
හන්තා වයිරස් (Hantavirus) ව්‍යාප්තියක් හේතුවෙන් ආසාදිතයන් වාර්තා වී ඇති ‘එම්වී හොන්ඩියස්’ (MV Hondius) සුඛෝපභෝගී නෞකාවට ස්පාඤ්ඤයට අයත් කැනරි දූපත් වෙත ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන බව එම කලාපයේ සභාපති ප්‍රනාන්දු ක්ලැවිජෝ (Fernando Clavijo) පසුගිය බදාදා තහවුරු කළේය.
දේශීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ, මහජන ආරක්ෂාව තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් තාක්ෂණික දත්ත හෝ තොරතුරු මධ්‍යම රජය විසින් ලබා දී නොමැති බැවින් මෙම නෞකාවට දූපත් වෙත ඇතුළු වීමට ඉඩ දිය නොහැකි බවයි.
ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස්ගේ රජය ගත් මෙම තීරණය දැඩි ලෙස විවේචනය කරන ක්ලැවිජෝ, රජය තමන්ව නිසි ලෙස දැනුවත් නොකරමින් “ආයතනික ද්‍රෝහිකමක්” සිදු කර ඇති බවටද චෝදනා කළේය.
කෙසේ වෙතත්, මැඩ්රිඩ් මධ්‍යම රජය ප්‍රකාශ කර ඇත්තේ අදාළ නෞකාවේ ස්පාඤ්ඤ වැසියන් ද සිටින බැවින් ඔවුන්ට සහාය වීම සදාචාරාත්මක සහ නීතිමය වගකීමක් බවයි. කේප් වර්ඩ් (Cape Verde) ආසන්න මුහුදේ අතරමංව ඇති මෙම නෞකාවට සහාය වීමට එම රටට හැකියාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වා ඇති බැවින්, අවශ්‍ය පහසුකම් සහිත ආසන්නතම ස්ථානය වන්නේ කැනරි දූපත් බව රජය පෙන්වා දෙයි.
නෞකාව තුළ කාර්ය මණ්ඩලය සහ මගීන් ඇතුළු 150ක පමණ පිරිසක් සිටින අතර, මේ වන විට පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු අසනීප වී ඇති බව වාර්තා වේ. සාමාන්‍යයෙන් මීයන් වැනි සතුන්ගේ මළපහ මගින් ව්‍යාප්ත වන මෙම වයිරසය, මෙහිදී මනුෂ්‍යයන්ගෙන් මනුෂ්‍යයන්ට ව්‍යාප්ත විය හැකි මාරාන්තික "ඇන්ඩීස් වයිරස්" (Andes virus) ප්‍රභේදය විය හැකි බවට සැක කෙරේ.
එහි මරණ අනුපාතය 40%ක් තරම් ඉහළ අගයක් ගනී. මේ අතර ස්විට්සර්ලන්ත බලධාරීන් තහවුරු කර ඇත්තේ පසුගිය මාසයේ එම නෞකාවේ ගමන් කර මෙරටට පැමිණි මගියෙකුද රෝග ලක්ෂණ සහිතව රෝහල්ගත කර ඇති බවයි. නෞකාව තුළ සිටින මගීන් පවසන්නේ ඔවුන් මුඛ ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය වැනි පියවර අනුගමනය කරමින් සිටින බවත්, බලධාරීන් විසඳුමක් ලබා දෙන තෙක් පොත් කියවමින් සහ චිත්‍රපට නරඹමින් කාලය ගත කරන බවත්ය.
අප්‍රේල් 1 වනදා ආර්ජන්ටිනාවෙන් ගමන් ආරම්භ කළ මෙම නෞකාවේ සිටින පිරිසට ඇතැම් විට සති අටක පමණ කාලයක් නිරෝධායනය වීමට සිදුවනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති. ඕනෑම මොහොතක කැනරි දූපත් වෙත ළඟා වීමට අපේක්ෂාවෙන් සිටින මෙම නෞකාවට ගොඩබිමට පිවිසීමට අවසර ලැබෙන්නේ ද යන්න පිළිබඳව තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි.
නිව්යෝර්ක් පොස්ට් ඇසුරිනි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd