අපි අත්‍යවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම සඳහා සහනාධාර ලබා දෙමින්, කෘෂිකාර්මික කටයුතු යළි යථා තත්වයට පැමිණවීම සඳහා ආයෝජනය කරමින්, නිවාස, පාසල්, රෝහල් සහ පොදු යටිතල පහසුකම් නැවත ගොඩනඟමින් සහ ඒ වෙනුවෙන් අක්මුදල් සැපයීම් පුළුල් කරමින් සිටිනවා. IMF වැඩසටහනේ පරාමිතීන් තුළ ක්‍රියාත්මක වන අතරතුර අපි මෙයද සිදු කළ යුතු වෙනවා. අපගේ හවුල්කරුවන්ගෙන් සහ ජාත්‍යන්තර සංවිධානවලින් අපට සහාය අවශ්‍යයි.

නිවුස්වීක්: ශ්‍රී ලංකාව 2024දී 5% ක ආර්ථික වර්ධන වේගයක් වාර්තා කළා. 2025 දී ප්‍රාථමික ගිණුමේ 2.3% ක අතිරික්තයක් ඉලක්ක කරනවා. IMF රාමුව තුළ හිඳිමින්, ඉදිරි මාස 12-18 කාලය තුළ අඩු ආදායම්ලාභී පවුල්වලට දැනෙන සුළු සහන ලබා දිය හැකි ප්‍රතිපත්තිමය මැදිහත්වීම් මොනවාද?

ජනාධිපති අනුර කුමාර දිසානායක: දිට්වා සුළි කුණාටුවෙන් මිලියන දෙකකට ආසන්න ජනතාවකට හානි සිදු වුණා. ආසන්න වශයෙන් නිවාස 55,000 කට හානි සිදු වී ඇති අතරම සමහර නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. මෙම පවුල්වලට කඩිනම් ක්ෂණික සහන ලබා දීමට අවශ්‍යයි. පළමුව - ගංවතුරට ඔරොත්තු දෙන නිවාස ඉදිකිරීමට සහාය දීමට සිදු වෙනවා. මෙයින් එම පවුල් ආරක්ෂා කරන අතරම ඉදිකිරීම් අංශයේ රැකියා නිර්මාණය වෙනවා. දෙවනුව - අපට කුඹුරු අක්කර 273,000 ක් පමණ අහිමි වුණා. ගොවීන්ට නැවත වගා කළ හැකි වන පරිදි බීජ, උපකරණ සහ තාක්ෂණික සහාය ලබා දිය යුතුයි. කෘෂිකර්මාන්තය යථා තත්වයට ගෙන ඒම  සඳහා පමණක් අපට විශාල මුදලක් අවශ්‍ය වෙනවා. මෙය ආපදාවෙන් යළි ගොඩ ඒමට පමණක් නොවේ. ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීම සඳහාද අවශ්‍ය වෙනවා. තෙවනුව - දුප්පත් පවුල් වැඩිපුර සිටින ප්‍රදේශවල ඖෂධ, ඉන්ධන, මූලික ආහාර ද්‍රව්‍ය ආදී සහනාධාර සැපයීම් අපි පවත්වාගෙන යනව‌ා. සිව්වනුව - යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීම තුළ  රැකියා නිර්මාණය වෙනවා.

නිවුස්වීක්: ඔබගේ රජය මෑතකදී මහා පරිමාණ විදේශ ආයෝජන යෝජනා නැවත පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකාව ප්‍රාග්ධනය යෙදවීමට සුදුසු ස්ථානයක් බව විදේශීය ආයෝජකයින්ට ඒත්තු ගන්වන්නේ කෙසේද?

ජනාධිපති අනුර කුමාර දිසානායක: පාරිසරික සහ දේශගුණික ඔරොත්තු දීමේ ප්‍රමිතීන්, ආර්ථික ශක්‍යතාව, තාක්‍ෂණ හුවමාරුව සහ දේශීය ධාරිතා සංවර්ධනය, ශ්‍රම සහ සමාජ සුරක්ෂාව සහ ජාතික සංවර්ධන ඉලක්ක සමඟ පෙළගැස්වීම යන පැහැදිලි නිර්ණායක සහිත විනිවිද පෙනෙන, නීති මත පදනම් වූ ඇගයීම් ක්‍රමවේදයක් අපි ස්ථාපිත කරමින් සිටිනවා. විදේශීය ආයෝජකයින්ට  සුපැහැදිලි බව, අනුකූලතාව සහ විශ්වාසය යන කරුණු තුන අවශ්‍ය වෙනවා. 

අපි ආයෝජකයා සහ ශ්‍රී ලාංකික ජනතාවගේ අවශ්‍යතා යන දෙකම ආරක්ෂා කරන පිරිසිදු, පුරෝකථනය කළ හැකි ආයෝජන පරිසරයක් නිර්මාණය කරමින් සිටිනවා. 

පළමුව, ප්‍රමාදයන් අවම කිරීම, සැඟවුණු බලපෑම් ඉවත් කිරීම සහ පැහැදිලි තීරණ ගැනීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම සඳහා එකම ස්ථානයකින් සියලු සේවා සපයන මධ්‍යගත (තනි කවුළු) ආයෝජන අනුමත කිරීමේ පද්ධතියක් අපි හඳුන්වා දී තිබෙනවා.

කාල රාමු, අවශ්‍ය ලියකියවිලි සහ වගකිවයුතු නිලධාරීන් කවුද යන්න ඇතුළුව සම්පූර්ණ ක්‍රියාවලියම  මාර්ගගතව නිරීක්ෂණය කිරීමට ආයෝජකයින්ට හැකි වෙනවා. ඊට අමතරව, ආයෝජකයින්හට සාධාරණත්වය, නීතිමය නිශ්චිතතාව සහ නීතිය බලාත්මක කළ හැකි අයිතිවාසිකම් සහතික කරලීම සඳහා අපි නව ආයෝජන ආරක්ෂණ පනතක් කෙටුම්පත් කරමින් සිටිනවා. දෙවනුව, සෑම මහා පරිමාණ ව්‍යාපෘතියක්ම විනිවිද පෙනෙන, නීති මත පදනම් වූ ඇගයීමකට භාජනය කෙරෙනවා. ඒ කියන්නේ ප්‍රමිතිගත ටෙන්ඩර් ක්‍රියා පරිපාටි සහ පූර්ව-නිශ්චිත තිරසාරභාවය පිළිබඳ වූ නිර්ණායක මත. අභ්‍යන්තර හෝ දේශපාලනික සබඳතා ඇති කණ්ඩායම්වලට කියා විශේෂ සැලකිලි නැහැ. එය ආයෝජකයින් දිගු කලක් තිස්සේ ඉල්ලා සිටි දෙයක්. තෙවනුව, අපි මේ සඳහා වන නීති සහ නියාමන රාමුව ශක්තිමත් කරමින් සිටිනවා. ඩිජිටල් ප්‍රසම්පාදන ක්‍රියාවලි, වත්කම් පිළිබඳ ප්‍රකාශන අනිවාර්ය කිරීම සහ ස්වාධීන අධීක්ෂණ යාන්ත්‍රණ ස්ථාපිත කිරීම මේ සඳහා අප ගන්නා පියවරවලින් කිහිපයක් පමණයි.

මෙයින් පුද්ගලික සබඳතා මත නොව, උචිත බව, ශක්‍යතාව සහ ජාතික වශයෙන් ලැබෙන ප්‍රතිලාභ මත අයෝජන සඳහා අනුමැතිය ලබා දීම සහතික කරනවා. අවසාන වශයෙන්, අපි ආයෝජක විශ්වාසය දිනා ගැනීම සඳහා වන වැදගත්ම සංඥා දෙක, එනම්, දේශපාලන ස්ථාවරත්වය සහ නීතියේ ආධිපත්‍යය පවත්වා ගන්නවා. හදිසියේ ප්‍රතිපත්ති වෙනස් කරන හෝ විනිවිදභාවයෙන් තොර තීරණ සහිත යාන්ත්‍රණයකට වඩා දිගුකාලීන ආර්ථික සැලසුම්කරණය කෙරෙහි යොමු වූ ස්ථාවර රජයක් බොහෝ ආකර්ෂණීයයි. කෙටියෙන් කිවුවොත්, ශ්‍රී ලංකාව ආයෝජන සාදරයෙන් පිළිගන්නවා. නමුත් අපට අවශ්‍ය වන්නේ විනිවිද පෙනෙන, පුරෝකථනය කළ හැකි සහ ඵලදායී ආයෝජනයි. ආයෝජකයින් නීතිය පිළිබඳ දැනුවත් විට සහ එම නීති හදිසියේ වෙනස් නොවන බව විශ්වාස කරන විට, ඔවුන් වැඩි ප්‍රාග්ධනයක් යොදවනවා. තාක්ෂණය රැගෙන එනවා මෙන්ම රැකියා නිර්මාණය කරනවා. අපි ගොඩනඟන්න උත්සාහ කරන්නේ එම පරිසරයයි. 

නිවුස්වීක්: හම්බන්තොට සහ වරාය නගරය චීනයට දිගුකාලීනව බදු දීම පිළිබඳ සලකා බලන විට, මේවා ශ්‍රී ලංකාව කළමනාකරණය කළ යුතු උපායමාර්ගික අවදානම් ලෙස ඔබ දකිනවාද?

ජනාධිපති අනුර කුමාර දිසානායක : මෙම ව්‍යාපෘති අප බුද්ධිමත්ව කළමනාකරණය කළ යුතුයි. ශ්‍රී ලංකාවේ අනෙකුත් සියලු වරාය පර්යන්ත මෙන්ම හම්බන්තොට වරායද උපරිම විනිවිදභාවයෙන් ක්‍රියාත්මක වෙනවා. 

එහි පාලනය පවතින්නේ අපගේ නාවික හමුදාව සහ රේගුව යටතේ. එය රැකියා උත්පාදනය සහ කලාපීය සංවර්ධනය තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිලාභ සඳහා දායක වන අතරම එයින් රටේ ආරක්ෂාවට අවධානමක් ඇති කරන්නේ නැහැ. මෙම බදු දීම වාණිජමය පදනමකින් සිදු වූවක් විනා හමුදාමය කටයුතු සඳහා ලබා දුන්නක් නොවේ. කිසිදු විදේශීය හමුදා කඳවුරක් එහි ස්ථානගත කිරීමට අවසර නොමැති බව අපි පැහැදිලිව පවසා ඇති අතර, අපි එය එලෙසම ක්‍රියාත්මක කරනවා. වරාය නගරය මූලික වශයෙන් වාණිජ සංවර්ධන ව්‍යාපෘතියක්. 

එය රැකියා නිර්මාණය කරනවා, ආයෝජන ආකර්ෂණය කර ගන්නා අතරම, ආදායම් උත්පාදනය කරනවා. එහි මෙහෙයුම් අප විසින් අධීක්ෂණය කළ යුතු වෙනවා, ශ්‍රී ලංකාවේ නීතියට අනුකූලව ක්‍රියාත්මක විය යුතු අතරම, වත්කම් භාවිතයේදී අපේ  ස්වෛරීභාවය පවත්වා ගත යුතු වෙනවා. මෙම ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ අවශ්‍යතා පිළිබඳ පැහැදිලි තක්සේරුවකින්, එනම්, ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායක වන්නේද යන්න විමසා බලා, අනතුරුව අප විසින් කළමනාකරණය කළ යුතු යථාර්ථයන් වෙනවා.  මැතකාලීන  ගංවතුර සහ සුළි කුණාටුවෙන් පෙන්නුම් කළේ ශ්‍රී ලංකාව ආන්තික කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීමට අදාළව තව බොහෝ දේ කළයුතුව ඇති බවයි.

නිවුස්වීක්: රජය ව්‍යසනයට මුහුණ දුන් ආකාරය පිළිබඳ එල්ල වන විවේචනවලට ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

ජනාධිපති අනුර කුමාර දිසානායක: දිට්වා සුළි කුණාටුව ව්‍යසන තත්වයක් ඇති කළා. ජීවිත අහිමි වුණා. ගම්මාන ජලයෙන් යට වුණා. යටිතල පහසුකම් විනාශ වුණා. අපගේ හමුදා සහ පළාත් පාලන ආයතන කඩිනමින් අවශ්‍ය කටයුතු සඳහා යෙදවීම නිසා ව්‍යසනය සඳහා අපගේ ප්‍රතිචාරය කඩිනම් සහ වේගවත් වුණා. මීට අපගේ හවුල්කරුවන්ද මැදිහත් වුණා. මේ මොහොතේ ප්‍රමුඛතාව වන්නේ සියල්ලන් එක්ව වැඩ කිරීම සහ ශ්‍රී ලංකාව යළි නඟා සිටුවීම සහතික කිරීමයි. ඒ අතරම ඒ සඳහා අපට මඟපෙන්වීමට සාධනීය විවේචන අවශ්‍ය වෙනවා. මෙවන් තත්වයකට මුහුණ දීම සඳහා වූ සූදානම, ඉඩම් පරිහරණ ප්‍රමිති බලාත්මක කිරීම සහ සහන සැලසීමේ වේගය ආදී යාන්ත්‍රණ තුළ දිගුකාලීන දුර්වලතා දක්නට ලැබුණා.

අපි රජය ලෙස කටයුතු කරන අතර මෙම ගැටලු නිරාකරණය කිරීමට අපට අවශ්‍යයි. අපගේ ආපදා කළමනාකරණ පද්ධති පිළිබඳ පුළුල් සමාලෝචනයක් අපි සිදු කරමින් ඉන්නවා. ශ්‍රී ලංකාවේ පූර්ව නිරීක්ෂණ සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති වැඩිදියුණු කළ යුතුයි. විශේෂයෙන්ම ඒ ඒ මොහොතේම කාලගුණ තත්ත්ව හඳුනාගැනීමේ සහ ප්‍රජාවට අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණ. බලපෑමට ලක් වූ සෑම දිස්ත්‍රික්කයකම හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. මුදාගැනීමට  සහ සහන සැලසීමට සියලුම හමුදා සහ පොලිසි යොදවා තිබෙනවා. අප වෙත කඩිනම් සහාය දැක් වූ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කර තිබෙනවා.

අපි අවශ්‍ය සම්පත් සහ අධිකාරිය සහිත ජාතික ආපදා කළමනාකරණ අධිකාරියක් නිර්මාණය කරමින් සිටිනවා. වඩා හොඳ රේඩාර් ආවරණයක් මගින් අපි අපගේ පුරෝකථන වැඩිදියුණු කරන්නට කටයුතු කරනවා. අපි අධි-අවදානම් සහිත ප්‍රදේශවල මුදාගැනීමේ උපකරණ සහ අවශ්‍ය සැපයුම් පූර්ව ස්ථානගත කිරීම සිදු කරනවා. මධ්‍යම කඳුකරයේ නාය යෑමේ අවදානම් සහිත ප්‍රදේශ අපි සිතියම්ගත කරමින් සිටිනවා. ඇත්ත වශයෙන්ම මෙම දිස්ත්‍රික්ක මින් පෙරද නායයෑම්වලට මුහුණ දී තිබෙනවා. 

දේශගුණික විපර්යාස හේතුවෙන්, කාලයත් සමඟ මෙවන් විනාශයක් අපේක්ෂා කළ යුතුව තිබුණා. එහෙත් වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ලෙස ඒ සඳහා සූදානම් වීමට අපොහොසත් වී තිබෙනවා.අවම වශයෙන් දැන්, අපගේ රජය සියලු හවුල්කරුවන් සමඟ එක්ව ඵලදායී, කාර්යක්ෂම සහ වගකිවයුතු පද්ධති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා. අපි ශ්‍රී ලංකාව පෙරට වඩා හොඳින් යළි  ගොඩනැඟිමට කටයුතු කරනවා.

නිවුස්වීක්: දේශගුණික අපදා තත්ත්ව විසින් රට නැවත නැවතත් වසර ගණනාවක් පසුපසට ඇද දමන ආකෘතියක ශ්‍රී ලංකාව සිර වී සිටිනවාද? ඔබේ දිගුකාලීන සැලැස්ම කුමක්ද?

ජනාධිපති අනුර කුමාර දිසානායක: අපි දැන්ම ක්‍රියා නොකළොත් අපි කොටු වෙනවා. මෙම උගුල අප විසින්ම නිර්මාණය කරන ලද්දක් නොවේ. ශ්‍රී ලංකාව ගෝලීය වායු විමෝචනයට දායක වන්නේ නොසැලකිය යුතු කුඩා ප්‍රමාණයකින්. නමුත් වසර ගණනක අප විසින් අත්පත් කරගත් ප්‍රගතිය එක රැයකින් විනාශ කළ හැකි දේශගුණික කම්පනවලට අපි මුහුණ දෙමින් සිටිනවා. අපි මෙම චක්‍රය බිඳ දැමිය යුතුයි. සෑම ගංවතුරකටම, සෑම සුළි කුණාටුවකටම, සෑම නියඟයකටම අපව නැවත අප මුලින්ම ආරම්භ කළ ස්ථානයට ගෙන යාමට ඉඩ දිය නොහැකියි. එනිසා මෙම උගුලෙන් ගැලවීමට සැලැස්මක් සකසා ගැනීමට අපට සහාය වන ලෙස අපි අපගේ හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

දේශගුණික තත්වයන්ට ප්‍රතිරෝධී යටිතල පහසුකම් ගොඩනැගීමට අපට උපකාර කරන්න. මෙය මුලදී වැඩි පිරිවැයක් දැරුවත්, නැවත නැවත කරන්නට සිදුවන ප්‍රතිසංස්කරණවලින් අපව ගලවා ගනීවි. දේශගුණික-අවදානමට ලක්විය හැකි අංශවලින් අපගේ ආර්ථිකය, ඩිජිටල් ආර්ථිකය, තොරතුරු තාක්ෂණ සේවා, සරල නිෂ්පාදන සහ දේශගුණික-ප්‍රතිරෝධී කර්මාන්ත වැනි අංශ වෙත අපගේ ආර්ථිකය විවිධාංගීකරණය කිරීමට අපට උපකාර කරන්න. 

ආපදා ඇතිවීමට පෙර ජනතාව ඉවත් කිරීමට සහ වත්කම් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් කාලය ලැබෙන පරිදි තාක්ෂණය අප සමඟ බෙදා ගන්න. කඩොලාන ප්‍රතිෂ්ඨාපනය, වන වගාව සහ තෙත්බිම් සංරක්ෂණය ආදිය ඇතුළු ස්වාභාවික දේශගුණික විපර්යාස අවම කිරීමේ යටිතල පහසුකම් ගොඩනැගීමට අපට උපකාර  කරන්න. 

නිවුස්වීක්: ආපදා තත්වයට ප්‍රතිචාර දැක්වීමේදී වඩාත්ම විශ්වාසවන්ත හවුල්කරුවන් වූයේ කවුද? ශ්‍රී  ලංකාවේ අනාගතයට අත්‍යවශ්‍ය වන රටවල් මොනවාද?

ජනාධිපති අනුර කුමාර දිසානායක: අපට සහාය වීමට බොහෝ රටවල් ඉදිරිපත් වුණා. ඉන්දියාව සාගර් බන්ධු මෙහෙයුම සමඟ කඩිනමින්ම ප්‍රතිචාර දැක්වූවා. ඔවුන් ගුවන් යානා, හෙලිකොප්ටර්, ගුවන් යානා ප්‍රවාහක INS වික්‍රාන්ත් ඇතුළු නාවික යාත්‍රා සහ ඔවුන්ගේ ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ නිලධාරීන් ඒ සඳහා යෙද වූවා. අපගේ අසල්වැසි පකිස්ථානය සහ මාලදිවයිනද අපට මිල කළ නොහැකි සහයෝගයක් ලබා දුන්නා. ඔවුන්ගේ සහයෝගීතාව මෙන්ම අපගේ සියලුම අසල්වැසි රාජ්‍යයන් විසින් අපට ලබා දුන් සහයෝගීතාව අපි බෙහෙවින් අගය කරනවා. ලොව පුරා සිටින අනෙකුත් සියලුම රටවල්, ජාත්‍යන්තර හවුල්කරුවන් සහ පුද්ගලයින්ටද අපි බෙහෙවින් කෘතඥ වෙනවා. 

යටිතල පහසුකම් ගොඩනැඟීම, ආර්ථික සංවර්ධනය, දේශගුණික අනුවර්තනය සහ තාක්ෂණය සඳහා අපි සියලුම හවුල්කරුවන් සමඟ, එනම්, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ලෙස එක්ව කටයුතු  කරනවා. ඔබගේ පැනයට ලබා දිය හැකි අවංක පිළිතුර නම් - අපට තනි හවුල්කරුවෙකු මත පමණක් යැපීමට හැකියාවක් නැහැ. අපගේ අනාගතය රඳා පවතින්නේ අප රටේ තිරසාර සංවර්ධනය, ප්‍රගතිය සහ සමෘද්ධිය සඳහා දායක වන සියලුම හවුල්කරුවන් සමඟ ඵලදායී සබඳතා ගොඩනඟා ගැනීම සහ පවත්වාගෙන යාම මතයි 

නිවුස්වීක්: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සීමා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ නීතිය වැනි නීති යටතේ ශ්‍රී ලංකාව පුළුල් බලතල රඳවා ගන්නවා. මෙම නීති සම්බන්ධයෙන් ඔබේ සැලැස්ම කුමක්ද?

ජනාධිපති අනුර කුමාර දිසානායක: අතීතයේදී මෙම නීති මර්දනයේ මෙවලම් ලෙස භාවිත කර තිබෙනවා. ඒවා ප්‍රජාතන්ත්‍රවාදය තුළ විතැන්  වී තිබෙනවා. නමුත් අපි පුළුල් ප්‍රතිසංස්කරණයකට කැප වී සිටින අතරම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කර සිවිල් නිදහස සමඟ නීත්‍යානුකූල ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු තුලනය කරන නීති මගින් එය ආදේශ කිරීමට කැප වී සිටිනවා. මෙයින් අදහස් කරන්නේ අවිනිශ්චිත ලෙස  රඳවා තබා ගැනීම අවසන් කිරීම, සියලු රඳවා තබා ගැනීම් සඳහා අධිකරණ අධීක්ෂණයක් ස්ථාපිත කිරීම, නීති උපදෙස් ලබා ගැනීමේ අයිතිය ආරක්ෂා කිරීම සහ ත්‍රස්ත විරෝධී නීති ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන බව සහතික කිරීමයි. ප්‍රචණ්ඩත්වයට සහ ළමුන් සූරාකෑමට මුල් වන වෛරී ප්‍රකාශන වැනි සැබෑ හානි පිළිබඳ අවධානය යොමු කරන අතරම ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම සඳහා අපි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. 

මෙහිදී අවධානය යොමු වන්නේ සැබෑ හානිය වැළැක්වීමට මිස පවතින විවේචන නිහඬ කරලීම පිළිබඳව  නෙමෙයි. මෙම ආදේශන නීති කෙටුම්පත් කිරීම සඳහා සිවිල් සමාජය, ජාත්‍යන්තර මානව හිමිකම් විශේෂඥයින් සහ බලපෑමට ලක් වූ ප්‍රජාවන් සමඟ කටයුතු කිරීමට අපට අවශ්‍යයි. කඩිමුඩියේ සම්මත කරන නරක නීති නව ගැටලු නිර්මාණය කරනවා - අපි මෙය අතීතයේදීත් අත්විඳ තිබෙනවා. ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් රජය කෙරෙහි විශ්වාසය රඳවා ගැනීමට මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීම අවශ්‍ය වෙනවා. ඒ පිළිබඳව අපි ක්‍රියා කරනවා. ඉක්මනින් ක්‍රියා කරනවා.

නිවුස්වීක්: ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳ නීති නිර්-ලිබරල් රාජ්‍යයක නීතිවලට සමාන වන විට අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් හවුල්කරුවන්ට එය විශ්වාස කළ හැක්කේ කෙසේද?

ජනාධිපති අනුර කුමාර දිසානායක: විශ්වාසය ක්‍රියාවෙන් උපයා ගන්නා දෙයක්. පෙර සිටි රජයන් කළ කී දෑ දැන් අපට උරුම වී තිබෙනවා. ඒවා වෙනස් කිරීමට කාලය ගත වෙනවා. අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්  හවුල්කරුවන් අපගේ ක්‍රියා දෙස බැලිය යුතුයි. 

අපි දේශපාලන සිරකරුවන් ක්‍රමානුකූලව නිදහස් කරමින්, අනීතිකව  මර්දනකාරී නීති යටතේ පුද්ගලයින් රඳවා තබා ගත් අවස්ථා සමාලෝචනය කරමින්, සාමකාමී විරෝධතා සඳහා ඉඩ හසර ලබා දෙමින් සහ අධිකරණය, මානව හිමිකම් කොමිසම සහ දූෂණ විරෝධී ආයතන ආදී  ස්වාධීන ආයතන ශක්තිමත් කරමින් සිටිනවා. අපි මෙම ආයතනවලට අවශ්‍ය සම්පත් සපයන අතර මර්දනකාරී නීති අවලංගු කිරීමේ සහ සංශෝධනය කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටිනවා. දශක ගණනාවක් තිස්සේ ගොඩනඟා ඇති මෙවැනි මර්දනකාරී පද්ධති විසුරුවා හැරීමට අපි උත්සාහ කරමින් සිටිනවා.පාලනය පිළිබඳ පැවති දේශපාලන සංස්කෘතිය සහ ආයතනික පුරුදු එක රැයකින් වෙනස් වන්නේ නැහැ. එයට අනවරත උත්සාහය අවශ්‍ය වෙනවා. අපි නිවැරදි දිශාවට ගමන් කරනවාද සහ අපගේ ප්‍රතිසංස්කරණ වැදගත්ද යන්න දෙස අපගේ හවුල්කරුවන් බැලිය යුතුයි. 

එසේම, අපි පසුබෑමකට ලක් වෙනවාද නැතහොත් ඉදිරියට යනවාද යන්න විමසා බැලිය යුතුයි. වගකිවයුතු සහ අයිතිවාසිකම් මත පදනම් වූ පද්ධති ගොඩනැගීමට ඔවුන් අපට උදව් කළ යුතු වෙනවා. අයිතිවාසිකම්වලට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගීම සඳහා අප කැප වන අතර, එම ක්‍රියාවලියට සහාය දෙන ලෙස අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. 

නිවුස්වීක්: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ස්වාධීන විශේෂ උපදේශකයෙකු සහිතව විශේෂ අධිකරණ යාන්ත්‍රණයක් නිර්දේශ කර තිබෙනවා. ඔබ ඊට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

ජනාධිපති අනුර කුමාර දිසානායක: අතීතයේ සිදු වූ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සඳහා වන සංක්‍රාන්තික යුක්තිය සංකීර්ණයි. එම පවුල්වලට සත්‍යය, වගවීම, යුක්තිය සහ වන්දි ලැබිය යුතුයි. අපගේ ජාතියට සංහිඳියාව අවශ්‍යයි. ශ්‍රී ලංකාව විසින් මෙහෙයවනු ලබන ක්‍රියාවලියක් මගින් අතීතයේ සිදුවූ මෙම උල්ලංඝනය කිරීම් සඳහා වගවීමේ වැඩපිළිවෙළකට අපි සහාය දෙනවා. විශ්වසනීය දේශීය ක්‍රියාවලියක් කුමන ආකාරයේ විය යුතුද යන්න පිළිබඳව තීරණය කිරීමට අපි දැනට වින්දිතයින්ගේ කණ්ඩායම්, සිවිල් සමාජ සංවිධාන, දේශීය සහ ජාත්‍යන්තර විශේෂඥයින් සමඟ කටයුතු කරමින් සිටිනවා.

නිවුස්වීක්: හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම දේශපාලනික වුවමනාවෙන් සිදු වූවක් බවත්, මුල් බැස ගෙන ඇති දූෂණයට එරෙහිව සැබෑ පියවර නොගන්නා බවත් විචාරකයෝ පවසනවා. ඔබ එයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

ජනාධිපති අනුර කුමාර දිසානායක: දූෂණ විමර්ශන කටයුතු දේශපාලනික වුවමනා මත සිදු නොකළ යුතු අතර  සාක්ෂි මත පදනම් විය යුතුයි. සාක්ෂි මත නඩු පැවරීමට අවශ්‍ය නම්, දේශපාලන තත්ත්වය මත මුක්තිය ලබා නොදිය යුතුයි. එවැනි කාරණා සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීමක් නොතිබිය යුතුය. වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම යුක්තිසහගත නැද්ද යන්න සාක්ෂි මත රඳා පවතින අතර, මාධ්‍ය හෝ දේශපාලන බලපෑම මත නොව, එය නිසි අධිකරණ ක්‍රියාවලියක් මගින් පරීක්ෂා කළ යුතුයි. 

ආයතනගත දූෂණය සම්බන්ධයෙන් වඩාත් පුළුල් ලෙස ගත්තොත්, ඔව්, අපි තවමත් ප්‍රමාණවත් ලෙස ක්‍රියා කර නොමැති බව පෙනෙන්ට පුළුවන්. එසේ පෙනෙන්නට හේතුව, දූෂණය දශක ගණනාවක් තිස්සේ ගොඩනඟන ලද ආයතන තුළ ගැඹුරින් මුල් බැස තිබීමයි. මෙයින් අදහස් කරන්නේ දේවල් නිවැරදි කිරීම සඳහා අත්අඩංගුවට ගැනීම පමණක් නොව පද්ධතිමය වෙනසක් අවශ්‍ය වන බවයි. අපි දූෂණය පිටුදකින ආයතන ශක්තිමත් කරමින් සිටිනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ස්වාධීනත්වය, සම්පත් සහ දේශපාලන නිදහස අවශ්‍යව තිබෙනවා. අපි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය ස්ථාපිත කරමින් සිටිනවා. රජයේ කොන්ත්‍රාත්, විශේෂයෙන්ම  විශාල යටිතල පහසුකම් සඳහා වූ  ව්‍යාපෘති, විනිවිද පෙනෙන, තරගකාරී ක්‍රියාවලියක් තුළින් සිදු විය යුතුයි.

අල්ලසට ඇති අවස්ථා අවම කිරීම සඳහා අපි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඩිජිටල්කරණය කරමින් සිටිනවා. අපි වත්කම් බැරකම් ප්‍රකාශන සහ ලැදියාවන් අතර ගැටුම් පිළිබඳ නීති ශක්තිමත් කරමින් සිටිනවා. අපි ප්‍රධාන අල්ලස් හෝ දූෂණ වරදවල් සම්බන්ධයෙන් නඩු පැවරීමට ක්‍රියා කරමින් සිටිනවා. අනාගතයේදී දූෂණය වැළැක්වීම සඳහා වන ආයතනික ප්‍රතිසංස්කරණ අපි ස්ථාපිත කරමින් සිටින අතරම වගවීමේ සංස්කෘතියක් නිර්මාණය කිරීමට අපි කැප වී සිටිනවා. විශ්වාසනීයත්වය පැමිණෙන්නේ ක්‍රියාවෙන් මිස පෞරුෂයෙන් නොවන බව අපි විශ්වාස කරනවා. 

ශ්‍රී ලංකාවේ යුක්තිය පාලනය විය යුත්තේ කරුණු, සාක්ෂි සහ නිසි ක්‍රියාපටිපාටි මගින්. අප ක්‍රියාත්මක වන්නේ ඊට අනුවයි. මෙම යාන්ත්‍රණ ශක්තිමත් කිරීම, ඒවායේ අඛණ්ඩතාව සහතික කිරීම සහ වගවීම යන කරුණු පාලනයේ ස්ථිර ලක්ෂණ බවට පත් කිරීම සඳහා අපි පස් අවුරුදු දූෂණ විරෝධී සැලැස්මක්ද දියත් කර තිබෙනවා.

නිවුස්වීක්: 2024දී ශ්‍රී ලාංකිකයන් 300,000කට අධික සංඛ්‍යාවක් විදේශ රැකියා සඳහා පිටත්ව ගියා. තරුණ විරැකියාව තවමත් 20%ට වඩා වැඩියි. නිපුණතා ඇති වයස අවුරුදු 25 ක තරුණයෙකුට ශ්‍රී ලංකාවේ රැඳී සිටිය යුතු යැයි ඒත්තු ගැන්විය හැකි රජයේ ප්‍රතිසංස්කරණ මොනවාද?

ජනාධිපති අනුර කුමාර දිසානායක: තරුණයින්ට අවස්ථාවන්ගෙන් පිරුණු දීප්තිමත් අනාගතයක් සහිත රටක් අප නිර්මාණය කළ යුතු වෙනවා. මේ සඳහා මූලික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. කෙටියෙන් කිවුවොත් - සම්බන්ධතාවලට වඩා කුසලතාවලට මූලිකත්වය දීම, 

ව්‍යවසායකත්වයට හිතකර පරිසරයක්, තරගකාරී වැටුප් සහ අවස්ථා, ගුණාත්මක අධ්‍යාපනය සහ කුසලතා පුහුණුව, මෙරටට නැවත පැමිණෙන අයට නව ජීවන මාර්ග, ජීවත්විය හැකි නගර සහ යහපත් ජීවන තත්ත්වය, දේශගුණික වශයෙන් ඔරොත්තු දීමේ හැකියාව ආදිය දැක්විය හැකියි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගෝලීය ආර්ථිකය සමඟ බාධාවකින් තොරව සම්බන්ධ කර ගැනීම සඳහා අවශ්‍ය නියාමන රාමු සහ ජාත්‍යන්තර හවුල්කාරිත්ව ඇති කර ගැනීමටත්  අපට අවශ්‍යයි. එයින් අපගේ ජනතාවට දැනට පවතින සීමාමායිම් පුළුල් වෙනවා. ඒ වුණත් මෙම සියලු ප්‍රතිසංස්කරණ සිදු වුවත්, ඇතැම් අය රට හැර යාවි. මෙහි කටුක සත්‍යය එයයි.

ගෝලීයකරණය වූ ලෝකයක යථාර්ථය මෙයයි. අපට කළ හැක්කේ සහ අප ඉටු කිරීමට කැප වී සිටින්නේ ප්‍රමාණවත් අවස්ථා නිර්මාණය කිරීමයි. එමඟින් ශ්‍රී ලංකාවේ රැඳී සිටීම තරගකාරී තේරීමක් මිස  කැපකිරීමක් නොවෙනු ඇති. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහ ප්‍රගතියට දායක විය හැකි ලොව පුරා විසිරි සිටින ශ්‍රී ලාංකිකයින් සමඟ ශක්තිමත් සම්බන්ධතා පවත්වා ගැනීමටද අපට අවශ්‍යයි. දක්ෂතා ඇති වයස අවුරුදු 25ක තරුණයෙකු ශ්‍රී ලංකාවේ රැඳී සිටිය යුතු වන්නේ ඔහුට ශ්‍රී ලංකාවේ සාර්ථක වෘත්තිමය තත්වයක්  ගොඩනඟා ගත හැකි බවත් රටේ ප්‍රගතියට අර්ථවත් ලෙස දායක විය හැකි බවත් ඔහු  විශ්වාස කරන නිසා. අපි නිර්මාණය කිරීමට කටයුතු කරන්නේ එයයි. එනම්, සැමට සමෘද්ධිමත් විය හැකි ස්ථාවර, සාමකාමී, සංහිඳියාවෙන් යුතු පොහොසත් ශ්‍රී ලංකාවක්.

නිවුස්වීක්: ඔබේ රටේ අතීතයේ සිදු වූ සියලු අයහපත් දෑ ඔබට "ජයගත" හැකි යැයි ඔබ සිතනවාද?

ජනාධිපති අනුර කුමාර දිසානායක: නැහැ. මෙහිදී අවංක වීම වැදගත්. ගැටුම්වලින් ජීවිත දහස් ගණනක් අහිමි වීම ජය ගන්න බැහැ. අතුරුදහන් වීම්, වධහිංසා පැමිණවීම්, එම පවුල්වලට දැනුණ කම්පනය සහ පරම්පරා ගණනකට කැලැල් ඇති කළ අතීතයේ සිදුවීම්  අපට ජය ගැනීමට බැහැ. වැරදි ආර්ථික කළමනාකරණය සහ බිඳවැටීම නිසා ඇති වූ දුක් වේදනා අපට ජය ගැනීමට බැහැ. මරණ සහ ඛේදවාචක ජය ගැනීමට බැහැ. අපට කළ හැක්කේ සහ අප කළ යුත්තේ, අතීතයේ සිදු වූ මෙම භීෂණ නැවත ඇති නොවන බව සහතික කිරීමයි. ඒවා කිසි විටෙකත් නැවත සිදු නොවන බව තහවුරු කිරීමයි. ආදරණීයන් අහිමි වූ මිනිසුන්ගේ වේදනාව නව රජයක් හෝ නව නීතියක් ඇති වූ පමණින් අතුරුදහන් වන්නේ නැහැ.

අපට කළ හැකි හොඳම දෙය නම් වේදනාව පවතින බව පිළිගැනීම සහ මෙවැනි දේවල් නැවත සිදු නොවන බවට වග බලා ගැනීමෙන් එම වේදනාව නිෂ්ඵල එකක් නොවන බව සහතික කිරීමයි. ජය ගැනීම යන්නෙන් ඇඟවෙන්නේ අපට අතීතයට ගොස් අමතක කළ හැකි බවයි. 

ඒත් අපට අතීතය මකා දැමිය නොහැකියි. අපට අතීතය අමතක කරන්න බැහැ. අපි අතීතය පිළිගෙන, ඒ මතකයන් සහ වේදනාකාරී අත්දැකීම්, ඒවා නැවත ඇති නොවීම සහතික කිරීම පිණිස වඩා හොඳ, සියලු දෙනා අන්තර්කරණය කර ගත් ජාතියක් ගොඩනැගීම සඳහා වන පෙළඹවීමක් බවට පත් කර ගත යුතුයි. මගේ මතකයට  එන පැනය නම්, අපට නරක දෙයක් ජය ගත හැකිද යන්න නොවෙයි.  එම වේදනාකාරී අත්දැකීම් ඇති කළ චක්‍රය බිඳ දැමිය හැකිද යන්නයි. ජනවාර්ගිකත්වය, භාෂාව හෝ ආගම යන භේද නොසලකා සෑම කෙනෙකුම ආරක්ෂා කරන ආයතන අපට ගොඩනගා ගත හැකිද යන්නයි.

දේශපාලනමය වෙනස්කම් ප්‍රචණ්ඩත්වයට හේතු නොවන බව අපට සහතික කළ හැකිද? පුරවැසිභාවය සමාන වන, සියලු ප්‍රජාවන්ට තමන් සමාන බව හැඟෙන රටක් අපට නිර්මාණය කළ හැකිද? සෑම කෙනෙකුටම වගකීම පැවරෙන ශක්තිමත් ආයතන සහිත රටක් අපට නිර්මාණය කළ හැකිද? මෙය සාක්ෂාත් කර ගත හැකි ඉලක්කයක් යැයි මම සිතනවා. නමුත් ඒ සඳහා අවශ්‍ය වන්නේ අතීතයට අවංකව මුහුණ දීම මිස එය ජය ගැනීමට බොරු මවාපෑමක් නොවේ. සුළුතර අයිතිවාසිකම් ආරක්ෂා කරන සහ සමාන පුරවැසිභාවය සහතික කරන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ එයට අවශ්‍ය වෙනවා. එයට ප්‍රජාවන් සවිබලගැන්වීම සහ අවදානමට ලක් විය හැකි අය ආරක්ෂා කිරීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා සියලු දෙනාට සමාන ආර්ථික අවස්ථා සැලසීමට අවශ්‍ය වෙනවා. එයට සියලු දෙනාට ගෞරවය ලබා දීම අවශ්‍ය වෙනවා. අපට අතීතය ජය ගත නොහැකියි, එහෙත් අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන එම අයහපත් දේ අනාගත පරම්පරාවන් වෙත භාර නොදීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙන් එම අයහපත් දේ නැවත ඇති වීම ප්‍රතික්ෂේප කළ හැකියි. 

නිවුස්වීක්: ශ්‍රී ලංකාවට දැනට පවතින විශාලතම අභියෝගය කුමක්ද?

ජනාධිපති අනුර කුමාර දිසානායක: අපගේ විශාලතම අභියෝගය වන්නේ එකිනෙක ගැටෙන අර්බුද සමඟ කටයුතු කරන අතරතුර තිරසාර සහ සාධාරණ සංවර්ධනයක් අත්කර ගැනීමයි. අපි දැන් ඓතිහාසික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් සම්පූර්ණ කර තිබෙනවා. ඩොලර් බිලියන 25ක ණය ප්‍රතිව්‍යුහගත කර තිබෙනවා. ඩොලර් බිලියන 3 ක ණය  කපා හැර තිබෙනවා. එහෙත්, දැන් අපට අපගේ පාලනයෙන් ඔබ්බට ගිය අර්බුදයකට මුහුණ දීමට සිදු වෙලා. දිට්වා සුළි කුණාටුව අපගේ අභියෝග තවත් බරපතළ කර තිබෙනවා. අපි පියවර දෙකක් ඉදිරියට තබන විට, අපගේ පාලනයෙන් ඔබ්බට ගිය දෙයක් අපව පියවර තුනක් පසුපසට තල්ලු කර ඇති බව පෙනෙනවා. එහෙත් අපගේ ජනතාවට අසාමාන්‍ය දරා ගැනීමේ හැකියාවක් තිබෙනවා. 

අපගේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 100% ට වඩා වැඩියි. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අපට හැකි වුණත්, අපගේ ආර්ථිකය තවමත් බිඳවැටෙන සුළුයි, මේ මොහොතේ මිලියන දෙකකට අධික ජනතාවක් ව්‍යසනයකින් පීඩාවට පත්ව සිටිනවා. ඔවුන්ට කඩිනම් සහාය අවශ්‍යයි. යම් අර්බුදයක් පැන නැඟී අපව වසර කිහිපයකින් පසුපසට ඇද දමන, සෑම ජයග්‍රහණයක්ම තාවකාලික තත්වයක් පමණක් වන චක්‍රයෙන් ඔබ්බට යාමට අපට සිදු වෙනවා. මම හිතන්නේ මෙය අපගේ විශාලතම අභියෝගයයි. ශ්‍රී ලංකාවේ දරා ගැනීමේ හැකියාව අපි ඔප්පු කළ යුතුයි. අපට දේශගුණික විපත්වලට ඔරොත්තු දිය හැකි බව අපි ඔප්පු කළ යුතුයි.

තරුණයින්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට සිතෙන සරු අනාගතයක් ඔවුන්ට ලබා දිය හැකි බව අපි ඔප්පු කළ යුතුයි. ණය කළමනාකරණය, ආපදා සඳහා පෙර සූදානම, ආර්ථික ප්‍රතිසංස්කරණ, තරුණයින්ට  රැකියා, දේශගුණික අනුවර්තනය ආදී අනෙක් සියල්ල ගලා එන්නේ ශ්‍රී ලංකාවට තිරසාර අනාගතයක් ඇති බව ඔප්පු කිරීම පිළිබඳ වන කේන්ද්‍රීය අභියෝගයෙන්. අපගේ ජනතාව තුළ  විශ්වාසය නැවත ගොඩනැංවීම සහ සියලු අභියෝගයන්ට ඔරොත්තු දෙන, සාමකාමී, සංහිඳියාවෙන් යුත් සහ සමෘද්ධිමත් ජාතියක් ලෙස අපගේ ජාතිය ගොඩනැගීමේ වගකීම භාර ගැනීමට ඔවුන්ව දිරිගැන්වීම සහ පෙළඹවීම සඳහා මම හදවතින්ම කැප වී සිටිනවා. 



අදහස් (2)

’’අභියෝග වලට ඔරොත්තු දෙන ලාංකික ජාතියක් ගොඩ නගනවා’’

පන්සිළු Friday, 12 December 2025 05:46 PM

රෙද්ද තමයි.

:       3       1

සෙනෙවිරත්න Friday, 12 December 2025 06:19 PM

සරණාගත ප්‍රංශ ඩෝබිද? මේවාට ජනතාව දැන් ඇන්දෙන්නේ නෑ බං.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 616 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 521 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site