(සුජිත් හේවාජුලිගේ)

2026 සඳහා වූ ජාතික විගණන කාර්යාලයේ වාර්ෂික වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව දැනුවත් කෙරිණ

රී බිල්ඩින් ශ්‍රී ලංකා (Rebuilding Sri Lanka) ව්‍යවස්ථාපිත අරමුදලක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද  සාකච්ඡා සාකච්ඡා කරන ලදි

2026 සඳහා වූ ජාතික විගණන කාර්යාලයේ වාර්ෂික වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව දැනුවත් කිරීම සිදු විය.

ඒ,  පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ  නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර, සහ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, චම්පික හෙට්ටිආරච්චි සහ (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා (02) රැස් වූ අවස්ථාවේදී ය.

මෙහිදී සමෘද්ධි බැංකු විගණනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර, පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ 2025 වර්ෂයට අදාළ විගණනය කිරීම සඳහා 2023 සහ 2024 වර්ෂවල විගණන දෙක අවසන් කළ යුතු බවයි. එම විගණනයන් බාහිර පාර්ශ්ව වෙත පැවරීමේ ප්‍රසම්පාදන කටයුතු මෙතෙක් අවසන් වී නොමැති බව නිලධාරීහු මෙහිදී පැවසූහ.

මෙම කටයුතු සඳහා නිලධාරීන් 300ක් පමණ අවශ්‍ය බව ඇස්තමේන්තු කර තිබුණද, වසර 1 1/2ක් තුළ මේ සඳහා නිලධාරීන් 200ක් බඳවා ගැනීම ප්‍රමාණවත් බව විගණකාධිපතිතුමිය මෙහිදී පැවසුවාය. 
එසේම, මෙම බැංකුව විගණනයට අදාළව නිශ්චිත ක්‍රමවේදයක් (Frame Work) නොපවතින බවද නිලධාරීහු අවධාරණය කළහ. මේ අනුව, මේ පිළිබඳව අධ්‍යයනය කර සමෘද්ධි බැංකු හා සමිති විගණනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය යෝජනාවක් ලෙස කාරක සභා‍ව වෙත ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.  

තවද, සයිබර් ආරක්ෂණ (Cyber Security) ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යෙ‍ාමු වූ අතර විගණන කටයුතු සඳහා තොරතුරු තාක්ෂණ විශේෂඥයින් දෙපාර්තමේන්තුවේ නොමැති බවත්, පද්ධති විගණනයේදී එය බාහිර පාර්ශ්ව (External Auditors) විසින් සිදු කරන බවත් ජාතික විගණන කාර්යාලයේ  නිලධාරීහු වැඩිදුරටත් පැවසුහ .

මීට අමතරව රී බිල්ඩින් ශ්‍රී ලංකා (Rebuilding Sri Lanka) වැඩසටහනට අදාළ ගිණුම සම්බන්ධයෙන්ද ස‍ාකච්ඡා කිරීම සිදුවිය. Rebuilding Sri Lanka යනුවෙන් ව්‍යවස්ථාපිත අරමුදලක් නොමැති බව එහිදී අනාවරණය වූ අතර, මෙය භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් යටතේ තිබෙන ගිණුමක් පමණක් බව ජාතික විගණන කාර්යාල නිලධාරීහු පෙන්වා දුන්හ. එසේම එමගින් මෙතෙක් කිසිදු ගෙවීමක් සිදු කර නොමැති බවත් නිලධාරීහු පැවසූහ