(ටී.කේ.ජී.කපිල )

චීන ජාතික ගුවන් මගීන් තිදෙනෙකු විසින් , මෙරට තුළ සයිබර් අපරාධ සිදු කිරීම සදහා යොදා ගැනීමට අවශ්‍ය යැයි සැක කෙරෙන , රුපියල් පනස් එක් ලක්ෂ හතලිස් දහසක් වටිනා ජංගම දුරකථන සහ ඒවා සදහා භාවිතා කෙරෙන බැටරි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත "  ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් අතර 34 හැවිරිදි චීන ජාතික කාන්තාවක සහ 35 හැවිරිදි වියේ පසුවන චීන ජාතික පිරිමි ගුවන් මගීන් තිදෙනෙකු සිටිති .

 ඔවුන් ඊයේ (19)  රාත්‍රී 06.43 ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 6017 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එහිදී මොවූන් තිදෙනා අතරින් පළමුවෙන්ම කටුනායක ගුවන් තොටුපොළ " හරිත මාවත " වෙත පිවිසි චීන ජාතික පිරිමි ගුවන් මගියා විසින් , ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් ලබා දෙන පොලිතීන් බෑග් අතර , රැගෙන පැමිණි කලු පැහැති" ටියුලිප් " වර්ගයයේ පොලිතීන් බෑගය පිළිබද සැක සිතූ රේගු නිලධාරීන් , එය පරීක්ෂා කිරීමේදී , ටොෆී , චොකලට් අතර සගවා ගෙන තිබූ , මෙම ජංගම දුරකථන තොගයෙන් පළමු කොටසක් සොයා ගෙන තිබුණි.

ඉන්පසුව ඔහුගේ සිරුර පරීක්ෂා කිරීමේදී , ඔහු ඇද සිටි ඇදුමට යටින් , විශේෂයෙන් සකස් කළ ජැකට්ටවක් තුළ ද , ඔහුට පසුපසින් පැමිණි චීන ජාතික කාන්තාව පැළද  සිටි පාවහන් වල මේස් තුළ සහ අනෙක් චීන ජාතික ගුවන් මගියාගේ ගමන් මල්ල තුළ ද , ජංගම දුරකථන 87 ක් සහ ඒවාට යොදන බැටරි 140 ක් සගවා ගෙන තිබුණි .