
වෙනිසියුලාව කැලැඹූ ප්‍රබල භූමිකම්පාවලින් මියගිය ගණන 235 පසු කළේය. තුවාල ලැබූ ගණන 4,300 ක් බව පැවැසිණි. නිවාස සහ ගොඩනැගිලි සිය ගණනක් බිමට සමතලා වී ඇති බවත්, ඒවායේ සුන්බුන් අතරේ තවත් දහස් ගණනක් සිරවී සිටින බවත් පැවැසෙයි.
වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රීගස් හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත. දිවි බේරා ගැනීමේ මොහෙයුම් නොකඩවා ක්‍රියාත්මක වෙයි. පැය ගණනාවක් සුන්බුන් අතරේ සිරවී සිටි කාන්තාවන් කීප දෙනකු සහ දරුවන් මුදා ගැනීමට හැකිවිය.
ඩෙල්සි රොඩ්රීගස් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කරන්නේ ජනාධිපති ධුරයේ සිටි නිකලස් මදුරෝ පමණක් නොව, ඔහුගේ බිරිඳ ද ඇමෙරිකන් අත්අඩංගුවේ පසුවන බැවිනි. මදුරෝ සහ බිරිඳට මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් නිව්යෝක් නුවර පැවැත්වෙයි. වැඩ බලන ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රීගස්, භූමිකම්පාවලින් හානියට පත්වුණු ස්ථාන වෙත ගොස් විපතට පත්වූවන්ගේ සුවදුක් විමසා බැලීමට ද කටයුතු කළාය.
ඊයේ (25) හටගත් එම භූමිකම්පාවලින් වැඩිම මරණ වාර්තා වන්නේ ලා ගුවයිරා වෙරළාශ්‍රිත පළාතෙනි. වෙනිසියුලා රජය පැවැසුවේ, මෙම පළාතේ පවුල් 70,000 කට උන්හිටිතැන් අහිමිවී ඇති බවය. වෙනිසියුලාවේ කැරකස් අගනුවර ද භූමිකම්පාවේ ප්‍රබලත්වය දැණුනු අතර, නිවාස සහ ගොඩනැගිලි රැසක් බිමට සමතලා විය. කැරකස් අගනුවර සයිමන් බොලිවාර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ද හානි සිදුවී ඇති බැවින්, ඊයේ (26) වනවිටත් එය වසා දමා තිබුණු බව මාධ්‍ය වාර්තා කළේය.
මේ වනවිට භූමිකම්පාව හේතුවෙන් වෙනිසියුලාවේ ප්‍රදේශ බොහොමයක විදුලි බල සැපැයුම් අඩපණ වී ඇති බව ද වාර්තා වේ. අන්තර් ජාල සේවා ද සම්පූර්ණයෙන් අඩපණ වී ඇත. වෙනිසියුලාව කැලඹූයේ රික්ටර් පරිමාණයේ ඒකක 7.2 ක් සහ 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමිකම්පා දෙකකින් සහ පසු කම්පන මාලාවකිනි. භූමි කම්පා රට අභ්‍යන්තරයේ ස්ථාන දෙකක හටගත් බව පැවැසෙයි.
භූමිකම්පාවල ප්‍රබලත්වය අසල්වැසි ලතින් ඇමෙරිකා රටවලට ද දැණුනු බව වාර්තා වේ. වෙනිසියුලා විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ, දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා අසල්වැසි එල් සැල්වදෝර් රාජ්‍යයෙන් දිවි ගලවයා ගැනීමේ සේවකයන් 188 දෙනකු වෙනිසියුලාවට පැමිණි බවය. ඊට අමතරව, ටොන් 50 ක ආධාර, ඖෂධ සහ අවශ්‍ය තවත් උපකරණ තොගයක් ද වෙනිසියුලාවට යැවූ බව එල් සැල්වදෝර ජනාධිපති නයිබ් බුකේලි පවසා ඇත.
වෙනිසියුලා භූමිකම්පාවෙන් විපතට පත්වුණු දරුවන්ට කඩිනමින් ආධාර අවශ්‍ය බය එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් ‘යුනිසෙෆ්’ සංවිධානය පවසා ඇත. විපතට පත්වුණු වැසියන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් සොව පළ බව ද වාර්තා වේ. ඇමෙරිකාව පවසා ඇත්තේ, වෙනිසියුලාවට යවා ඇති ඇමෙරිකන් සෙබළුන් සහන සේවා කටයුතුවල නිරතවන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd