(ටී.කේ.ජී.කපිල)

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් තිබූ රුපියල් තිස් අට ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ව්‍යාපාරිකයෙකු  පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී ඊයේ (31) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකු විසින් මෙම දුම්වැටි තොගය රැගෙන විත් තිබුණි .

මෙම ව්‍යාපාරිකයා ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ රාත්‍රී 10.00ට පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ දුම්වැටි 38,400ක් අඩංගු දුම්වැටි කාටූන් 192ක් සගවා ගෙන තිබියදී, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම ව්‍යාපාරිකයා දැනට පොලිස් ඇප මත මුදා හැරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පියවර ගෙන ඇති අතර එළඹෙන ජූනි මස 05 දින මෙම ව්‍යාපාරිකයා ඔහු විසින් නීතිවිරෝධී ලෙස ගෙන ආ මෙම දුම්වැටි තොගය සමග මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.