( තිළිණි ද සිල්වා )
ළමයින් ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ නැංවූ බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති, මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා කියා සිටී.
ඒ අනුව වයස අවුරුදු 16ත් 18ත් අතර ළමයින්ගේ ජීවිතයට, සෞඛ්‍යයට, අධ්‍යාපනයට,සදාචාර වර්ධනයට අනතුරුදායි නොවන රැකියාවන්හී පමණක් ළමයින් යෙදවිය හැකි යැයි එම අධිකාරියේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර තිබේ.
එම ළමයින් අනාරක්ෂිත රැකියාවල හෝ රාත්‍රී සේවාවන්හි නිරත කළ නොහැකි බව ද සභාපතිවරයා සඳහන් කරයි.
එමෙන්ම ළමයින් ව සිඟමනේ යොදවන දෙමාපියන්ට හා තැරැව්කරුවන්ට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 288 වගන්තිය යටතේ වසර 5ක බන්ධනාගාරගත කිරීමකින් දඩුවම් කළ හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
දරුවන්ව වීථී වෙළෙඳාමේ යෙදවීම, ඔවුන් ලවා සර්කස් ඇතුළු විනෝද ක්‍රීඩා සිදුකොට මුදල් ඉපයීම, ළමයින් ලවා මත්ද්‍රව්‍ය හා මත්පැන් විකිණීම, ළමයින් ගණිකා වෘත්තියේ යෙදවීම ආදිය අපරාධ නීතිය යටතේ වරදක් වන බව ද ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර තිබේ.
එමෙන්ම, සයිබර් තාක්ෂණය ඔස්සේ ළමයින් වාණිජ කටයුතු සඳහා යොදා ගන්නේ නම් එයද අපරාධ නීතිය යටතේ වරදක් බව ඔහු නිවේදනය කර ඇත.
ඕනෑම ස්ථානයක වයස අවුරුදු 16ට අඩු ළමයෙකු ශ්‍රමිකයෙකු ලෙස යොදාගන්නා බව හෝ අවුරුදු 16ත් 18ත් අතර ළමයින් අනතුරුදායී හා අනාරක්ෂිත රැකියාවන්හී යෝදවන බව ඔබට දැකගැනීමට ලැබේනම් ඒ පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක දුරකථන සේවයට හෝ 1929 ළමා ආරක්ෂක යෙදවුමට (1929 Child Protection app ) දැනුම්දෙන මෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳ වැඩක්...!!!
ස්තුති කළයුතු ක්‍රියාවක්. ඒත්, ළමයින් වෙනුවෙන් ඇති මේ අධිකාරියේ අය මීට වඩා ප්රායෝගිකවම ප්‍රශ්නයට මැදිහත් වී, ළමයින්ව එසේ යෙදවීමට හේතු කාරණා, දෙමාපියන්ගේ දරිද්‍රතාව ආදී දේ ගැන සොයාබලා රජය හා එක්ව අදාළ ප්‍රශ්නවලට සුදුසු පිළියම් යෙදිය යුතුය. එසේ නොකරන තෙක් ප්‍රශ්න ඔඩුදුවනවා විනා, විසඳෙන්නේ නැත. අණ පණත් සම්මත කරාට, නීතිරීති දැම්මාට, ප්රවෘත්ති මැව්වාට පමණක් ප්‍රශ්න නොවිසඳෙනු ඇත. සැබෑ වුවමනාවකින් හා නිසි කැපවීමකින් ඒවාට ප්‍රායෝගිකව පිළිතුරු සෙවිය යුතුයි...
ළමුන් රැකියාවන් සඳහා යොමුවන්නේ මන්දැයි සලකා බැලිය යුතුයි. එයට සෘජුවම බලපාන්නේ දරිද්‍රතාවයයි. එන්න එන්නම එය වර්ධනය වෙමින් පවතී. හේතුවට සමාජයක් ලෙස විසඳුම් සෙවීමක් දක්නට නැත. ඵලය නැවැත්වීමට නීති ගෙන එයි. එවිට තවත් අර්බුදය උග්‍රවේ. සමහර දරුවන් රැකියාවක් කරමින් තම පවුලම නඩත්තු කරන අවස්ථාද තිබේ. දැන් ඒ පවුලම අගාධයකට ඇද වැටේ. ළමා ශ්‍රමිකයන් කෙසේ හෝ වැළැක්විය යුතුවනවා වෙනුවට නිවැරැදි ක්‍රමයකට වැළැක්වීම කළ යුතුයි. අපි හැම එකාම අගින් අල්ලාගෙන විසඳුම් සොයන ජාතියකි...
මැර තාත්තලා, අම්මලාගේ ක්‍රියාවලින් අසරණ වෙන ළමයින්ට ලැබෙන ආරක්ෂක ක්‍රම මදි. පැමිණිලිවලට පොලීසියට ගියාම මැර තාත්තලා බේරා ළමයි සහ කාන්තාව කරදරේ වැටෙන්න ඉඩ වැඩියි...