(රන්ජන් කටුගම්පොළ)

හිටපු රහස් පොලිස් ප්‍රධානී ශානි අබේසේකර මහතා රිය අනතුරකට ලක් කර මරා දැමීමේ කුමන්ත්‍රණයක් හෙළි වී ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතා මේ බව දැනුම් දුන්නේ හිටපු රහස් පොලිස් ප්‍රධානී ශානි අබේසේකර මහතා තම ආරක්ෂාව තර කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සමක් සළකා බැලු අවස්ථාවේදීය.මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.

මෙම පෙත්සම සළකා බැලු අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතා කියා සිටියේ බුද්ධි අංශ වාර්තාවෙන් ශානි අබේසේකර මරා දැමීමේ කුමන්ත්‍රණයක් හෙළි වී ඇති බවත් නීතිපතිවරයා ශානි අබේසේකර මහතා ආරක්ෂාව වැඩි කිරීමට එකඟ වී ඇති බවත්ය.

හිටපු රහස් පොලිස් ප්‍රධානී ශානි අබේසේකර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියේ.ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාවට ප්‍රමාණවත් පොලිස් භටයන් සපයා නොමැති බවත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් සහ යතුරු පැදියක් පමණක් ලබා දී ඇති බවත්ය.

මේ පිළිබඳ සුදුසු පියවර ගැනීමට පෙත්සම දෙසැම්බර් 14 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.