
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
“අනේ පොලිස් අංකල් මගේ ඇඩ්මිෂන් එක ගෙදර දාලා ඇවිල්ලා. මට උදව් කරන්න අංකල්.” යැයි මහත් අසරණව පොලිස් නිලධාරියා ඉදිරියට පැමිණ හඬා වැටෙන්නට වූ සිසුවියකට වහා ඉදිරිපත්ව උපකාර කිරීමට මොරගහහේන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙක් අද (6) උදෑසන ඉදිරිපත් විය.
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විභාග මධ්‍යස්ථානයක් ලෙස නම් කර තිබූ මොරගහහේන ගෝනපොළ පලන්නොරුව මහා විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂාව බාරව මොරගහහේන පොලිසියට අනුයුක්ත රථවාහන අංශයේ පොලිස් සැරයන් (41013) ඒ. කුලරත්න මහතා අද (6) පෙරවරුවේ රාජකාරියේ නිරතව සිටියේය.
එම නිලධාරියා ඉදිරිපිටට දිව ආ සිසුවියක ඔහුට යමක් කීමට උත්සාහ දරමින් ඉකි ගසමින් හඬා වැටෙන්නට වූ අතර එය දුටු නිලධාරියා සිසුවිය අස්වසමින් “කියන්න දුව, කියන්න දුව ඇයි ඔයා අඬන්නේ? මොකක්ද ප්‍රශ්නය ඔයාට?”
“අනේ අංකල් අද ගණන් පේපර් එක තියෙන්නේ. මට ඇඩ්මිෂන් එක (විභාග අපේක්ෂක ප්‍රවේශ පත්‍රය) ගේන්න අමතක වුණා. තව විනාඩි කීපයකින් විභාගය පටන් ගන්නවා අංකල්. මට උදව් කරන්න අංකල්” යැයි ඇය හඬා වැටෙන්නට වූවාය.
සිසුවියගේ ඒ දුක්බර වදන් පෙළ සමගම නිරායාසයෙන්ම තම අත්ඔරලෝසුව දෙසට නෙත යොමු කළ පොලිස් නිලධාරියාට ඒ වන විට වෙලාව හරියටම පෙරවරු 8 පසු වී විනාඩි 22ක් බවත් විභාගය ආරම්භ කිරීමට තව හරියටම ඇත්තේ විනාඩි 8ක පමණ ඉතාම සුළු කාලයක් බවත් අවබෝධ විය.
විනාඩියත් වටින බව මනාව තේරුම් ගෙන සැනින් වහා ක්‍රියාත්මක වූ පොලිස් සැරයන් කුලරත්න නිලධාරියා පාසල් ආරක්ෂා පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් නිල ජීප් රථයෙන් පැමිණ සිටි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතා හමුවට දිවගොස් සිසුවියට සිදුව තිබූ අකරතැබ්බය වහා දැනුවත් කිරීමට පියවර ගත්තේය.
එය ඇසූ සැනින් ඇයට පිහිට වීමට ස්ථානාධිපතිවරයා පොලිස් නිලධාරියාගෙන් දෙවරක් නොවිමසා අවසර ලබාදීම හේතුවෙන් සිසුවිය සිය පොලිස් යතුරුපැදියේ නංවාගෙන කිලෝමීටර් හතරක් පමණ දුරින් වූ ඇයගේ නිවෙස පිහිටි වත්තේකඩේ නාගස් හන්දිය ප්‍රදේශය කරා ක්ෂණිකව යතුරුපැදිය පදින්නට විය.
එසැනින් වහා ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා ශාලාධිපති හමුවට ගොස් සිසුවියට සිදුවූ සිද්ධිය පවසා ඇය කැටිව පොලිස් නිලධාරියකු යතුරුපැදියෙන් නිවෙසට ගොස් ඇයගේ විභාග අපේක්ෂක ප්‍රවේශ පත්‍රය රැගෙන ඒමට ක්ෂණිකව කටයුතු කරන බව දැනුම් දීමට පියවර ගත්තේය.
සිසුවියගේ අවශ්‍යතාව සහ මානසික තත්ත්වය නිසි අයුරින් තේරුම් ගත් පොලිස් සැරයන් කුලරත්න නිලධාරියා සිසුවිය රැගත් සිය යතුරුපැදිය විභාග ශාලාව ආසන්නයටම පදවාගෙන පැමිණ ඇයට විභාගය වෙත කිසිදු බාධාවකින් තොරව මුහුණදීමට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගත්තේය.
විනාඩි කිහිපයක කාලයක් තුළ දී සිදු වූ මේ උතුම් කර්තව්‍යය පිළිබඳ අවධානය යොමු කර සිටි සිසු දරු දැරියන් විභාගය සඳහා ඉදිරිපත් කිරීමට රැගෙන විද්‍යාලය ඉදිරිපිටට පැමිණි මවුපියෝ පොලිස් නිලධාරියාට පැසසුම් කළ අතර ඊට අවශ්‍ය අවසරය ලබා දුන් ස්ථානාධිපතිවරයාට ද සිය ස්තූතිය පළ කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රේශ්ඨ නිලදාරියෙක්
ඉතා හොඳ සත්ක්‍රියාවක්
ඔබ සැමට මල්මිටක්
ඔබතුමන්ලා වැනි නිලධාරීන් විශාල වශයෙන් අපේ මව්බිමට අවශ්‍ය කාලයක් මේ... ඉතා අගේ කළයුතු කාර්යයක්... දිගුකල් වැජඹේවා...!
අගය කළ යුතු වටිනා දෙයක්... පොලිස් නිලධාරීන් හට මල්මිටක්...!!!
පොලිස් නිලධාරිතුමනි, ඔබතුමා මේ දැරියට රාජකාරියටත් ඉහළින් කළ උතුම් උපකාරය මා ඉතාම ඉහළින් අගය කරනවා. මේ දිනවල මේ ගම්වල දරුවන් අධ්‍යාපනය ලබාගෙන අනාගතය සාර්තක කරගන්නට කරන සටන් නිසා ඇයහේ හැඳුනුම් පත්‍රය අමතක වෙන්නට ඇති. මේ දරුවත් වාසනාවන්ත දරුවෙක් ඔබතුමා හමුවීම.
මෙවැනි ශ්‍රේෂ්ඨ පොලිස් නිලධාරීන් මනුස්සකම පිරිහී ගිය රටට ආදර්ශයක්... කුලරත්න මහතාටත්, තුසිත මහතාටත් අපගේ ප්‍රණාමය...!
ගරු කරන්න සර්. පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපය නංවාලීමට ඔබ විශාල කාර්යයක් ඉටු කර ඇත.
ආදර්ශමත් පොලිස් නිලධාරීන් අගය කල යුතු
හොඳ වැඩක්, ගොඩක් අගය කරනවා.
හෙල්මට් දාගෙන නැත්තේ ඔලුව හුඟක් හයිය ඇති ..
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි .ජාතියේ සහ ලාංකිකත්වයේ අගය කුහක නොවී ප්‍රසංශා කරමු .නිලධාරී මහත්මයානන් සියලු දෙනාටම තුති
මේ පොලිස් නිලධාරී මහත්වරුන් හට අනේක වාරයක් ස්තූතියි.පොලිස් සේවය කීර්තිමත් සේවයක් ලෙස රටට වැඩදායී අයුරෙන් යෙදවීමට ප්‍රධානම බාධකය වනුයේ දේශපාලකයන් බව පෙනේ.දේශපාලකයාගේ වැරදි නිසා පිරිහෙන පොලිස් සේවය හා නිලධාරීන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුයි.
වටිනා මිනිස්සු. මිහිපිට දෙවිවරු
ඇඩ්මිශන් එක පළවෙනි දවසේම විභාග ශාලාවෙන් එකතු කරගන්නවා නේද? දවස ගානේ ගෙදරින් ගේන්නේ නෑනේ...!
කුණුගොඩවල්වලට ටක් ගාලා ප්‍රතිචාර දක්වනවා... මේ වගේ උතුම් ක්‍රියාවන්ට ප්‍රතිචාර දක්වන්න බැරි ඔබලාට හෙණගහලද?
පොලිස් නිලදරුවන්ගේ උතුම් ක්‍රියාව බොහොම ඉහලින්ම අගය කල යුතුයි
වැඩේ හොඳයි .කලින් ප්ලෑන් කරලද මන්දා
හොඳ වැඩක්...
විශිෂ්ඨයි..!
මේ තමයි පොලිසියට සහ මහ ජනතාවට උදාර සේවයක් කරන උතුම් මිනිස්සු. මෙවැනි නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඇගැයීමකට ලක්කර යුතුයි...
එතන කවුරැ හිටියත් ඔය වැඩේ කරල දෙනව..පොලිස් කාරයො කරන අමන වැඩවලට මෙක මොකක්?
ඔබතුමන්ලාගේ සද්ක්‍රියාව වෙනුවෙන් හිස නමා ගෞරව කරන අතර, ඔබලා වැනි නිලධාරීන් තවතවත් අපේ මව්බිමේ බිහිවේවා කියාද ඉතසිතින් ප්‍රාර්ථනා කරමි... බුදුසරනයි.!
ඔබතුමන්ලාගේ සද්ක්‍රියාව වෙනුවෙන් මාගේ හදවතින්ම පුදන සුභාශිංසනය පිළිගන්න. ස්තුතියි...