(අංජුල මහික වීරරත්න)

සත්ත්ව ආහාර සඳහා බඩ ඉරිඟු ආනයනය සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සත්ත්ව ආහාර සහ ත්‍රිපෝෂ නිෂ්පාදනය හා මිනිස් පරිභෝජනය යන කාර්යයන් සඳහා බඩ ඉරිඟු යොදා ගැනෙන අතර, දේශීයව නිෂ්පාදනය කෙරෙන බඩ ඉරිඟු ප්‍රමාණය ඒ සඳහා ප්‍රමාණවත් නොවන බැවින් බඩ ඉරිඟු ආනයනය කිරීමට සිදු වී තිබේ. 

කෙසේ වුව ද, පසු ගිය කාලවකවානු වලදී ඒ සම්බන්ධයෙන් විවිධ ගැටලු මතු වීම හේතුවෙන් බඩ ඉරිඟු ආනයනය සඳහා විධිමත් ක්‍රම වේදයක් සකස් කළ යුතු බවට 2025-12-15 සහ 2025-12-22 යන දිනයන්හි පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම් වලදී තීරණය කරනු ලැබ ඇත. 

ඒ අනුව, ඉදිරියේදී දේශීය බඩ ඉරිඟු මිල කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශයේ ලේකම් විසින් පත් කරනු ලබන කමිටුවක් විසින් තීරණය කිරීමටත්, දේශීය බඩ ඉරිඟු අස්වැන්න වෙළෙඳ පොළට නොලැඛෙන කාල සීමාවන් වලදී දේශීය බඩ ඉරිඟු ගොවීන්ට අගතියක් නොවන පරිදි, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සත්ත්ව ආහාර නිෂ්පාදකයින් හා සත්ත්ව ආහාර ආනයනකරුවන් මඟින් සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය දේශීය වශයෙන් සපයාගත නොහැකි බඩ ඉරිඟු ප්‍රමාණය පමණක්, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ආනයනය කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.