
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 1794 ක් අස්ථානගතවී ඇතැයි රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වෙන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
අමාත්‍යාංශයේ වාහන 259 බාහිර පාර්ශවයන්ට පවරාදී ඇතැයිද එම වාර්තාවේ සඳහන් වන බව පැවසූ කෝපා කමිටු සභාපතිවරයා වාහන පරිපාලනය සම්බන්ධයෙන්වන දත්ත පද්ධතියේ අඩුපාඩු පිළිබඳවද විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය.
මේ වාහන අතර මෝටර් රථ 679 ක් සහ යතුරුපැදි 1115 ක් ඇති බවත් එම මෝටර් රථ බොහොමයක් අමාත්‍යාංශය සන්තකයේ නැති බව දැනගන්නට ලැබීමෙන් අනතුරුව ඒවාට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවත්වන්නැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිනියක් එහිදී පැවසුවාය.
ඒ අනුව මේ වාහනවලට අදාලව ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතා ඇතැයිද ඇය වැඩිදුරටත් කීවාය.
මේ වැඩපිළිවෙළ හරහා වාහන 425ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වූවත් ඒවා වෙන්දේසි කර අපහරණය කළා දැයි සොයා ගැනීමට අපහසු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීහු පැවසූහ.
යතුරුපැදි 1115න් තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ එකොළහක් සම්බන්ධයෙන් පමණක් බව පැවසූ එම නිලධාරීහු මේ යතුරු පැදි බොහොමයක් ක්ෂේත්‍ර නිලධාරීන්ට නිකුත් කෙරුණු ඒවා බවද සඳහන් කළහ.
ක්ෂේත්‍ර නිලධාරීන්ට මේ යතුරු පැදි ලබා දෙන්නේ ගිවිසුම්ගතව බවත් විශ්‍රාම යෑමෙන් පසු පෞද්ගලිකව ගෙන යෑමට ඒ අනුව අවසර හිමිවන බවත් ඔවුහු පෙන්වා දුන්හ.
ඒ යතුරු පැදි සම්බන්ධයෙන්ද ඉදිරි කටයුතු කරගෙන බව එහිදී සඳහන් විය.
මේ වාහන බොහොමයක් 1950 සිට 1996 දක්වා ලියාපදිංචිවූ වාහන බව කෝපා කමිටුව පවසයි.
වාහන පරිපාලන පද්ධතිය සම්බන්ධයෙන් කෝපා කමිටු සභාපතිවරයා මෙහිදී කළ විමසුමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් සඳහන් කළේ එම පද්ධතිය ක්‍රියාත්මක කරගෙන යන බවයි.
වාහන අස්ථානගතවීම වැළැක්වීමට වහාම පියවර ගන්නා ලෙස කෝපා කමිටු සභාපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යසාධනය විමසීම සඳහා එහි ප්‍රධානීහු රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පසුගියදා කැඳවනු ලැබූහ. මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
මෙම කාරක සභා රැස්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ, ඕවායින් අපට වැඩක් නෑ... ඔය හොරකම්, අයතා පරිහරණ, දූෂණ වංචා, ගැන කොයි කවුරු මොනවා හොයා ගත්තත් අන්තිමේදී වෙන දෙයක් නෑ. වෙන එකම දේ ඔය කමිටු බමිටුවල කට්ටිය සම්තින්ග් එකක් අත කට පුරා අරගෙන අයින් වෙන එකයි. අපි අපේ වැඩක් බලාගෙන ඉඳිමු...
රජයේ හොරු
වාහන ආගිය අතක් නෑ කියලා හරියන්නේ නැහැනේ. මේ වාහන වලට ලියාපදිංචි කිරීමේ අංකයක්,චැසි අංකයක් තියෙනවා.මහා මාර්ගවල ධාවනය වන ඕනෑම වාහනයක් සඳහා බලපත්‍ර හා රක්ෂණ සමාගම් සහතිකය තිබිය යුතු වෙනවා.අල්ලන එක හා සොයා ගන්නා විදිහ හරිම සරල දෙයක් නේ.මේවා අල්ලන්න එතරම් උනන්දුවක් නැත්තේ දූෂිත දේශපාලුවන් හා දූෂිත රාජ්‍ය නිලධාරීන්,දේශපාලන හිතවතුන් මේවාට අනිවාර්යයෙන්ම සම්බන්ධයි. රාජ්‍ය දේපල හොරාකෑම දේශපාලකයන් හා ඔවුන්ගේ හෙංචයියන් කළාට නඩු නැතිද ? ඒවා සුළුකොට තකන්නේ ඇයි ? නීතිය කරන කරවන බලධාරීන් නිහඬ ඇයි ? රට වාසීන් සුළු වරදක් කළත් කුදලාගෙන ගොස් ඔවුන්ට ප්‍රසිද්ධියේ දැඩි ලෙස දඬුවම් දෙන පොලීසිය මේ ගැන වහා පරික්ෂණ පැවැත්වීමට තීරණය කළ යුතුයි නේද ? වාහන ආගිය අතක් නැති කාලයේ සිටි රජයන්,මැති ඇමතිවරුන් හා අදාළ නිලධාරීන් දේශපාලන හිතවතුන් ගැන පරීක්ෂණ කිරීම නීති අංශවල වගකීමක්.ඒත් එය එසේ සිදු වේවිද කියලා සිතන්නට බැහැ.
ඔය තියෙන්නෙ විදුලි සෝපාන සුවිමින්ග් පූල් හදපු හැටි.
නම ගිය හොරු තමයි ඔකෙ වැඩි හරියක් ඇමතිකම් දැරුවෙ හදාරන්නෙ, එකෙක් තමයි සමගමෙන් පගාව ඉල්ලලා මාට්ටු උනෙ. අමත්යන්ශ ගොඩනගිල්ලවත් ඉතුරුවෙලා තියෙන එක ලොකු දෙයක්.
බලන් ගියාම මෙතනත් හොඳ වාහන සේල් එකක් තිබුනා වගෙයි පෙනෙන්නේ .වාහන මෙතරම් සංක්‍යාවක් අස්ථානගත වනතුරු අමාත්‍යංශය නිදි වැදිලද සිටියේ ?බොහෝ රජයේ ආයතන වල තත්වය මෙයට සමානයි
ගෙදරක මුලිකය දුර්වල වෙනකොට ගෙදරම අවුල් වෙනව වගෙ, ලංකාවෙ හිටපු මිනිහත් දුර්වලයෙක් දැන් ඉන්න කෙනා ඊටත් අන්තයි. ලිදේ ඉන්න ගෙම්බො වගෙ ටයි එක දාල ඉංග්‍රීසි ටිකක් කතා කෙරුවම වඳින මොඩයො තවම ලංකාවෙ ඉන්න නිසා හොදයි. එක තියෙන හොදම උදාහරන තමයි UNP එකෙ වජිර සහ පොහොට්ටුවෙ සාගර.