(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානය, හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනා ගමනය අවහිර කිරීම හේතුවෙන් ගෝලීය වෙළෙඳාම අඩපණ වීමේ විශාල අවදානමක් තිබෙන බවත් ඒ හේතුවෙන් ලෝකයේ ආහාර මිල ඉහළ යාමට සහ ජීවන වියදමට පීඩනයක් එල්ල වීමට හැකි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙළෙඳ හා සංවර්ධන සමුළුව පසුගියදා අනතුරු ඇඟවූවේය.

ඇමෙරිකාව - ඊශ්‍රායලය, ඉරානයට පහර දීමට සතියකට පෙර හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කර තිබූ නෞකා වලින් සියයට 38 ක් බොරතෙල් බවත් සියයට 29ක් එල්.පී ගෑස් බවත් එම සමුළුව පෙන්වා දුන්නේය. එසේම සියයට 19ක් එල්.එන්. ගෑස් බවත් තවත් සියයට 13ක් පොහොර ඇතුළු රසායනික ද්‍රව්‍ය බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙළෙඳ හා සංවර්ධන සමුළුව ප්‍රකාශ කළේය.

තවත් සියයට 2.8 ක් බහාලුම් රැගෙන යන නෞකා බවත් ඉතිරි සියයට 2.4ක් වියළි ද්‍රව්‍ය ප්‍රවාහනය කරන නෞකා බවත් එම සමුළුව පැවැසුවේය. යුද්ධය ආරම්භ වීමට පෙර පසුගිය පෙබරවාරි 1 සිට 27 වැනිදා දක්වා කාලයේදී දිනකට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා 129 ක් ගමන් කර ඇතත් යුද්ධය ආරම්භ වීමෙන් පසු මාර්තු මාසයේදී හොමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇත්තේ දිනකට නැවු 6ත් 4ත් අතර ප්‍රමාණයක් පමණක් යැයිද එම සමුළුව පෙන්වා දුන්නේය.

ඉරාන යුද්ධය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නැවු ගමනා ගමනයට දැනටමත් බාධා එල්ල වී ඇතැයි මෙම දත්ත වලින් පෙනීයන බවද එම සමුළුව ප්‍රකාශ කළේය.

යුද්ධය දිගින් දිගටම පැවැතියහොත් බලශක්ති සැපයුමට බාධා එල්ලවිය හැකි බවත් එහි ප්‍රතිඵලයක් ලෙස නෞකා ප්‍රවාහන ගාස්තු, පොහොර මිල සහ බලශක්ති නිෂ්පාදන මිල ඉහළ යා හැකි බවත් එම සමුළුව අනතුරු ඇඟවූවේය. ඒ හේතුවෙන් ලෝක ආහාර මිල ඉහළ යා හැකි බවත් ජීවන වියදමද ඉහළ යා හැකි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙළෙඳ හා සංවර්ධන සමුළුව පෙන්වා දුන්නේය.