(රෝෂන් තුෂාර)

හෙලිකොප්ටරයක් මිලදී ගැනීමේ දී රුපියල් කෝටි 07 ක් වංචා කළේ යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවරු නඩුවේ කෝටිපති ව්‍යාපාරික ,අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාඹුගල නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය අද (22) නියෝග කළාය.

සැකකරුට එරෙහිව අපරාධ නඩුවක් පැවරීමේ හැකියාවක් නොමැති බවට නීතිපතිවරයා නිකුත් කර ඇති නියෝග පරිදි සැකකරු නිදහස් කරන බව මහේස්ත්‍රාත්වරිය සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළාය.

විරංපිත් තාඹුගල මහතාට එරෙහිව පණවා තිබු විදේශ ගමන් තහනමද ඉවත් කරන බවට මහෙස්ත්‍රාත්තුමිය දන්වා සිටියාය.

හෙලිකොප්ටරයක් මිලදී ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන හැත්තෑවක මුදලක් වංචා කළ බවට අයි. ඩබ්ලිව්. එස්. හෝල්ඩින් පුද්ගලික සමාගමේ අධිපති ආතර් සේනානායක මහතා කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංශය මගින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්ත මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම පැමිණිල්ල සැකකරු සම්බන්ධයෙන් ද්වේශ සහගතව පවරා ඇති බවය. එවකට ඉහළ පෙළේ දේශපාලනඥයින් පිරිසක් සැකකරු සමග අමනාපයෙන් සිටින බවද පැවසීය.

මෙම කරුණු දැක්වීම්වලට අදාළව විරංපිත් තාඹුගල මහතා විසින් පැය 15කට ආසන්න කාලයක් මහේස්ත්‍රාත්තුමිය හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීමද සිදු කළේය.