දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුරින් හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 97න් 92ක් මේ වනවිට යථා තත්වයට  කර ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

මරදාන සිට පේරාදෙණිය දක්වා ප්‍රධාන දුම්රිය මාර්ගයේ නායයෑම්, පස සෝදායෑම්, ගල් පෙරලීම්, පාලම් හා බෝක්කු හානි වීම ඇතුළු සිදුවීම් 97ක් වාර්තා වී විය.

රඹුක්කන – කඩුගන්නාව අතර තවත් ස්ථාන 5ක ප්‍රතිසංස්කරණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRI/NBRO) ආයතනය විසින් විශේෂ ඉංජිනේරු සැලසුම් සහ පරීක්ෂණ සිදු කරමින් යථාවත් කිරීමේ කටයුතු වේගවත් කර ඇති අතර, ස්ථාන කිහිපයක සංකීර්ණ භූවිද්‍යාත්මක තත්ත්වයන් හේතුවෙන් දිගුකාලීන ආරක්ෂිත විසඳුම් ක්‍රියාත්මක කරමින් පවතී.

ප්‍රවේශය දුම්රිය මාර්ගයෙන් පමණක් සිදුවන බැවින් එක් ස්ථානයක වැඩ අවසන් කිරීමෙන් පසුව අනෙක් ස්ථානය වෙත ගමන් කිරීමට සිදුව ඇති අතර, අමුද්‍රව්‍ය ප්‍රවාහනයේ අපහසුතා හේතුවෙන් ඇතැම් ස්ථානවල දුම්රිය මාර්ග කොටස් ඉවත් කර වාහන මඟින් ද්‍රව්‍ය රැගෙන යාම වැනි විශේෂ ක්‍රියාමාර්ග ද අනුගමනය කරයි.

රඹුක්කන සිට කඩිගමුව දක්වා පසුගිය මැයි 03 දා සිට සේවා දුම්රියක් ධාවනය කරමින් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය ආරම්භ කර දුම්රිය ආරංචි මාර්ග කියයි.