(අජිත්ලාල් ශාන්තඋදය)

කුරුවිට තෙප්පනාවේ සිට එරත්න විතාරම්පංගුවට කිතුල් හකුරු ගෙන ඒමට කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයකු එරත්නේ දී ත්‍රිරෝද රථ රියදුරුගේ ගෙල තියුණු ආයුධයකින් කපා මරා දමා ඇතැයි කුරුවිට පොලීසිය කියයි.

එරත්නේ තරුණයන්ගේ ද සහාය ඇතිව සැකකරු පැය කිහිපයක් තුල අත්අඩංගුවට ගනු ලැබූ බවද පොලිසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ කුරුවිට තෙප්පනාව පදිංචි ඇස්වත්තගේ සුමිත් නැමැති 54වියේ පසුවු විවාහකයෙකි.

වෙනත් රාජකාරියකට ගිය කුරුවිට පොලිසියේ නිලධාරියකු වැස්සෙන් බේරිම සඳහා එරන්නේ නිවෙසක් අසල සිටියදී  ත්‍රිරොද රථයක සිටි දෙදෙනකුගෙන් එක් අයකු ‘මගේ බෙල්ල කැපුවෝ’ යැයි කියමින් ත්‍රිරෝද පැන කෑගසමින් ඉදිරියට එක් අයකු පැන ගොස් ඇත.

වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියා අසල්වැසියන්ගේ සහායෙන් තුවාලකරු එරත්න ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

එසේ ගෙලකපා තිබී ඇත්තේ ත්‍රිරෝද රියේ රියදුරුගේ බව පසුව අනාවරණය වී තිබුණි.  සිද්ධිය සැලවීමෙන් පසු ප්‍රදේශයේ තරුණ පිරිස් ඇතුලුව විශාල පිරිසක් එතැනට පැමිණ තිබේ. සැකකරු අපරාධය කළ ස්ථානයේ සිට කුරු ගඟෙන් එගොඩට පලාගොස් තිබූ අතර ප්‍රදේශවාසින්ගේ සහායෙන් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.