( මොහොමඩ් ආසික්)

මහනුවර දිස්ත්‍රික්කයේ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පිරිස් අතුරින් පවුල්  633 කට අයත් පුද්ගලයින් 2,135 දෙනෙකු තවමත් සුරක්ෂිත මධ්‍යස්ථාන 24 ක රැඳී සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

දිට්වා සුළි කුණාටුවෙන් වැඩි වශයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට හානි සිදු වු අතර විශාල පිරිසක් අවතැන්වී සිටියහ. මේ වන තුරුත් එම පිරිස් සම්පූර්ණ වශයෙන් ඔවුන් පදිංචි නිවෙස් වෙත ගොස් නොමැති තත්වයක් පවතී.

ජනතාව පදිංචිව සිටි බොහෝ ප්‍රදේශ මේ වන විට පදිංචියට නුසුදුසු තැන් බවට පත්ව තිබීම නිසා ඔවුන් වෙනුවෙන් සුදුසු වෙනත් ස්ථාන සෙවීමේ කටයුතුද මේ වන විට දියත් වෙමින් පවතී.

කෙසේ වෙතත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය  මගින් ලබා දී ඇති තොරතුරු අනුව මහනුවර දිස්ත්‍රික්කයේ  මේ වන විටත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස අටක සරක්ෂික මධ්‍යස්ථාන 24 ක පවුල් 633 කට අයත් පුද්ගලයින් 2,135 දෙනෙකු රැඳී සිටින බව සඳහන් වෙයි.

ඒ අනුව ගඟවට කෝරළය ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයේ සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක පවුල් 19 ක පුද්ගලයින් 66 දෙනෙකුද, කුණ්ඩසාලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ එක් සුරක්ෂිත මධ්‍යස්ථානයක  පවුල් දෙකක පුද්ගලයිින් 12 දෙනෙකුද , පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 17 ක පුද්ගලයින් 51 දෙනෙකුද, යටිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 23 ක පුද්ගලයින් 70  දෙනෙකුද, උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨායේ  සුරක්ෂිත මධ්‍යස්ථාන හතරක පවුල් 40 ක පුද්ගලයින් 121 දෙනෙකුද දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුරක්ෂිත මධ්‍යස්ථාන පහක පවුල් 263 කට අයත් පුද්ගලයින් 986 දෙනෙකුද , පාතහේවාහැට  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ එක් සුරක්ෂිත මධ්‍යස්ථානයක පවුල් 13 කට අයත් පුද්ගලයින් 47 දෙනෙකුද, උඩදුම්බර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ එක් සුරක්ෂිත මධ්‍යස්ථානයක පවුල් 50 කට අයත් පුද්ගලයින් 126 දෙනෙකුද ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සුරක්ෂිත මධ්‍යස්ථාන අටක පවුල් 206 කට අයත් පුද්ගලයින් 656 දෙනෙකුද රැඳී සිටිති.

මෙලෙස රැඳී සිටින පිරිස් අතර කාන්තාවන් 810 ක් පිරිමින් 723 ක් සහ දරුවන් 602 කුද රැඳී සිටිති.

මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කළේ මෙලෙස රැඳී සිටින  පිරිස් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සපයා දීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සහ අදාළ ප්‍රා දේශිය ලේකම්  කාර්යාල පොලීසි ඇතුළු රජයේ ආයතන මෙනම් ස්වේච්ඡා සංවිධානද එක්ව කටයුතු කරමින් සිටින බවයි. මෙම පිරිස් ඉතා ඉක්මනින්   සුදුසු ස්ථානවල පදිංචිය සඳහා යොමු කිරීමේ කටයුතුද සිදු වෙමින් පවතින බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

දිට්වා සුළි කුණාටුවේ  බලපෑමෙන් මහනුවර දිස්ත්‍රික්කයේ   මරණ 241 ක් වාර්තා වී තිබූ අතර අතුරුදහන් වීම් 69 ක් වාර්තා වී තිබිණ. නිවාස 1,903 කට සම්පූර්ණ හානි සිදුව තිබූ අතර තවත් නිවාස 16,514 කට අර්ධ හානි සිදුව තිබිණ.