(සුජිත් හේවාජුලිගේ)

බන්ධනාගාර ආයතන නවයක විවිධ ගිනි අවි සඳහා භාවිත කරන පතුරම් 2327ක් භාවිතයට ගත නොහැකි තත්වයේ පවතින බව හඳුනාගෙන ඇතත් එම පතුරම් සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

අගුණකොලපැලැස්ස බූස්ස බෝගම්බර කළුතර අනුරාධපුර කොළඹ මැගසින් මොනරාගල වටරැක සහ වාරියපොල බන්ධනාගාරවල තිබූ ජීවපතුරම් මෙසේ භාවිතයට ගත නොහැකිව පැවතිණ.

බන්ධනාගාර ආයතන නවයක ගිනි අවි 191අලුත්වැඩියා කළ යුතු තත්ත්වයේ පැවතුන බව එම වාර්තාවේ දැක්වේ.

එසේම බන්ධනාගාර ආයතන විසි හතකින් ලද තොරතුරු අනුව ආරක්ෂක උපකරණ ආයුධ 1038 ප්‍රමාණයක් භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පවතින බැවින් ආයතනවල ඒවා හිඟතාවයක් තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

බන්ධනාගාර ආයතන නවයක තිබුණු ගිනිඅවි 62ක් මැගසින් පනහක් පතුරම් 1278ක් විමර්ශන කටයුතු සඳහා අධිකරණ හා පොලිස් ස්ථාන වෙත භාරදී වසර තුනක් අවුරුදු තිස් එකත් අතර කාලයක් ගතවී තිබුණද මේ වසරේ අප්‍රේල් දක්වාම නිසි පරිදි ඒවා ලබාගෙන නොතිබීම හේතුවෙන් කැරලිකාරී තත්ත්වයන්හිදී නිලධාරීන්ට ඒවාට මුහුණ දීමට ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබූ බව එම වාර්තාවේ දැක්වේ.

එසේම අධිකරණ රාජකාරී විශේෂ රෝහල් රාජකාරී සහ ආරක්ෂණ රාජකාරී කටයුතුවලදීද බාධාවක්ව ඇතැයි සඳහන්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2025 වර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය