(මනෝප්‍රිය ගුණසේකර)

හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන මහතා ඇප මත මුදාහැරීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විත්තිකරුට් විදෙස් ගමන් තහනමක්ද ඊයේ (06) පැනවීය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් කුලී පදනම මත වාහන ලබා ගෙන මණ්ඩලයට රුපියල් ලක්‍ෂ 68 කට අධික අයුතු අලාභයක් වන අන්දමට කටයුතු කළැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර බාරදීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහැරීමට විනිසුරුවරයා නියම කළේය.

2006 අගෝස්තු සහ 2007 මාර්තු මාසය අතර කාලය තුළ කොළඹදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් රජයට පාඩුවක් වන බව දැන දැනම මණ්ඩලයේ භාවිතය සඳහා ගත් වාහන සඳහා රුපියල් 13 68 000/-ක් මුදාහැරීමෙන් අල්ලස් පනතේ සඳහන් දූෂණය නමැති වරද කළැයි විත්තිකරුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සරණ ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබිණි.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර සරණ ගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී විත්තිකරුට එරෙහි චෝදනා පත්‍ර බාරදුන්නේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු ඉදිරිපත් කරමින් සිතාසියකට අනුව අධිකණයේ පෙනී සිටි තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉල්ලීම පිළිගනිමින් රුපියල් 50 000/-ක මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහු මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා නඩුව යළි කැඳවන මැයි 4 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට නියම කළේය.