(රෝෂන් තුෂාර)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ  සම්බන්ධයෙන් මෙතෙක් අධිකරණයට කරුණු වාර්තා කර නොමැති බව කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා හමුවේ කරුණු දැක්වූ රහස් පොලිසිය අද ප්‍රකාශ කළේය.

රඳවා ප්‍රශ්න කරන සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඔහුගේ පවුලේ ඥාතීන් ගොනුකළ පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදී , සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබේද යන්න පිළිබඳව මහේස්ත්‍රාත්වරයා විසින් කළ විමසීමකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එසේ සඳහන් කළේය. සුරේෂ් සලේ මහතාගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ රඳවා ප්‍රශ්න කරන තම සේවා දායකයා ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් විශාල සේවයක් කළ නිලධාරියකු බවත් , ඔහුට ජීවිත තර්ජන ඇති බැවින් නිවසින් ආහාර ලබාදීම සඳහා අවසරය ලබා ගැනීම ට මෙම ඉල්ලීම කරන බවය. සේවා දායකයා හමුවී උපදෙස් ලබා ගැනීමට බදාදා දිනය ලබා දී ඇති බවත් එම දිනයට අමතරව තවත් දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටි නිතිඥවරයා රඳවා ප්‍රශ්න කරන තම සේවා දායකයා බැලීමට ඔහුගේ පුත්‍රයාට ප්‍රවේශය ලබාදීමට ඉඩ සලසන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සුරේෂ් මහතා 2026 ක් වූ පෙබරවාරි මස 25 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම සිදුකර බවත් එකී අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ නිවස වෙත ඔහු රැගෙන ඒම සිදු කරනු ලැබූ අතර නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා සිටි අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් සෝදිසි වරෙන්තුවක් ඇත්දැයි යන්න ඔහුගේ භාර්යාව විසින් අදාළ නිලධාරීන්ගෙන් විමසා සිටි අවස්ථාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිවසක් සෝදිසි කිරීමට එලෙස සෝදිසි වරෙන්තුවක් අවශ්‍ය නොවන බවට ඔවුන් පවසා ඇති බවත් නිතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම නිවසට ඇතුළු වී නිවස සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කළ ඇතත් කිසිදු කාන්තා පොලිස් නිලධාරිනියක් එම පරීක්ෂාව සඳහා සහභාගි කර ගැනීමක් නොමැතිව මෙම පරික්ෂාව සිදු කර ඇති බවත් ඔවුන් අධිකරණය හමුවේ කියා සිටියේය.

එහිදී ඔහුගේ නීතිඥයින්ට අවශ්‍ය නීති උපදෙස් ලබා දීම සහ ලබා ගැනීම සඳහා පහසුකම් ලබා දෙන ලෙසත් නිවසින් ආහාර ලබාදීමට නියෝගයක් නිකුත් කරන ලෙස නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සැකකරු සම්බන්ධයෙන් කරුණු වාර්තා කර නැති බැවින් එම ඉල්ලිම් වලට ඉඩ ලබා දිය නොහැකි බවය.