(නිමල කොඩිතුවක්කු)

අධිකරණවල ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසඳීම සඳහා අත්දැකීම් බහුල විනිසුරුවරුන්ගේ සේවය ලබා ගැනීමේ අරමුණින් සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට පියවර ගත් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කොළඹදී පැවසීය.

අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මෙය එක් පියවරක් බවත් ඊට අමතරව නඩු ප්‍රමාදයට බලපාන අනෙකුත් ගැටලු විසඳීමටද රජය කඩිනමින් මැදිහත් වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ වන විට අධිකරණ පද්ධතිය තුළ නඩු ලක්ෂ 11කට අධික ප්‍රමාණයක් ගොඩගැසී ඇති බැවින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගැටලු විසඳීම, නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ අධිකරණ අමාත්‍යාංශයේ හා අධිකරණවල පවතින කාර්ය මණ්ඩල හිඟය පිරවීම සඳහාද රජය පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.